ලන්ඩනයේ සිට මුදා හැරෙන ශ්‍රී ලාංකේය කවි සරණිය

අම්මා වැළලූ තැන

අම්මා වැළලූ තැන

පරාක්‍රම නිරිඇල්ල
2021-March

දුරාතීතේ අඳුරු මොහොතක
පස් වසා ලූ ඔබෙ මිනී වල
දුරන්තරයක් ගෙවාගෙන විත්
බලා මා සිත තැවුල් වූ මුත්
එයද සැනසීමක්ය අම්මේ

සෙනේ සුරතින් කැවූ මොහොතක
ළදරු මා සිත එදා ඇඳි ලෙද
දැනුදු හුරු වූ එකම සිතුවම
බොඳව මා සිත ඇඳෙයි අම්මේ

සිතේ සුරැකුණු ඔබේ සිතුවම
ජීව ලොව තුළ අද තියේ නම්?
පොළොව ගිලගත් හැඩැති ඔබෙ රුව
ජීව ලොව තුළ අද තියේ නම්?
සුළඟ ගිල ගත් ජීව වායුව
තවම එහි රැඳවී තියේ නම්?

මසිත නැඟ ඒ සිය දහස් පැන.

ඒත් අම්මේ සිය`ඵ ඒ පැන
පසිඳවා ලන සිය`ඵ පිළිතුරු
ගිලී ගිය ඔබෙ මිනී වල තුළ
නිරුත්තර ලෙස දිරා ගොස් ඇත.
සදා කල්හිම වැසී ගොස් ඇත.