ලන්ඩනයේ සිට මුදා හැරෙන ශ්‍රී ලාංකේය කවි සරණිය

සිරියාවී, අද්‍රියානා ආච්චි

සිරියාවී, අද්‍රියානා ආච්චි

නදී කම්මැල්ලවීර
2021-March

පරණ බඩු කඩේ
කවුන්ටරයේ ඉඳන්
එන එන අයට
රෝස ලොඹු පෙන්න පෙන්නා
සිනාසෙනවා
අද්‍රියානා ආච්චී

පැය ගාණක්
අතගගා ඉඳලා වළල්ලක්
හිත මට්ටු කරගෙන
එන්න හැදුවා විතරයි හැරී

‘ලස්සන ඇස් ඇති කෙල්ලේ
ඇයි ඒක නොගන්නේ ?’
අත් ගසා අඬ ගසයි
අද්‍රියානා ආච්චී
‘හම්බුවෙන්නෑ ආයෙ
ඔය වගේ වළල්ලක්
ඉස්තරන් වැඩ දාපු
ඇත්ත රිදියෙන් කරපු’

‘ඒක මට මිල වැඩියි
මේ දවස්වල ටිකක්
පල්ලමයි ආච්චී ‘

‘හ්ම්
කමක් නෑ ඕක තියා ගනිං
තෑග්ගක් කියාලා
මේ නාකිච්චිගෙන්’

රෝස පැහැ ලොඹු පෙන්න පෙන්නා
හක හක ගෑවා
අද්‍රියානා ආච්චී

‘කෙල්ලේ උඹ හරි ලස්සනයි
ඇස් දෙක ගිනි දළු වගෙයි
ගැටිස්සි කාලේ
මමත් ඔහොම්මයි
එකා පිට එකා වැටි වැටී
පෙම්වතුන් වැල පස්සෙමයි ‘
ආයෙමත් හැක හැක ගගා
සිනාසෙනවා
අද්‍රියානා ආච්චී

‘මට දැන් අසූ අටයි
හෙට අනිද්දටම යයි’

‘උඹේ නාඹර
අත් දඬුවේ
උඩ පහළ වැටි වැටී
දඟ කරන කොට වළල්ල
මතක් වී හිනා යයි උඹට
මේ නාකි
අද්‍රියානා ආච්චී ‘

‘සවර්ගෙද
කවුන්ටරයෙද තාම’

‘දුවෙක් ලැබුණෝතින්
දාපං ඒකිගෙ අතටත්
කියාපං පරණ බඩු කඩේ
නාකිච්චී
අද්‍රියානා ආච්චී දුන් වග ‘

‘මට දැන් අසූ අටයි
හෙට අනිද්දම යයි ‘

රෝස පැහැ ලොඹු පෙන්න පෙන්නා
මහ හඬින්
සිනාසෙනවා
අද්‍රියානා ආච්චී