ලන්ඩනයේ සිට මුදා හැරෙන ශ්‍රී ලාංකේය කවි සරණිය

සාස්තරේ

සාස්තරේ

පියුමි ජයකලණි වික්‍රම ආරච්චි - ලන්ඩනය
2024-March

වැස්සක තිබෙන හීතල
මද්දහන ගිල දමන බව
උදෑසන හිරු කිරණ
රාත්‍රිය බිලි ගන්න වග
ඇය මට කියා තිබුණා…

පොම්පෙයි නගරයෙත්
දෙවොලක් අතුරුදන් වූ බව
ඇය මට තව දිනෙක කීවා…

ගිනි කඳු ඉතා භයානක බව
විසූවියස් අද්දරින්
දෙවොලේ සුන් බුන් හමුවූ බව
දෑස් පියන් ලොකු කරන් කීවා..
ආදරෙත් ඒ දෙවොල සේ
අතුරුදන් වන වග කියමින්
අනතුරු ඇඟවූවා…

ඉක්මනින් එන අය
ඉක්මනින් යන වග කියමින්
සමහර අහඹු හමුවීම්
සදාකාලික බවත් පවසමින්
“හිත පරෙස්සම් කරගන්න”
අණ කළා..

පාන්දර පේන හීන හැබෑ වෙන බව
නිතරෝම ඈ කියා තිබුණා…
දවල් දකිනා හීනයක් සේ
එන අයත් යනු ඇතැයි කීවා…

හණමිටි අදහස් අහක දැම්මට
ආත්තම්මාගෙ සාස්තරේ
පාන්දරම
කිරි ගහට ඇණලා තිබුණා…