ලන්ඩනයේ සිට මුදා හැරෙන ශ්‍රී ලාංකේය කවි සරණිය

ලන්දේසි හාමුදුරුවනේ

ලන්දේසි හාමුදුරුවනේ

ලූෂන් බුලත්සිංහල
2021-March

ලන්දේසින් නම් ලංකාවට එන්නැති
ලොවේ ඉස්තරම් කුරුඳු වලට තන්හාවේ
සියලු ඉසුරු වස්තු සැපත් ඇත හැරදා උපන් රටේ
ඇයිදෝ ඔබ මෙහි වැඩියේ ලන්දේසී හාමුදුරුවනේ
ලොවේ ඉස්තරම්ම බුදු සසුනේ රැස් විහිදා
ලක්දීපේ බැබළෙනවා පෙනුණාවත් දෝ
බුදුන් දවස සඟ සසුනේ අනුරුවකැයි සිතුණාවත් දෝ
ඒ අනුහසින් විමුක්ති සුව මග වඩින්න දෝ
වැඩ විසුවේ වන අරණේ සේනාසනයේ
සොබා සොඳුරු සිරියෙන් පිරි පොල්ගස්දූවේ.
සැබෑ තමයි තථාගත වදන් මේ අයුරූ

**”යම්සේ වනාහී
ගංගා යමුනා අචිරවතී සරභූ මහී යන
මේ යම්කිසි ගංගාවෝ වෙත්නම්
ඒ ගංගාවෝ සමුද්‍රයට පැමිණ
පළමු නම් ගොත් හැර දමත්
මහා සමුද්‍ර යන නාමයට පැමිණෙත්
එපරිද්දෙන්ම වනාහී
රජ බමුණු වෙළඳ ගොවි යන
මේ සිව් කුලයෝ වෙත්ද
ඔවුහු ගිහිගෙන් නික්ම අනගාරික සංඛ්‍යාවූ
තථාගතයන් වහන්සේ විසින් දේශනා කරන ලද
ශාසනයෙහි පැවිදිව පළමු නම් ගොත් හැර දමත්”

මේ ආදී අටගුණ කඳක් නිසාවෙන්
ඇලුණේ නමුත් සසුනේ-බුද්ධ ශ්‍රාවකයෝ එදා
එසේ නොවේ අද ඇලුණේ බුදුසසුනේ ලක්දීපේ

ජාති වර්ග කුල ගොත නොමැකේ නිකාය නාමය බැබළේ
නො අසමි කුමක්ද නිකාය ඔබගේ ලන්දේසී හාමුදුරුවනේ
ගිහි චරියාවේ නොඇලී ඉන්නට ශික්ෂා පදයෙන් දිවුරුම් දී
ශික්ෂාකාමී ශ්‍රමණ වෙසින් බොහෝ සිටිත් ලක් සසුනේ
ගිහි ජීවන රැකියා කරතී, උපයා ගනිතී,
වස්තු සම්පත් රැස් කරතී. කසා වතින් බැබලෙතී.
රුචි නොවීද ඔබ හට ඒ පැවතුම්
වනවාසී වුණේ ලන්දේසී හාමුදුරුවනේ

සීසීටීවී කැමරා අටවා – දොරටු විසල් මහා පවුරු මැද්දේ
පන්සල් භූමි පුරා. සුවිසල් මන්දිර සම්පතින් පිරුණේ.
පූජා සැණකෙළි පෙරහැර උත්සව දන මන පොබ කරනා
රජ මැති ඇමතිද මහ ධන සිටුවර අනුබල ලැබ යෙහෙනා
පුදසත්කාරද සුවපහසුව සපිරී විහාර ගම් වාසේ
රුචි නොවීද ඔබ හට ඒ පැවතුම්
වනවාසී වුණේ ලන්දේසී හාමුදුරුවනේ
අනේ ඉතින්
වෙනදත් පොඩි ඔරුව පැදගෙන එනවාලූ
ගොඩ වී කලපුවෙන් ගමේ පිඬු සිඟා යනවාලූ
එදා – පරක්කු දූවට ඔරුව විතරක් පාවෙලා ආවාලූ
කාටත් අමුත්තක් නොසිතුණේ
ඊට ඉස්සරත් ඔරුව විතරක් එහෙම පාවෙලා එනවාලූ
පීනාගෙන විත් හිමියනේ ඔබ ඔරුව අරගෙන යනවාලූ
එත් මෙදානම් ලන්දේසි හාමුදුරුවෝ පීනගෙන ආවේ නැතිලු
පහුවෙනිදා කලපු දියේ මිනිය පා වෙවී තිබුනාලු

අනේ මොකද මේ වුණේ – ලන්දේසී හාමුදුරුවනේ
ශික්ශාකාමී බුද්ධ පුත්‍රයෙක් – ඔහොම අපවත් වුණා නම්
සැදැහැවත් මහ බොදු සමාජය – කැළඹෙනවා කම්පාවෙන්
මහ පන්සල්වල ඝන්ටා නාදය – රැව් පිළිරැව් දෙනවා
වීදි පුරා කහ පාටින් ධජ පතාක නැඟිලා – ගෙන් ගෙට ලෙලදෙනවා
එත් අනේ මේ පුවතින් පුදුම වෙලා
අනේ අපොයි කියන්නවත් – කෙනෙක් හිටියේ නෑ
මීයට පිම්බා වාගේ ලක්දීපේ – සසුන සද්දක් නෑ
එකම එක මහා පන්සලකින් විතරක් – හඬක් ඉස්සර වුණා
සියදිවි හානි කරගෙන කියා දේශනා කළා
විදු නැණින් සපිරි දේශයකින් අවුදින්
හුරු කලාවූ ජීවන සංයමයෙන්
දිවි නහගන්නම හිතුවා නම්
රැහැණින් අතපය ගල්ගෙඩි බැඳගෙන
වතුරට පනින්න උමතු ලෙසින්
විස්වාස කරන්නම බැහැ එවන් සැහැසි චරියාවක් නම්
ලන්දේසී හාමුදුරුවනේ ඔබගෙන්
මරණය අබිරහසක් ලූ – මරණ පරීක්ෂණ නෑ
හෙවිල්ලක් බැලිල්ලක් නැති ගුප්ත නිහැඬියාවක සැඟවිලා
ලන්දේසී හාමුදුරුවෝ – “අපේ හාමුදුරුවෝ” නොවෙයි දෝ
තථාගතයන්ගේ සාසනේ – බැබළේ ලක්දීපේ

**අංගුත්තර නිකායේ පහාරාද සුත්‍රයෙන්

(ආරණ්‍ය සේනාසනයේ පොල්ගස්දූවේ අබිරහස් මරණයකට
ගොදුරු වූ අජාන් ජිනවංශෝ හිමියන්ගේ ගුණ සිහි කරමින්.)

25/02/2021