ලන්ඩනයේ සිට මුදා හැරෙන ශ්‍රී ලාංකේය කවි සරණිය

නොදුටු සැපත

නොදුටු සැපත

ඩී. අමරසිරි ගුණවර්දන - නවසීලන්තය
2022-April

රෑ කල දුටු සිහින අතර – බිය චකිතය ලොබ නොම විය
විදුලි එළිය නැත විහිදුන – හිරු බැස ගිය කල අඳුරුය
නුඹ බැසගෙන කඳු කරදර – පසුකරගෙන දුර මහ මග
ගුරු හද ගෙන සිල්ප ඉගෙන – හිරු මල විට ආවෙය ගෙට

සොඳුරු කපුරු සුවඳ වහන – පංසළ තුල පහන් එලිය
කලා මැදිරි කහ තිත් එළි – නුඹෙ නෙත් යුග පහන් කලෙය
වෙල් යායේ කැපුනු ගොයම – පාගාගෙන ගෙට ගෙන ඇත
සතර අතම බැතේ සුවඳ – නුඹ ගත සිත පුබුදනු ඇත

නියර දිගේ වක්කඩ පැන – ශිප් හල වෙත නුඹ ඇදුනෙය
අඳුර කපා එලි වන විට – නුඹ අඳුරට සිනාසීය
කළු පාටට කොස් ලඳුවල – අඳුර නුඹට සිනාසෙනව
නුඹ අඳුරට අඳුර නුඹට – ඇඟෑලුම් කමක් දැනෙනව

විසල් මැදුරු දිගේ දිලෙන – විදුලි බුබුළු විකල් එලිය
නුඹේ අඳුර කපා දමා – නුඹව පාපයට අදිනව
සොබා දහම නුඹට දීපු – නුඹේ සතුට උදුරාගෙන
ඉබාගාතෙ බඩගානව – අඳුර නුඹට ආදරයෙන්
නුඹ පස්සෙන් සදා එනව

බෝ අතු නුග නාගස් පිරි – රොද අස්සේ අඳුර පිරේ
රෑ යාමේ එහි ගිය විට – අඳුර නුඹට හාදු දේවි
අඳුරේ පිරි සිසිල කැවී – නිවන් ගියා සේ දැනේවි
අඳුර බදා ගෙන දෑතින් – නුඹ වික්ෂිප්තව හිඳීවි