ලන්ඩනයේ සිට මුදා හැරෙන ශ්‍රී ලාංකේය කවි සරණිය

බිය

බිය

හෙල්මලී ගුණතිලක - ඔස්ට්‍රේලියාව
2022-April

බිය

සයුරකට මුහුවෙන්න පෙරාතුව
ගඟක්
බියෙන් වෙව්ලන බව කියැවේ

කඳු මුදුන්වල සිට
දිගු වංගු මාවත් ඔස්සේ
වනාන්තරද ගම්මානද
පසුකර ආ පසු
හැරී බලන්නීය ඈ
මෙතෙක් ආ මඟ දෙස

ඇයට ඉදිරියෙන්
නිමක් නැති සමුදුර
ඊට ඇතුළු වීමම
සදාකාලිකව අතුරුදන් වීමකි

එහෙත් අන් මඟක් නැත
ගඟකට ආපසු යනු නොහැක
කිසිවෙකුට ආපිට යනු නොහැක
එසේ යෑම පැවැත්මට පටහැනිය

සයුරට ඇතුළුවීමේ අවදානම
ගඟ දැරිය යුතුමය
බිය වියැකෙන්නේ එලෙසයි

එවිට ගඟ දැනගනු ඇත
මෙය සයුර තුළ අතුරුදන් වීමක් නොව
තමන් සයුර බවට පත්වීමක් බව

Fear by Kahlil Gibran පරිවර්තනය හෙල්මලී ගුණතිලක
Link to the original poem- http://yourdailypoem.com/listpoem.jsp?poem_id=3608

Khalil Gibran 1883දී ලෙබනන් හි උපත ලැබූ අතර ඉන් දෙවසරකට පසු ඔහුගේ පවුලේ සාමාජිකයන් සමඟ ඇමෙරිකාවේ බොස්ටන් ප්‍රදේශයට සංක්‍රමණය වූයේය. ඉංග්‍රීසි සහ අරාබි යන භාෂා ද්වයෙන්ම නිර්මාණකරණයෙහි යෙදුණු Gibran චිත්‍ර ශිල්පියෙක් වශයෙන්ද ප්‍රසිද්ධියක් ඉසිලුවේය. 48 වන වියේදී ඔහු මිය යද්දී ඔහුගේ නිර්මාණ ලොව පුරා ප්‍රසිද්ධව පැවතුණු අතර අදටත් ඒවා භාෂා රැසකින් රස විඳීමට පුළුවන.

Poet’s Photo- Goodreads
Poet’s Bio- poetryfoundation.org
Copyright free photo of estuary from- Pixabay