Category: නිසදැස් කවි
එ දවස
මතක නම් ඒ දවස
මතක ඇති සැඩ සුළඟ
සුසුම් දහසින් තැනුණ
කුණාටුව වූ සුළඟ
කුණාටුව තැනු උනට
පියාපත් බර පමණ
නොවී යසිසුරු දිනන
කැදලි තනනා සිහින
බැගෑපත් වී යදින
තැලී පොඩිවී හිඳින
සුවාසක් ජනයිනට
දිනා දෙන ලොව පමණ
තුමුල වාසල් පවුරු
විකුම් පෙළපත් මහරු
කම්පාව සැඩ නලින
සැළුම් වෙවුලුම් කෑය
පිපී එරබදු රුසිරු
නැඟූ කූජන මියුරු
උදා බග සඳ වතෙහි
තැබී සසලප රුහිරු
වියැට විසිරී මඩට
කිඳී කලලෙහි යටට
මළ ද ඒ මරණයද
අස්වැන්න වේ හෙටට
2021.03.18
නයිටිය පරක්කුයි
නිරුවත්ව හුන් රතැඟිල්ල
ඔපවත්ව රන් මුදුවකින්
උයා පිහා දෙයි ; මැගී
අගේ කර
මට නොවෙයි ; ඔහුට
අළුත් නයිටිය
වෙනදාට වැලට යන්නේ
පාන්දර
මාවත් නොදැනුණු….
මා
පිණි බිඳක්
මහ කන්දක් මතට වැටුණ
මා
දිය පොදක්
මහ සයුරක් තුළට හැළුණු
මා
තරු කඩක්
අහසින් ගිලිහිලා වැටුණු
ඒ බව නොදැනුණු
කන්දත් ඔබම ය
සයුරත් ඔබම ය
අහසත් ඔබම ය
මාවත් නොදැනුණු ….
කෝවිඩ් වැලපුම
මගේ ආදර සැමියා
ගෙදර සිට වැඩ
තිරයක් බලාගෙන
මොනවදෝ මුමුණයි
කන් දෙකෙත් ඇබ
දරු දෙදෙන නිහඬයි
සිටියත් නැති ගානයි
මුලු ගෙදරම පාලුයි
අපේ කාලේ නෙමෙයි
ගුරැන් නැති පාසැලලු
මිනිස් පුලුටක් නෑ
පේන තෙක් මානෙක
මාවත පාලුයි
හැල්මෙ ගිය වාහන
කොහේ සැඟවුණිද?
එළිය හරි සීතලයි
අහස අඬනව වගේ
මුලු ලොවම එකතැන
නතර වී දිගු කලක්
හෙට ඉර පායයිද…?
හඳ එළිය
ඉරේ එළිිිය බව හඳෙන් ගලන්නේ
බැලු බැල්මට නෑ අපට පෙනෙන්නේ
ඉරේ චණ්ඩ බව හඳට උරාගෙන
රතු ලේ කිරිකර පොවන මවක මෙනි
සිසිල් එළිය හඳ අපට පොවන්නේ
මවු ගුණයයි හඳ එළියෙ තියෙන්නේ
ඒ වාගේමයි ශෝක භාවයෙන්
කවියන් කරුණා රසය මවන්නේ
ඉරේ ප්‍රභාවයි ප්‍රතිභාවක් වී හඳෙන් පෙරෙන්නේ
ඒ නිර්මාණේ අපූර්වත්වයෙනි
චමත්කාරයක් හිතට දැනෙන්නේ
රියැලිටි ඛේදවාචකය
කුඩා දැරියක් උදේ …… පොලීසියෙ අඬනවා
මවකගේ විලාපය ……. අතර ඇය කියනවා
මගේ කිරි කැටි පැංචි …… මම ගෙදර නැති වෙලේ
ජිනේ දූශනය කර ……….. පැන ගිහිං දෙයියනේ
මේ දැරිය නේද අර ………… රියැලිටියෙ සිංදු කිව්
කොට ගවුම ඇඳ හැඩට ….. වේදිකාවේ නැටූව
“ඔබෙ දෙතොල් සිපගන්න … ඔබේ වත දැකගන්න”
ගැයූ ගී පදවැල් ……………. මවක තෝරලා දුන්
විනිසුරු මඬුල කිවි …… ….. හරි හැඩයි ගායනය
සිත් පිනයි ඇගෙ නැටුම…… උචිත ගීතය සමග
නීතියේ ඇත්නම් ඉඩක් ….. ගන්නවා එක පෙලට
අරිනවා දඟ ගෙයට………නැගනියේ නුඹ ඇතුලු
විනිසුරු මඩුල්ලත්
මා නැති දිනක, මිනිබිරියෙ ඔබට
රන් සූකිරි – සිඟිති සිනා
අත්පා විදහාලා රඟනා
ඇස් දල්වාලා කියන කතා
බොලඳ තෙපුල් – සිහින මවා
රන් දේදුනු – පීරාගෙන
සුර ලෝකෙන් – ඇවිල්ල මෙහෙ
මිණිබිරියක් මගෙ පොඩි සුරතල්
අපගේ ලෝකය දල්වා දැන්
ආදරයෙන් ඔබ නහවන්නම්
සිනිඳු සේල සළු පලඳන්නම්
කඳුළු බින්දු ඔබෙ පිසලන්නම්
නිදියන තුරු මා නළවන්නම්
කිරි සුවදින් විකසිත වූ ඔබෙ මුව
දෝතින් ගෙන මා සිපගන්නම්
ඔබේ ටිකිරි – සිඟිති සිතේ
සිතුම් පැතුම් – ඉබේ මැවේ
කියන්නකෝ මොනවද මැණිකේ
සපුරාලා මා දෙන්නෙ දුවේ
ලස්සන ලෝකය අවට තිබේ
අස්ථීරයි ජීවිතය අපේ
රැකගෙන චරිතය – වඩවා ගුණදම්
නොසැලී නොඇලී – ඉන්න දුවේ
මා නොදකින ඔබෙ තුරුණු වියේ
මට නොඇසෙයි ඔබෙ මඟුල් බෙරේ
මා නොදකින ඔබෙ අනාගතේ
මා නොසිටින දවසක් පැමිණේ
මේ ඔවදන් පිඬ ඔබේ ලයේ
රැව් දේවා මගෙ පුංචි දුවේ
රැව් දේවා මගෙ පුංචි දුවේ
රැව් දේවා මගෙ පුංචි දුවේ ……….
පසුතැවීම
සඳ පහසක් සේ දැනුනා
මද පවනක් සේ එතුනා
තරු වියනක් සේ දිලුනා
හද සිසිලක් සේ දැනුනා
සියොළඟ සලිතක් හැඟුනා
සිත කුල්මත් වී පිපුනා
මන මන්මත් වී රැඟුනා
කය වල්මත් වී සැලුනා
හිරු මඬලක් නොම දුටුවා
මල් කැකුලක පෙති හැලුවා
සැඩ සුළඟක් වී හැමුවා
පෙන බුබුලක් සේ දුටුවා
මල් සුවඳක් නොම දැනුනා
පන්සිළුවක් නැත පෙනුනා
ගණ අඳුරක් නෙත ගැටුණා
පසුපස එන දුක විඳුනා
2021/02/24 01.04 am
දාන හමුවක්
හැදුවා මම අතුරුපසක්
මිතුරු ගෙදර හෙට දානෙට
අනුභව නම් මිතුරන්ගේ
හැදුවේ සාදුට වුනාට
බුදු පුදටත් අයින් කරයි
පුංචි කෑල්ලක් පැත්තක
ඉවත වැටෙයි ඒ සියල්ල
දානය අවසන් වුනාම
හාමුදුරුවො වැඩිය කලට
කථා නතරවී මොහොතක
ජීවිතයේ අනියත බව
මෙනෙහි කරයි අපි සැමදෙන
දාන මාන අවසන්වී
හාමුදුරුවො පිටවුණාම
කතා බහේ ලොකු වෙනසක්
කට හඩවල් දැන් සද්දයි
යාලුවන්ගේ දරුවන් ගැන
අහල පහල රස තොරතුරු
අපේ රටේ දැන් තත්වය
වාද විවාදත් ඇතිවෙයි
මේ සියල්ල අවසන් වී
සමුඅරගෙන ඒ සැමගෙන්
පිටවී එයි අපි සැමදෙන
බණ ඉතුරුද අපේ හිතේ ?
මගේ පුතු ලෙඩ වෙළා
කිරි සිනා දත් මැදින් – කිරි සිනා මතු උනා
බිළිඳු අත් පා මොලොක් – නටා ගී ගායනා
මුළු මැදුර සුන්දරයි – පුතුගෙ හඬ විසිරෙනා
සඳ වටා දැවටෙනා – තරු එළිය ඔප වුණා
හිමි සඳුත් මා පුතුත් – මගේ ලෝකය වුණා
නොසිතනා මොහොතකදි
කිසිත් නොසිතූ ලෙසින්
මගේ පුතු ලෙඩ වුණා
අරින්නකො මගෙ පුතේ – ඔය නීල දිගු දෑස
නටන්නකො මෑත් කොට – ඔබෙ සුමුදු පොඩි දෑත
එතෙන්නකො කර වටා – පවසමින් මුදු බාස
කිම පුතේ සිටින්නේ – නොසෙල් වී මගෙ මැණික
කෙසේ ඇදහිය හැකිද – සිදුව ඇති මේ විපත
කර තියා නිසල කඳ – වෙදුන් සැමතැන සොයත
මග දිගේ දිව ගියා – වගුරමින් කඳුළු කැට
මිනිස් ලොව දෙවි කෙනෙක් – සැනසීය මගේ සිත
නැඟණියනි, යනු මැනවි
ඡේතවන අරම වෙත
මහ වෙදාණෝ සිටිති
ලොව ම සුවපත් කරන
නොදොඩනා, නොසෙල්වෙන
මගේ පුතු ඇමතුවෙමි –
” පුතේ හනි හනික
මහ වෙදා හමු උනා”
“බිය නොවන් මගෙ පුතේ
ඔබව සුවපත් කරයි
මහ වෙදාණෝ නිසැක”
විශ්මයකි … විශ්මයකි
රන් රුවක් සේ දිලෙන
මදහසින් වැඩ සිටින
කරුණාව ගලා යන
පුරා සඳ සේ දිලෙන
මහ තෙදැති සුපින්වත්
මහා මුණි වැඩ සිටිත
පිරිවරා මහ සඟන
පුතුගෙ නිසසල සිරුර –
දිගු කළෙමි ඔහු වෙතට
වහා සුව කළ මැනව
දුන මැනව ජීවිතය
හඬා වැටුනෙමි මෙමා – හිමි දෙපා මුල නිසල
නැගිටින්න නැඟණියෙනි;
සුව කරමි නිසැකවම
ගෙන එන්න අබ මිටක් –
නොමළ කුල ගෙයින් ලද
අදිටනින් සිත දැරූ – අබ සොයා ගියෙමි මම
කොතෙක් අබ ලැබූවද –
නොමළ ගෙයකින් මිටක්?
කෙසේ නම් හමු වේද –
නොමළ එක ගෙයක් වත්?
ලොව සියලු දනන් හට
උරුම වූ ඒ දහම
උරුම වේ ඒ ලෙසම
මපුතු හට නිසැකව ම
වැටහුනිය සියලු දෙය
සැමට උරුම වු දහම
හැරපියෙමි නිසල කය
සමිඳ ඔබ වේ සරණ
පුතු නොලද මුත් ඔසුව
දම් අමා දිව ඔසුව
භවය සුවපත් කරන
හිමියනේ ලදිමි මම
(සතුට දන් දෙමි කාව්‍ය සංග්‍රහය 2018)
මකුළුවෝ මේ සීත කාලයයි…
මල් කොළ නැතිය මේ සීත කාලෙට
හිරුත් ඔහෙ ඇතිය විරිත්තන් බාගෙට
පිනි මිඳුණු තණ පලස මත තාලෙට
දැල වියන මකුළුවෝ උඹට පාලුද…?
හිරු කිරණ මකාලයි දැනෙන සීතල
හදවත උණුසුම්ය වැටෙන විට මීවිත
ගොඳුරුත් හිඟය මේ සෙනසුරුගෙ නීතිය
මකුළුවෝ අගයමි උඹට ඇති වීරිය
වැටී හිරු කිරණ වැල් දිලෙයි දැල් වාටිය
දනන් නෙතු පොපියවයි සොබාදම් නීතිය
දරු පවුල නිදි වරයි වැදී කුස ගිනි සාපය
දැල දකින ලොව මෙදුක නොදැකීමයිනෙ පාපය
මව්වරුන්ගේ ආදරය
ආර්ථික න්‍යායන් පරදවන,
ඉල්ලුම වැඩිවෙත්ම සැපයුමත් වැඩිකරන
ප්‍රමිතිය පහල නොදමන
කිසිදා මිලක් නියම නොකරන
“මව්වරුන්ගේ ආදරය”
(මින්නේරිය නිවුන් අලි පැටව් – චයාරූපය ද කවියාගේ මය )
විවාහ ඒජන්සියේ ස්වයංවරය
පුටු පේළියක කොනේ අසුනක
මහ මෙරක් හිස උඩ තබාගෙන
විදුලි පංකාවට අකීකරු වුනු
අවුල් වූ නර කෙස් වසාගෙන
බලා හිඳිනෙමි වාරේ එනතුරු
වඩින තුරු මල් හීය අරගෙන
එකිනෙකා එයි දුන්න අතගෙන
අසල පුටුවේ වාඩි වී ගෙන
දෑස් පා මුළු සියොලඟම වෙත
අසයි අතොරක් නැතුව වතගොත
තාත්තා ඔත්පල නියාවෙන්
නංගිගේ ඉගෙනීම වෙනුවෙන්
පළමු පෙම හැර ගිය මුලාවෙන්
පමා වුනු නිසි කල විවාහය
කටපාඩමට දැන් මුවෙන් පිට වේ
කරන සිල්ලර කඩයේ වත්කම
වත්ත පිටියේ නෙලන ඵල වැල
රන් රිදී මුදු වළලු කරපට
ගණන් බලනා උන්ගේ ගණකය
එකින් එක මැන තරාදිය මත
මුවින් නොඅසන දැවැද්ද එය
සසඳා බැලුමට තවත් ඔවුනට
දින ගනී තීරණය ගැනුමට
ගෙවී යන සති අන්තයක හැම
පුරුදු පාරෙන් ගොඩ වැදී එහි
සොයා බලනට සුදුසු සහකරු
කෙනෙක් ඇතිදැයි බලා ගැලපෙන
මනාපය දන්වා එවන තෙක්
හිදිමි දොරකඩ හිස් අහස යට
නැවත සතියක් එනතුරාවට……
මහ වැලියට පෙම්කල නයිල් නදිය
නයිල් දිය රජිඳුන් අතීතෙක
කාල තරණයෙ යෙදෙන මොහොතක
මැණික් ඔප වුණු ගං කොමලි දැක
විස්මයට පත් වී ගියා ලූ
ඇයට රහසෙම පෙමින් බැඳුනලු
ඔහු ඇගෙන් විමසලා සිටියලු
ඔහුගෙ ආගම, කුලය, දේශය
විමසමින් ඈ විපිළිසර වී
රාත්‍රී දෙක තුනක් ගෙව්වලු
ඔහුගේ රුව දැක ඇගේ තුණු සිතෙ
ගැස්ම වැඩි වී වාං දැම්මලු
ඔහුගෙ වතගොත අහක තබමින්
ඇය රජුන් හට බහක් දුන්නලු
මැණික් කැට ඇති තැන් නොසොල්වා
උමතුවෙන් ඔහු ප්‍රේම කෙරුවලු
දෙදෙනා බෝ ආදරෙන් සිටියලු
රජුගෙ දේසෙට ඉඩෝරය විත්
මිනිස් ජනයා මැරී වැටුණලු
පළමු ප්‍රේමය පුද දෙමින් ඇය
රජුට යන්නට කියා කීවලු
එදා මහවැලි ගඟ පිටාරය
ගලාගොස් මහ හඬින් හැඬුවලු
අදත් මහවැලි දිය ගලන්නී
දුකම සඟවා සිනාසෙන්නී
නයිල් රජු ගැනමයි සිතන්නී
ඉඳහිටෙක සුසුමක් සලන්නී
ඇයත් දැන් ජරපත් වෙලා ඇති
ප්‍රේමයේ ගඟ සිඳිලා නැතුවැ’ති
කොතෙක් දුර මුත් ඇතිය ළඟ පැති
ආදරේ කිසි දෙනෙක නොමියෙති..
සිපිරි ගෙය අබියස මවකගෙ හැඟුම්….!!!
පුතුනි නුඹ උපන් දින
මහද හටගත් සොම්නස
පැවසිය නොහැක වදනින්
දුටිමි මම නිසැකව
නුඹ ලොකු මහත් වුන කල
පෙරළි කරනා බව
ලබා ගැනුමට අපේ උරැමය..
තොටිලි වැට පනිමින්
පෑ ඒ බොළඳ දස්කම්
මට පෙර නිමිති විය
නුඹේ මතු දින දිවිය පිළිබඳ
සිපිරි ගෙය අබියස
සිටින විට මම නුඹව දැකුමට
දෑත දෙපය විළංඟු ලා
සිර කුටියෙ බිම වැතිර
නොසැලී අදීනව
ඉන්ද්‍රඛීලයක් සේ
ඉන්න නුඹ ගැන
මම ආඩම්බර වෙමි
මගෙන් බිව් කිරිවල
ණය ගෙවයි සිපිරි ගෙයි හිඳ
පතා ජනතා අයිතිය
දිනූ බිම නිදහස…
නොහඬමි මා ඉකි බිඳිමින්
තුටු කඳුළු වගුරමි
නුඹට අම්මා වීමෙ සතුටින්…..
1988 සැප්තැම්බර් 25 වෙනි දින
කොළඹ මැගසින් බන්ධනාගාරයේ දී…
එපාවුණු දියණියන්ගේ කතාව
වැරන් උස්සා පොළේ ගසලා
සැරෙන් සැර මේ ජිවිතේ
බිඳී කැඩිලා නැවත අලවා
ඇද පලුදු අපමණ තියේ
පන්න පන්නා කොනිති ගහනා
රිදුම් අඩු නැත මග තොටේ
ඉපිද මැරි මැරි ඉන්න වෙන එක
සරදමක් තවමත් හිතේ
කෝප දොස් අවමාන අපහස
පිරී ඉතිරී කළු ගැහී
හිතේ සවියෙන් වැඩෙහි යෙදෙනා
දහක් නෙත් ඇත මුණගැසී
වෙද නළාවට ඇහෙන්නේ නැති
හදේ සංකා තව ඇති
ගතේ වෙහෙසට බෙහෙත් ලැබුනත්
හිතේ කරදර නිම් නැති
නුඹව අගයන නුඹට සවි දෙන
තැනක පියඹා පැලවෙලා
හිතේ සැනසුම වතේ සිනහව
රැගෙන එන උන් හමුවෙලා
හදේ ඉපදෙන සුසුම් සොම්නස්
රිදී ඉරි මත ලියැවිලා
හිනා නඟනා දිනක් පතනෙමි
නෙතේ කඳුලැලි හංඟලා
2021 පෙබරවාරි..
හෝ ගානා පොකුණ බලන්නට
සුන්දරපුරම්වල
පරම්පරාවෙන් ලද ගේ දොර
කැටයමින් බොරදමින් ඔප වූ
දොර ජනෙල්
මොනවා රකිනවාද මේ පාලු ගෙවල්වල
මොනවා බලනවද තනි වී
මේ දැවුණු බිමේ
ලොඹු කටින් තබා උන්
උළුවහු ජනෙල් දොර
ගලවා උගුල්ලා හඬ නොනඟා
තරු නැති උරහිස් මතින් ගෙන
ලොකු තරු රියෙහි තබා
කොළඹ අරන් යන්නේ
හෝ ගානා පොකුණ බලන්නද මේ
කොළඹ අරන් යන්නේ
(මීට වසර 5 කට පමණ පෙර බත්තරමුල්ල ප්‍රධාන මාර්ගයේ “ඇන්ටික් ෂොප් “ එකක විකිණීමට තබා තිබුණු උතුරේ උළුවහු ජනෙල් දැක කම්පා වූයෙමි. ගෘහ නිර්මාණ ශිල්පීන් ඒවා කඩිමුඩියේ මිලදී ගන්නා සැටිද දුටුවෙමි. මේ කම්පාව දිනක් මම සරත් චන්ද්‍රජීවයන් හා පැවසුවෙමි. ඔහු යාපනයට ගිය වෙලේ ගැලවූ උළුවහු ජනෙල් තිබුණු නිවෙස් වල ඡායාරූප 50 ක් පමණ මට ගෙනවිත් දුන්නේය. තවමත් මේ ලොඹු කටවල් එහි තිබෙණු ඇත.)
මේ කවිය ඊ මේලයෙන් යවා මිනිත්තු හතළිස් පහකින් පමණ සුනිල් සෙනෙවියන්ගෙන් ලැබුණු ප්‍රතිචාරය මෙසේය.
අප්පා හේත්තු වී සිටි තැන
දාඩිය පැල්ලමත් එක්කද
කොළඹ අරන් යන්නේ
ගනේෂ්ගේ මිහිරි සීනු නාදයට
අතවැනු අගුල ඇරි
උණුසුම කාමරයටම කැන්දූ
බුුරුල් කර තිබූ ජනෙල් කූරු එක්කමද
කොළඹ අරන් යන්නේ?
සිංහල බෞද්ධ සාලයක
ඔප දැමූ ආර්. ජී. පී
පිත්තල පතරොම් කොපු අතර
නූතන විසිත්ත කාමර කැටයමක් ව
සුන්දරම්පුර ජනෙල් පියන්පත
අමුතු සංහිඳීයාවක
(21/01/30)
ග්‍රහ ලෝක විවාහය
ජීවිතේ මගෙ ග්‍රහ ලෝක අතරේ
කැරකිලා තෙරපිලා මිරිකීලා
අපල උපද්‍රව කඩා බිඳ එන
දවස සොයනවා,රැළි වැටුණු මා
අම්මා සැමදා අභ්‍යවකාශ අතරේ
තාත්තා සම්පත් ආකර ලෝකයේ
සිහින කුමරා උල්කාපාතයක් වෙලා
කවදා පොළොවට එයිදො නොදනිමි
පන්සල්,පල්ලි,කෝවිල්,ගිහිල්ලා
බාර හාර පොල් ගහලා සැවොමා
මංගල යෝගය පැතුවත‍් එක සිතින්
ග්‍රහයෝ නීචයි මල්වර නැකතේ මගෙ
ගසක මහිම
ගෙබිම කොටාලා සරු පස සද ලා
සොඳවට බිජුවට එහි වපුරා ලා
සිහින් සිහින් කොකු උඩට ඇදී ලා
අන්දම් දුටුවෙමි දළුලන ලී ලා
දිනෙන් දිනම ලියලයි ආලය සේ
කලින් කලම මෝරයි දරුපෙම සේ
පුංචි පනා මල් බඳ වට දිලි සේ
නොපෙනේ කිසිදින ඉසිඹුව ලද සේ
ලතාවන්ද බඳ වටෙහි එතී ලා
සෙවන සදයි හිරු රැස් වටලා ලා
මව් සෙනෙහස සේ සිසිලස පා ලා
ගසක මහිම බල පල ලෙල දී ලා
සදා හරිත වන උයන් සරා ලා
සැලේ සුලඟෙ අතු පතර විදා ලා
රස පලවැල දෙයි ලොබ නොම වී ලා
ඔබ ලඟ සැනෙසෙන්නෙමි තුටු වී ලා
පත් ගිලිහෙයි එලැඹෙන හේමන් තේ
යලිත් පිබිද එයි නැගෙන වසන් තේ
සුවඳ විහිදුවයි සතර දිගන් තේ
වැජඹෙන් සකි නුඹ අඳුරු යුගන් තේ
කුසගිනි නිවුමට සරු ඵල දුන් නේ
කුසට අහිමි බත නොවෙද සදන් නේ
ඒ ගස නැසුමට අවි අර ගන් නේ
මව නැසු පාපයමය පල දෙන් නේ
ඔබෙ සිරුරෙනි කැනි මඬල තනන් නේ
ඔබ සිරුරෙහි දන ඉසිඹු ලබන් නේ
මව් ගුණ දන්නේ ඔබ නොනසන් නේ
කොතැනක මේ පව අර ගෙන යන් නේ
බුදු බණ මය නිති සිහියට එන් නේ
අටමහ කුසලෙකි ගස් වවපන් නේ
වවනා අප නැත හෙට දින ඉන් නේ
පුතු ඔබ මය හෙට ඉන් පල ගන් නේ
ආරාම රෝපා – වන රෝපා
ඒ ජනා සාධු කාරනා……
ජීවිතය …ඔබ…
හසුවෙමින් සුළගකට
නොනැවතී ගසායන
ගලායන දොලදියේ
රැළි අතර මුවාවෙන
හිතාගන්නට කලින්
වෙනස් වී ගෙවීයන
ජීවිතය දකින්නම්
සිහිනයක් වගේ මම….
නවතින්න වෙන්න වෙයි
නොඳන්නා නවාතැන
මගහැරී යන විටදි
හුරුපුරුදු නවාතැන
කොහේ නැවතුනත්
නොනැවතී ඔහෙ ගලායන
ජීවිතය සිහිනයක්
රැයක නෙත ඇඳීයන…..
20/02/21.
අම්මා වැළලූ තැන
දුරාතීතේ අඳුරු මොහොතක
පස් වසා ලූ ඔබෙ මිනී වල
දුරන්තරයක් ගෙවාගෙන විත්
බලා මා සිත තැවුල් වූ මුත්
එයද සැනසීමක්ය අම්මේ
සෙනේ සුරතින් කැවූ මොහොතක
ළදරු මා සිත එදා ඇඳි ලෙද
දැනුදු හුරු වූ එකම සිතුවම
බොඳව මා සිත ඇඳෙයි අම්මේ
සිතේ සුරැකුණු ඔබේ සිතුවම
ජීව ලොව තුළ අද තියේ නම්?
පොළොව ගිලගත් හැඩැති ඔබෙ රුව
ජීව ලොව තුළ අද තියේ නම්?
සුළඟ ගිල ගත් ජීව වායුව
තවම එහි රැඳවී තියේ නම්?
මසිත නැඟ ඒ සිය දහස් පැන.
ඒත් අම්මේ සිය`ඵ ඒ පැන
පසිඳවා ලන සිය`ඵ පිළිතුරු
ගිලී ගිය ඔබෙ මිනී වල තුළ
නිරුත්තර ලෙස දිරා ගොස් ඇත.
සදා කල්හිම වැසී ගොස් ඇත.
වසංගතයක් ඇවිත්
ගතවුවද වසරකට වැඩි කාලයක්
නැත තාම අඩුවක්
එන්න එන්නම වැඩිවෙන
ඇයි වසංගතය ඔබට තරහ ගියාවත්ද?
වැරදි ගොඩක් අපෙන් සිද්ධවෙන්නැති
කියාදෙන්න තරහ නැහැ අපි
මුළු ලොවම අද අඳුරුයි නිහඬයි
තිගැස්සුණු අප සියල්ලම බියෙන්
පවුල් අසරණයි රන්ඩු සරුවල් වැඩියි,
හැඬු කඳුලෙන් බියෙන් ගල් ගැසී
රැකියාවට පාසලට යන්න බයයි
අසරණ පවුල් රෝහල්වල දුක් ගින්දරේ
මිනිසුන් අතර කරුණාව දයාව නැති වෙලාදෝ
කොපමණ ධනය තිබුණත් මදි වෙලාදෝ
මුදලට තත්වයට බලයට ආදරයට කෑදර වෙලාදෝ
එවන් තත්වයක් විශ්වයට තදින්ම දැනිලාදෝ
බුදුන් ,ජේසු ,අල්ලා සමිඳුට
මෙකි නොකී සෑම දෙවියන්ටම එකසේ
ජාති ආගම් කුල බේද නොතකා
නමදිමු අප සැම බැති සිතින්
ආදරණිය වසංගතය
අපගේ කන්නලව්ව අසා
ඔබ නික්ම යන බව අපට පොරොන්දුවන්න
ඔබට සදා ස්තිතුයි .
එකම සුලඟට…..
උපදින විටදි ……………… එක විට
සිටියා නුඹත් ……………… මා ලඟ
කිරි සුදට ……………… බැබලී
දෙඅත් අල්ලා ……………… එකට
නිවුන් දරුවන් ……………… විලස
එක් දිනක ……………… අපි ඉපිද
වෙන්වී ගියත් ……………… දෙපසට
අද අපි වෙනස් ……………… පාටින්
වැනෙනවා මම ……………… එක කොනක
Black and gold ……………… පාටින්
වැනෙනවා නුඹ………………තව කොනක
රතු ලා නිල්ද………………තද නිල්
පෙනෙනවා මට ……………… සිතිජය
සිරිපාදය ද ……………… කදිමට
රළ වැල්ද ……………… නිල්වන්
අහස් කුස අප………………හිස් මත
එකම සුලඟට ……………… වැනෙනා
නිවුන් සොයුරන් …………….. විලසට
වෙනසකට අපි ……………… අද දින
කෑ ගසමු ……………………… හඬ නගා
රිච්මන් ……………… පරිප්……පූ
මහින්ද ……………… පරිප්……පූ
අතරින් පතර ……………… ජොලියට
සංඝ….මිත්ත ……………… පරිප්……පූ
තරඟයට එමු ……………… ආදරෙන්
ජයගනිමු අපි ……………… ආදරෙන්
පරාජය වුව ……………… ආදරෙන්
පෙම්වතුන්ගේ ……………… පෙම් සටන
ඉවුර විලස- වික්ටර් රත්නායක නවතම ගීතය
ඉවුර විලස දැඩිව බැඳී දියවර වී පවස සිඳී
සක් හඬ සේ උස්ව නැඟී
උන් අප කෝ කොහිද සකී
නිල්ල මුවා කර අහසේ
පියැඹූයෙමු එදා
මල් ඵල පිරි තුරැ හිස් මත
වසමු යි කී කතා
ගොළු වී හුළඟෙ පා වෙලා
නුඹ නුඹෙ ලොවේ තනිවෙලා
හිසේ පැළඳි වෙස් තට්ටුව
පසෙක උනා තබා
තුට්ටුවකට උකස් තිව්ව
මුදු හිත ගෙන වහා
නුඹ ළඟ එතැයි නෙතු අයා
යටගිය දවස ඇත බලා
සිරියාවී, අද්‍රියානා ආච්චි
පරණ බඩු කඩේ
කවුන්ටරයේ ඉඳන්
එන එන අයට
රෝස ලොඹු පෙන්න පෙන්නා
සිනාසෙනවා
අද්‍රියානා ආච්චී
පැය ගාණක්
අතගගා ඉඳලා වළල්ලක්
හිත මට්ටු කරගෙන
එන්න හැදුවා විතරයි හැරී
‘ලස්සන ඇස් ඇති කෙල්ලේ
ඇයි ඒක නොගන්නේ ?’
අත් ගසා අඬ ගසයි
අද්‍රියානා ආච්චී
‘හම්බුවෙන්නෑ ආයෙ
ඔය වගේ වළල්ලක්
ඉස්තරන් වැඩ දාපු
ඇත්ත රිදියෙන් කරපු’
‘ඒක මට මිල වැඩියි
මේ දවස්වල ටිකක්
පල්ලමයි ආච්චී ‘
‘හ්ම්
කමක් නෑ ඕක තියා ගනිං
තෑග්ගක් කියාලා
මේ නාකිච්චිගෙන්’
රෝස පැහැ ලොඹු පෙන්න පෙන්නා
හක හක ගෑවා
අද්‍රියානා ආච්චී
‘කෙල්ලේ උඹ හරි ලස්සනයි
ඇස් දෙක ගිනි දළු වගෙයි
ගැටිස්සි කාලේ
මමත් ඔහොම්මයි
එකා පිට එකා වැටි වැටී
පෙම්වතුන් වැල පස්සෙමයි ‘
ආයෙමත් හැක හැක ගගා
සිනාසෙනවා
අද්‍රියානා ආච්චී
‘මට දැන් අසූ අටයි
හෙට අනිද්දටම යයි’
‘උඹේ නාඹර
අත් දඬුවේ
උඩ පහළ වැටි වැටී
දඟ කරන කොට වළල්ල
මතක් වී හිනා යයි උඹට
මේ නාකි
අද්‍රියානා ආච්චී ‘
‘සවර්ගෙද
කවුන්ටරයෙද තාම’
‘දුවෙක් ලැබුණෝතින්
දාපං ඒකිගෙ අතටත්
කියාපං පරණ බඩු කඩේ
නාකිච්චී
අද්‍රියානා ආච්චී දුන් වග ‘
‘මට දැන් අසූ අටයි
හෙට අනිද්දම යයි ‘
රෝස පැහැ ලොඹු පෙන්න පෙන්නා
මහ හඬින්
සිනාසෙනවා
අද්‍රියානා ආච්චී
සීතලත් බය අන්ධකාරය
බලා ඉන්නව දෙන්න දෙතනක
හදේ හැඟුමන් ගෙන දරා
සෙනේබර ඔබ තිරයෙ ලියනව
තවත් තිරයක එයම රඟනව
ජීවිතේ කොච්චර ලස්සණදැයි කියා.
ඉතින් බෑ තව ඈත යන්නට
බසවක් කුලමත් දැන් පහුවුණා
හෙමින් ඇළවී ටිකක් ඉඳිමුද
තිසා වැව තව දුර නිසා
නුඹේ උණුහුම දැනේ මට
අතට ගත් බත් කටටත් වඩා
ඉතින් තව අපි කුමක් කරමුද
සීතලත් අන්දකාරෙට බය නිසා.
ආපසු හැරී එනු මැන මනෝ එක්කම
තිරයද කරලියද එකිනෙකට යා වුන
විශ්මිත රැඟුම් පෑවා සතුට සාදන
ලංකාවටම ඔහු සරි කෙනෙකු නෑ වෙන
සමුගෙන ගොසින් ඇත ‘ජයලාල් රෝහණ’
පේරාදෙණිය, මොරටුව කොළඹ නම් ලද
සරසවි වලට ගොස් නැණ නුවන පිරිසිඳ
නව පරපුරට නොඅඩුව ලබා දෙන ලෙද
නෙක ගම් දනව් වෙත පා නැගුව සකි සඳ!
මහැදුරු සරත් සඳ බඳු ලොකු සර් ලා
විජයල මනෝලා තෙන්නෙල ජුඩීලා
අප හැර ගිය පසුව කුමටද හූල්ලා
ලාහෙන් මනින්නට නෑ ‘ජයලාල්ලා’
පිය සෙනෙහස අහිමි හිරිමල් ළමා විය
අප හැමදෙනාටම වැඩියෙන් විශේෂය
කරගැට කඳුළු දහදිය පිරි අතීතය
හෙළිකල කතා බහ මෙතැනින් හමාරය
තිරයට වේදිකාවට බැඳුණි ආලය
මතකෙට නැඟෙයි දෙසුමක ගැඹුරු තාලය
ඉගෙනුම පිණිස වැය කළ සියලු කාලය
ගිනිගෙන දැවෙයි දකුණේ පුස්තකාලය
හැකි හැම විටම ටෙලි නළු වලට දායක
හැම චරිතයම දිවි මග සොඳුරු සාධක
‘මුතුමිණ’ ඇරුණු කොට දුටු ‘ඉසුරුයෝගෙක’
තවමත් ජීවමානයි ‘ග්‍රාම සේවක’
කරලිය, ටෙලි තිරය සහ හෙළ සිනමාව
ඔපවත් කරන සේ නෙක දස්කම් පෑව
එයිනුත් නොනැවතී පලකල ප්‍රතිභාව
කළ එළි වුනා ඔබගෙන් ‘දොර මඩලාව’
මතකයි විවිධ හැඩතල සමග වික්රම
පාලුයි තිරය, කරලිය, සබය ඔක්කොම
ඔබ යන අතර තුර මූණටම දැක්කම
ආපසු හැරී එනු මැන ‘මනෝ’ එක්කම
ඉල්මහේ දිනක්..
ඔව් මේ මෙතැන
නුඹ මුලින් හිනාවුන
ලෙල්ලමට බයිනෙත්තු ඇවිදින්
සෙල්ලම් කල තැන
වැටී දුනුදිය කැඩී
අන්තිමට නුඹ සිනාසුන
පුළුටු ගද එක්ක
සුළඟ හමනවා තවම
තනියි ද කරදරයි ද හිත
අනේ මට කියාගන්න බැරිවුන…
හුරතල් කෙනිත්තුම්
ළය පා ඉල්ලුම්
තවමත් රතු ඉරට පහළින්
කූඩු කල හිත ඇවිලුම්
මූනිස්සමක් ඇවිදින් හිත් අස්සේ
වැදුනාට රිදුමක් නැත්තේ
එහෙමයි තෙපලුම් වැස්සේ
සඳත් ගිනිතියාගෙනයි බැස්සේ
ඉතින් බලනවා තාමත්
රතුමලක් මත්තේ
අහල ගං හතකවත්
සුවඳ නැති එකයි සත්තේ..
උන්මාදයක රස
උන්මාදයක රස හඳුනන්නේ – උන්මාද වූවන් පමණයි
සන්තානයක සුව මතුවන්නේ – සන්තාපයක් හා සමගයි
පෙම් ප්‍රාර්ථනා බිඳී ගිය හදකට – අන්දකාරය නිවනයි
උන්මාදවූවනි දැන් ඉතින් – හිස් වූ මධු බඳුන් පුරවන්
සිහිනේ බිඳී – දෙනුවන් තෙමී
සුන් වී හදේ පැතුමන්
සුසුමන් හෙලා – කඳුලැල් සලා
ලතවී පලේ කිම දැන්?
හිස් ප්‍රාර්ථනා – දුක් වේදනා
හදවත් දවයි නිබඳේ
මේ ජීවිතේ අරුතක් සෙවීමම
උමතුවකි සබඳේ
රුක් වලප
පින්වතුනේ
සොඳ යහගුණ පුරණා
නාඔ කියත් දත්වලින් හපා
අනේ අපේ හිස් අත් දෙපා කපා
බිම හෙළා දෙතිස්වද දිදී මරනු එපා
ගහකොළ නැතිවුණ දා
මේ ලෝක ධාතුවේ
සම්මා සම්බුදු මෑණිවරුන්
පහළ නොවේව
ලොව හැම තුරු සෙවනක්
බෝ සෙවනකි පින්වතුනේ
අපමණ ජීවය බිහිවන්නයි
රූසිරි ගුණපැහැ ගස්වැල් දළු ලන්නේ
දහසක් බෝසත්වරු බුදුවන්නයි
අපමණ වනතුරු බෝතුරු වන්නේ
සත් සමුදුර වියැලී
මහකරුණා සාගරය මිදේවී
ගං හෝ ඇල දොළ සිඳිලා
මෙත් කරුණා සිලිලාර මිදේවී
මේ මහපොළවම ගිනියම් වී ගුගුරා
ළය පැලිලා මියැදේවී
මිනිසත්වග අතුරුදහන් වේවී
සෙනසුරු ලෝකයම බිහිවෙවී
ගහකොළ නැතිවුණා දා
පින්වතුනේ
ලන්දේසි හාමුදුරුවනේ
ලන්දේසින් නම් ලංකාවට එන්නැති
ලොවේ ඉස්තරම් කුරුඳු වලට තන්හාවේ
සියලු ඉසුරු වස්තු සැපත් ඇත හැරදා උපන් රටේ
ඇයිදෝ ඔබ මෙහි වැඩියේ ලන්දේසී හාමුදුරුවනේ
ලොවේ ඉස්තරම්ම බුදු සසුනේ රැස් විහිදා
ලක්දීපේ බැබළෙනවා පෙනුණාවත් දෝ
බුදුන් දවස සඟ සසුනේ අනුරුවකැයි සිතුණාවත් දෝ
ඒ අනුහසින් විමුක්ති සුව මග වඩින්න දෝ
වැඩ විසුවේ වන අරණේ සේනාසනයේ
සොබා සොඳුරු සිරියෙන් පිරි පොල්ගස්දූවේ.
සැබෑ තමයි තථාගත වදන් මේ අයුරූ
**”යම්සේ වනාහී
ගංගා යමුනා අචිරවතී සරභූ මහී යන
මේ යම්කිසි ගංගාවෝ වෙත්නම්
ඒ ගංගාවෝ සමුද්‍රයට පැමිණ
පළමු නම් ගොත් හැර දමත්
මහා සමුද්‍ර යන නාමයට පැමිණෙත්
එපරිද්දෙන්ම වනාහී
රජ බමුණු වෙළඳ ගොවි යන
මේ සිව් කුලයෝ වෙත්ද
ඔවුහු ගිහිගෙන් නික්ම අනගාරික සංඛ්‍යාවූ
තථාගතයන් වහන්සේ විසින් දේශනා කරන ලද
ශාසනයෙහි පැවිදිව පළමු නම් ගොත් හැර දමත්”
මේ ආදී අටගුණ කඳක් නිසාවෙන්
ඇලුණේ නමුත් සසුනේ-බුද්ධ ශ්‍රාවකයෝ එදා
එසේ නොවේ අද ඇලුණේ බුදුසසුනේ ලක්දීපේ
ජාති වර්ග කුල ගොත නොමැකේ නිකාය නාමය බැබළේ
නො අසමි කුමක්ද නිකාය ඔබගේ ලන්දේසී හාමුදුරුවනේ
ගිහි චරියාවේ නොඇලී ඉන්නට ශික්ෂා පදයෙන් දිවුරුම් දී
ශික්ෂාකාමී ශ්‍රමණ වෙසින් බොහෝ සිටිත් ලක් සසුනේ
ගිහි ජීවන රැකියා කරතී, උපයා ගනිතී,
වස්තු සම්පත් රැස් කරතී. කසා වතින් බැබලෙතී.
රුචි නොවීද ඔබ හට ඒ පැවතුම්
වනවාසී වුණේ ලන්දේසී හාමුදුරුවනේ
සීසීටීවී කැමරා අටවා – දොරටු විසල් මහා පවුරු මැද්දේ
පන්සල් භූමි පුරා. සුවිසල් මන්දිර සම්පතින් පිරුණේ.
පූජා සැණකෙළි පෙරහැර උත්සව දන මන පොබ කරනා
රජ මැති ඇමතිද මහ ධන සිටුවර අනුබල ලැබ යෙහෙනා
පුදසත්කාරද සුවපහසුව සපිරී විහාර ගම් වාසේ
රුචි නොවීද ඔබ හට ඒ පැවතුම්
වනවාසී වුණේ ලන්දේසී හාමුදුරුවනේ
අනේ ඉතින්
වෙනදත් පොඩි ඔරුව පැදගෙන එනවාලූ
ගොඩ වී කලපුවෙන් ගමේ පිඬු සිඟා යනවාලූ
එදා – පරක්කු දූවට ඔරුව විතරක් පාවෙලා ආවාලූ
කාටත් අමුත්තක් නොසිතුණේ
ඊට ඉස්සරත් ඔරුව විතරක් එහෙම පාවෙලා එනවාලූ
පීනාගෙන විත් හිමියනේ ඔබ ඔරුව අරගෙන යනවාලූ
එත් මෙදානම් ලන්දේසි හාමුදුරුවෝ පීනගෙන ආවේ නැතිලු
පහුවෙනිදා කලපු දියේ මිනිය පා වෙවී තිබුනාලු
අනේ මොකද මේ වුණේ – ලන්දේසී හාමුදුරුවනේ
ශික්ශාකාමී බුද්ධ පුත්‍රයෙක් – ඔහොම අපවත් වුණා නම්
සැදැහැවත් මහ බොදු සමාජය – කැළඹෙනවා කම්පාවෙන්
මහ පන්සල්වල ඝන්ටා නාදය – රැව් පිළිරැව් දෙනවා
වීදි පුරා කහ පාටින් ධජ පතාක නැඟිලා – ගෙන් ගෙට ලෙලදෙනවා
එත් අනේ මේ පුවතින් පුදුම වෙලා
අනේ අපොයි කියන්නවත් – කෙනෙක් හිටියේ නෑ
මීයට පිම්බා වාගේ ලක්දීපේ – සසුන සද්දක් නෑ
එකම එක මහා පන්සලකින් විතරක් – හඬක් ඉස්සර වුණා
සියදිවි හානි කරගෙන කියා දේශනා කළා
විදු නැණින් සපිරි දේශයකින් අවුදින්
හුරු කලාවූ ජීවන සංයමයෙන්
දිවි නහගන්නම හිතුවා නම්
රැහැණින් අතපය ගල්ගෙඩි බැඳගෙන
වතුරට පනින්න උමතු ලෙසින්
විස්වාස කරන්නම බැහැ එවන් සැහැසි චරියාවක් නම්
ලන්දේසී හාමුදුරුවනේ ඔබගෙන්
මරණය අබිරහසක් ලූ – මරණ පරීක්ෂණ නෑ
හෙවිල්ලක් බැලිල්ලක් නැති ගුප්ත නිහැඬියාවක සැඟවිලා
ලන්දේසී හාමුදුරුවෝ – “අපේ හාමුදුරුවෝ” නොවෙයි දෝ
තථාගතයන්ගේ සාසනේ – බැබළේ ලක්දීපේ
**අංගුත්තර නිකායේ පහාරාද සුත්‍රයෙන්
(ආරණ්‍ය සේනාසනයේ පොල්ගස්දූවේ අබිරහස් මරණයකට
ගොදුරු වූ අජාන් ජිනවංශෝ හිමියන්ගේ ගුණ සිහි කරමින්.)
25/02/2021
කිමිදී සැඟවෙමි
අවසන් හිරැරැස් පතිත වුනු
තුරැ මුදුන් වල
දිලිසෙනා අතු පතර
වියරැය
දාස් පෙති පාට
ගිනි වැකුනු
එනමුදු නිවුනු
ගොම්මන් එලිය
බිහිසුනුය
පඳුරැ අස්සේ සැඟව
කෙලිනා කොල්ලන්ගෙ
කොක්සන් හඬ
උමතුය
ඈත ගම්මානෙකින් ඇහෙනා
කාටදෝ අඬගසන
ගැහැනියෙකුගේ හඬ
ගැඹුරැය
ගං ඉවුරැ පාමුල
රෑස්ස නාගස් වදුලක
සෙමෙන් දිය මත කිමිදෙමි
මල් රේණු සුවඳ විඳ විඳ
දිය පතුලෙ මොහොතක් සැඟවෙමි
(හැලෙන හෙවනැල්ලක කාව්‍ය 2020)
ප්ලැතෝනික ප්‍රේමය
නිවා දමන්නෙමි, සියලු රාග සිළු මෙන්ම
ක්ලේශ රශ්මි ද
හද පුරා වරින්වර ඇවිළෙන ,
දල්වන්නෙමි විරාගය ,පුදනු වස් ප්‍රේමයම පමණක් හුදෙකලාව ඔබ නමට,
නොයන්නෙමි හැර, හැර යනතුරුම ඔබ.
දන්නා බැවින් කිසිවෙකුත් මෙලොව පිරිපුන් නොවන බව ,
නොරිසිවෙමි සිද විමසන්නට තද පැහැති ළා පැහැති තැන්,
මගේ ලොව පැහැගැන්වු ඉන්ද්‍රචාපයක,
දැනගත්තෙමි පිරිසිද ,
ප්‍රේමය වුවද නොපිදිය හැකි බැව්
එකම හදකට සදාකල්හිම විඩාපත්වන බැවින් හදවත,
වසන්නෙමි මොහොතකට බුද්ධිය
හරින්නෙමි හදවතේ ඉසියුම් ද්වාර එකිනෙක
පෙන්වමි එසඳ මම ඔබට
කිරඹටත් වඩා සිහිල් ඔබ නමින් මා හද උපන් ප්‍රේමය
වැස්සක් වී නොවැටේවා
දෑතදෙපා
වරල්වෙලා
පීනායමි අහස්ගඟේ
යාලු මාලු
හුරතල් වී
දැවටෙනවා
මගේ ඇඟේ
වැස්සක් වී
නො වැටේවා
ඈත පෙනෙන මහපොළොවට
එහෙම උනොත්
හිඳීයාවි
මං පිහිණන
ගඟ දියවර
දෑත්වරල් දෙපාවරල්
හීංහඬින් ගීතගයයි
වියළීයන මිහිකතදිය
උඩුකුරු යටිකුරු වේවා
අසණිය වැහි වහින තුරුම
නැඟෙනහිරින් නැඟෙන හිරු
මැකෙන ඉර බෙදුව දහදිය දෙ පස ඇද
බිදෙන හිර පවුරු, උදුරා රුපුන් තෙ ද
නැඟෙනහිර ජැටිය දිනුමට බැඳෙන දද
දිළෙන´යුර අගෙයි, නැඟි හිරු කිරණ වැද !
පිබිදෙයි කොළොම්තොට දෑ බැති නෙළුම් මල
පැතිරෙයි සොයුරු රුහිරෙහි – දහදියෙහි බල
විහිදෙයි එළිය ගෙන එන රන් පඬුරු වල
ඉතිරෙයි කිරි, නැ-ප අස්වනු නෙළන කල !!
මාගම කොමළි චීනෙට පෙළවහට දෙනා
පාළම සයුරු පෙත වෙත තිබු අහිමි වුණා
වාදම සතුරු සොර මුළ සතු සිඳින ඉනා
පාඩම නැඟෙනහිර ජැටියෙන් උගත මනා !!!
නොසිටිමු බලා විකිණෙනු ලෙය-මස මවඟේ
සුරකිමු රට-දැයෙහි සම්පත් නිති එ වගේ
දනවමු එකමුතුව, රුපුනට බල අපඟේ
නැගිටිමු – එඩි වඩමු – යමු පෙරටම සුමගේ !!!!
කෝ ආනන්ද නාහිමි ට උපන්දින ආසිරි…
දේවී සුනෙත්‍රා පිරිවෙන් ඇසුර ලැබ
ගුරුකුලයකට ගුරුවූ ගරු සමිඳ ඔබ
ම හට ද පෙවු හෙයින් හෙළ බස නැතිව ලොබ
පුදනෙමි සසරෙ නවතින ඔබ දෙපා සිඹ
‘වීතරාගි ‘ ඇය ගැන කරුණුත් සෙව්ව
සරාගී කවිත් ඉඳහිටල ම ලිව්ව
‘යතා තතු දත් දනට හඬගාමින් කිව්ව’
ප්‍රේමය සුන්දරයි හිමියනි ඔබ මැව්ව
සුන්දර පැරීසියෙ කලබල නගරෙ මැද
නොතකා හිමය පැතිරූ බුදු දහම් කඳ
දහසක් ළමා සහ වැඩිහිටියනට සොඳ
එළියක් වුණිය තබනට දහමට ම බැඳ
අසූ වියට සපැමිණි මහ සමිඳාන
සෝම ගුණ දහම් සපිරුණු කිවිඳාන
හෙළ සාහිත ලොවේ දිදුළන රජිඳාන
සියක් වසක් සැරදේ ! ගුරු දෙවිඳාන
Amazon
බලන්න ඔබ දිහා
හිතන්න ඔබ ගැන
ශත වර්ෂ සීයකට වඩා
ඔබ හුළගේ වැනුනා පමණයි
වැස්සට තෙමුණා පමණයි
අව්වට වේළුණා පමණයි
කාබන්ඩයොක්සයිඩ් උරාගෙන
ඔක්සිජන් දුන් බව සැබැයි
ඒත්
ඇමතිතුමා කිව්වා වාගේ
ඔක්සිජන් කන්නද…?
සංවර්ධනය වෙන්ඩ නම්
කැළෑ එළිකළ යුතුයි
පුත්තලම් ඇමති විතරක් නෙවෙයි
පැරකුම් රජු කළෙත් ඒකමයි
අවුරුදු තිහකට කලින්
ඇමරිකාවේ ඔබ නමින්
පුංචි ගරාජයක
තනි මිනිහෙක්
පටන් ගත්තු
“Amazon”
අද ඒ මිනිහා
ලෝකෙන්ම පළවෙනියා
මිලමුදල් අතින්
නමුත් ඔබ තවමත්
කාබන්ඩයොක්සයිඩ් උරාබොමින්
ඔක්සිජන් පිට කරමින්
මොකද්ද මේ කරන විහිළුව…?
ගසක් වුව මරණයට කලින්
හොඳ ගාණකට විකිණෙමින්
ධනය රැස් කළ යුතු නොවෙද?
පරණ ඇමසන් අමතක කර
අලුත් Amazon වෙන්න
කැමති බව කියා
පණිවිඩයක් යවන්න
බ්‍රසීලයේ බොල්සනාරෝට…!!
වැන්ගෝ මිතුර
තිරිඟු කුඹුරට ඉහලින් පියඹා ගිය කවුඩනි
නොදුටුවේද රන් පැහැති තිරිඟු
සුළඟට වැනෙනා අයුරු
තෙලි තුඩින් නිම වූ
ගෙඩි පිරුණු ප්ලම් ගස
දුඹුරු පැහැති අතු විහිදා
බලා සිටියි ඔබ එනතුරා
කහ පැහැයෙන් පිරිපුන්
සුරියකාන්ත මල් කිනිති
මවයි දසුනක්
සිත් වසඟකරවනා
රාත්‍රිය එළඹී ඇත
විහිදේ චන්ද්‍ර කාන්තිය
අහසේ දිලෙයි තරුකැට
මවමින් විසිතුරු රටා
මලානිකවූ ලන්තරුමේ පිහිටෙන්
රුදුරු කුසගිනි නිවාගන්නට
අර්තාපල් බුදින දුගී පැල්පතේ නිවැසියන්
දැන සිටියේද ඔහු ගැන යන්තමින්වත්
තම තෙලිතුඩින් නිමකළ
අසමසම චිත්‍රයනට
ඔහු කොතෙක් ඇලුම්කලද
එම මනස්කාන්ත චිත්‍රයන්
ඇළුම්කලේද ඔහු හට
සිත්තරෙකුගේ ඉරණම
මෙතරම් කටුක වුයේ මන්ද
අහෝ වැන්ගෝ මිතුර
ඇයි නුඹ අත් හැරියේ ජීවිතය
අවසන් නොකළ චිත්‍රයක් සේ
ප්‍රභාවේ ප්‍රතිභාව
හිරු දෙවිගෙ තෙද බලෙන්
ඇඟ දවයි හිරු එළිය
හඳේ ප්‍රතිභා බලෙන්
හිරුගෙ ඒ ප්‍රභාවට
නව මුහුණුවරක් දී
මැවේ සොමි රැස් දහර
හඳේ සෙනෙහස නිසා
නිවේ ගත සිත දෙකම
මහා කරුණා බලෙන්
මානවී දයාවෙන්
සත්ව කරුණාවකින්
සතා සිවුපාවුන්ට
ගහකොළට ඇළ දොළට
මහා පොළවට පවා
දැඩි ගිම්ද නිවාලන
සිසිලසකි ලැබෙන්නේ
අපූර්වත්වය නිසා
චමත්කාරයකි ඒ
හිරු එළියෙ ප්‍රභාවයි
හඳෙන් ප්‍රතිභා වෙන්නෙ
එහෙත් ඒ සඳ එළිය
හිරු එළියමයි කියා
කෙලෙසකද කියන්නේ
ව්‍යුත්පත්තිය මවන අපුර්වත්වයකි ඒ
සතත අභ්‍යාසයෙනි එහි මහිම වැඩෙන්නේ
රාග (විරාග)
ජීවිතය ජයගනු නියාවෙන්
බවුන් වැඩුමට එක ලෙසින්
ඈත දුර අරණකට ගිය ඔබ
වසර ගණනාවක් මුලුල්ලේ
අනේකවු පාරමී පුරමින්
කොතෙක් නම් වෙහෙසුණිද
සුමිතුර, ඒ අතීතයේ මතක සේයා
මගේ හද ගැඹ නිදන් වී ඇත
මිනිස් හඩකුදු නොඇසෙනා දුර
ගල් තලාවක බිහිදොරෙහි
ඉලුක් මඩුවක තවුසෙකුව ඔබ
වරු ගණන් එක දිගට තනිවම
විටෙක නිරාහාරව පවා
භාවනා කළ යුගය නිමවා
කිම මෙසේ අද යොවුන්
ඇඹෙනියකව සහා
ගම් වැදී පැල්පතක තනිවී
ඇලී අන්තයටම කිදී
පංච කම් ස¿ප විදින්නේ
හිමාලයේ මස්තකයෙ මහ ගිර
අනෝතත් විල අසබඩෙහි
අකාලෙට විස්මිතව පිපෙනා
පුෂ්පයක් වන් ළදක උඩුකය
දැක බැඳී නාරී ලතාවක
දැහැන් සිද බිද ඒ සැනින්
එතෙක් යටපත් කර තිබූ
කෙලෙස් සංයෝජන නැඟී
අපිස් දිවියෙන් අයින් වී
රාග කම් සැප විදිනු වස්
පැමිණියෙද මා හදේ රජවූ
සසර මග ආ සුමිතුරාණෙනි!
6.2.2021
තමා සත්‍යයෙන් නිර්මිත යැයි මගේ සොඳුරිය දිවුරන විට
When My Love Swears That She Is Made of Truth – Shakespeare
When my love swears that she is made of truth
I do believe her, though I know she lies,
That she might think me some untutored youth,
Unlearned in the world’s false subtleties
Thus vainly thinking that she thinks me young
Although she knows my days are past the best,
Simply I credit her false speaking tongue:
On both sides thus is simple truth suppressed
But wherefore says she not she unjust?
And wherefore not say I that I am old?
O, love’s best habit is in seeming trust
And age in love loves not to have years told:
Therefore I lie with her and she with me,
And in our faults by lies we flattered be.’
තමා සත්‍යයෙන් නිර්මිත යැයි මගේ සොඳුරිය දිවුරන විට
මම ඇය විස්වාස කරමි, ඈ බොරු කියන බව දැන දැනම
ලෝකයේ බොරු රැවටිලි ගැන කිසිත් නොදන්නා
මා නූගත් තරුණයෙකැයි ඈ සිතන්නට පුලුවන්
මා තරුණයැයි ඈ සිතතියි ආඩම්බර වෙමින්
මගේ හොඳ කාලෙ ගිහිං බව ඈ දන්නා නමුත්
මමත් ඔහේ ඇගේ බොරු වදන් පසසමින්
මේ විදිහට සරල ඇත්ත දෙපැත්තෙන් ම යටපත් වෙයි
එහෙත් තමා අසාධාරණ බව ඈ නොකියන්නේ ඇයි ?
මාත් මා මහලු බව නොකියන්නේ ඇයි ?
ආ ! ආදරයේ හොඳම පුරුද්ද ව්‍යාජ විශ්වාසයයි
ප්‍රේම කිරීමේ දී වයස, සැබෑ අවුරුදු ගණන කියන්නට අකමැතියි
ඒ නිසා මා ඇයටත් ඇය මටත් බොරු කියනවා
අපේ ඒ වැරදි තුල රැවටී අප සතුටක් ලබනවා
කෝ ඇරයුම
ලැබුනේ ඇරයුමක්
පිලිගතිමි මුළු හදවතින්…
ප්‍රාර්තනා කලෙමි මම
වෙසෙන්නට දිවි ඇතිතෙක්….
කැදල්ලක් තනාගෙන
වෙන් වුනෙමු අප දෙදෙන….
කලෙකදි වුනෙමු අපි
තිදරුවන් හට දෙමාපිය
සැප හා සියලු දුක්
එකසේ විඳගනිමින්
ලද දෙයින් සතුටුව
සැනසුනෙමු අපි සැවොම ….
පුදුමයකි සිදුවුනේ
දිවි ගමනෙ අතරමඟ
සියලු දෙය හැරදමා
නික්ම ගියෙ ඔබ තනිව
ඇයිද ඇරයුම් නොකලෙ
කැටුව යන්නට මාව…..
මතු සසරෙහි සැරි සරන්න
ඔබ හා අත් බැඳ අදරින්
පතනෙමි මම මුළු හදින්ම…
කටේ හයිය
කොණ්ඩය මා නොබැන්දාට
පිච්ච මලේ සුද ගැහුණට
හිසකෙස් හිස පිරිල තියෙනවා…
පාට – පාට නොදැම්මාට
දිගු වරලස කොට කලාට
මගෙ ලස්සන තව ම තියෙනවා…!
උපැස් යුවල පැළඳුවාට
මං කලිසං නොඇන්දාට
ගවුමට තව ලස්සන වෙනවා…
අඩි උස මිරිවැඩි ඇන්දට
වත්සුණු මං නොගෑවාට
ලස්සන මගෙ නොමැකි තියෙනවා…!
දෑත – දෙපා වෙව්ලුවාට
වේගය මගෙ අඩු වුණාට
පත – පොත ගැන හුඟක් දන්නවා…
ඇස කඳුළෙන් බොඳ වුණාට
අතැඟිලි අවනත නූනට
මුතු ඇට වගෙ අකුරු ලියවෙනවා
වයස අසූ පහ පැන්නට
ගත හැම රැළි – රැලි ගැහුනට
ඇඟේ පාට තවම තියෙනවා
කන ඇහෙන්නෙ නැති වුනාට
වැටි – වැටි එහෙ මෙහෙ ගියාට
කටේ හයිය හොඳට තියෙනවා …..
මගෙ කටේ හයිය හොඳට තියෙනවා
සඳමඩල..
හිතේ ඇති කදුලු බිඳු
නෑඹිලියෙ දියකරන්
ඔබ පිසූ රසමසලු
මගෙ උගුරෙ හිරකරන්
මගේ මුලු හිත්පතම
දෙඇස තුල බොඳකරන්
සොයමි මම අම්මෙ නුඹ
ආදරේ ගුලිකරන්
ඔබෙ හිනාවත් එක්ක
ගුලිවෙන්න පොරබැඳන්
මගේ හිත්මල් යායෙ
මල් පිපේ ඇතිතරන්
පෙර පිනෙන් මං ලැබූ
දේවතා ඇස් අරන්
හැමදාම මං ලඟින්
ඉන්න දෙවියෙක් වෙයන්
ඉර සේවය
රැය පුරා ගසාගෙන හිටපු සුදු වළාපොට
ඉහෙන් පන්නා දමා නුඹ යහනෙ විට්ටමට
ඇඳ රත්තරන් පාට සූට් එක ජැන්ඩියට
මල් සුවඳ සැන්ට් එකෙන් ටිකක් ගා දෙකන්සෙට
සිකැට්ටෙකකුත් තොලේ රඳවලා දල්වගෙන
මිහිදුමෙන් වළලු පිඹ කඳු මුදුන් දිහාවට
ඉස්කූටරෙන් වෙට්ටුවක් දමා සිඳු ළඳට
පාන්දර පිටත් වෙයි යන්න ඉර සේවයට.
මැනේජින් ඩිරැක්ටර් සිරි සමන් සුරිඳුන්ට
‘මෝනිං සර්’ කියා තුන් යලක් හිස පාත් කර
කා.කා.ස. කාකයන් තැබූ ලිපිගොණු අතර
ඉඩ හදන් ඉඳගනී පෙර අඹර මේසයට
තුන් ලොවම එළි කරන බැකෝ රැස් විහිදන්ට
උකස් වුනු ඉඩ කඩම් කලුපහන නිශාන්තට
එළි කරලා විකුණන්න, පර්චස් පහට, දහයට.
සල්ලි දී වලාහක ඇන්ටීට අතුගාන
ටී එකයි, වඩයකුත් කැන්ටිමෙන් ගෙන්නුවට
වැඩකරන අතරේම හීනියට සලුවෙන්න
හොර රහසෙ රිංගන්නෙ රාහුගේ ක්ලබ් එකට
ෆයිල් මිණි හැංගුවට කාටවත් නොපෙනෙන්න
බාර වුනු පුද පඬුරු අත යටින් පුද දෙන්න
පාතාල බහිරවත් එහි එනවා හමුවෙන්න.
නෙලුම් මිස් අකුලද්දි පෙටි කෑෂ් මනි පත්‍ර
ඇඟිලි සලකුණ තබා ඉර හැරෙයි පිටවෙන්න
තාරුකා හෝටලෙන් චිකන් කොත්තුවක් ගෙන
මුහුදෙ නා පැමිණියත්, ඇඳුම් හෙම මාරු කර
දබර වී “අනේ තමුසෙගෙ රස්නෙ” කියාගෙන
සඳවතිය අම්මලෑ ගෙදර නැවතුන පසුව
ගෙදර ඇති හිස්, නිහඬ, අඳුර ඉවසනු බැරිව
ඇද වැටෙයි දොම්නසින් අමාවක සයනයට
කේතලේ මගේ
කේතලේ මගේ
විටකදි වාශ්ප පිට කරයි
ඇතුලේ බොයිල් වෙනවා නේද ?
එතකොට නම් මට බයයි
තවත් විටක අයිස් වගේ
බොහොම සීතලයි
හීන් දාඩියත් දමාලා
කූල් එකේ ඔහේ සිටියි
රත් වූවොත් ශබ්ද දමයි
විසිල් එකත් පටන් ගනියි
මට නම් නිවනක් නැතිවෙයි
නිදා ගන්න වත් බැරි වෙයි
මෙයා ටිකක් සිසිල් කරලා
ඇබයක් වත් ගහ ගන්නවා
………………කන් දෙකේ..!
ඔහුද..විරුවෙකි..!!!
ගිනිගත් මවු දෙරණ,
වියරුවෙන් පිළිස්සෙන….
ඉඩෝරයෙ හුලo වැද,
වියළී ගිය මිනිස්කම….
මුදිතාවෙ දහම් මඟේ,
සිහිලෙන් නහවන්න….
ඇසුනත් සතර අත,
හිමි දෙසූ නිවන් මඟ….
අසoවර නුඹේ හිත,
විරු ගතේ සැඟව හිඳ…
සොයන්නෙම ඇගේ ගත,
සතපන්න නුඹේ හිත….
මොහොතක විවේකෙට,
අනු’පුරේ ටවුම මැද…!!!
10/02/2021.
පනාමුරේ මනම්පේරි
මා ඇතින්නක් වූ නිසා
පූරුවෙ කල පවට
මගේ දිවි පූජාව
ලියවුනේ ඇතු නමට
වෙඩිකෑවෙ මං එදා හැමෝගෙම නිදහසට
ඒ මදෑ සොහොන් කොත් සමරු ගී මට මොකට
දළයා හිටියේ සටන අතහැර
ඔහේ පැත්තක දෙදළ රැකගෙන
එලූ පාවඩ උඩු වියන් මැද
පෙරහැරේ යන හීන දැක දැක
අනිත් පිරිමියෝ ඌ වටේ හිද උගේ පූචානම් අසාගෙන
පෙරහැරේ දැලවරවත් යන්න දිනයක් එයි හිතාගෙන
සුදහ ගින්නේ පුංචි එව්වෝ
කිරට ඇඬුවා වැටුන තැන්වල
තොන්ඩුවල හිරවෙලා අම්මලා
වෑහුනා කිරි උන්ගෙ තන්වල
ගාල වටකල බුරුත දඩුවැට කඩා දැම්මෙ බැරිම බැරි තැන
මං තනිකඩ එකී මලත් කම් නෑ යැයි හිතාගෙන
වෙඩි කකා මැරී වැටුනෙමි
ලේ පෙරාගෙන ගාල දොරකඩ
දළයා හිටියේ ඒ වෙලාවෙත් උගේ දළ දෙක ඔප දමාගෙන
10/02/2021
මතකය!
ජීවීත කාලය පුරාවටම …….
ලැබු සොඳුරු මතකයන්
කොහේදෝ තැනක සඟවලාලු
සොයාගන්න බැරි විදියට
ඒත් තැනක තියෙනවාලු…….
පරිස්සමට සැඟවිලා
ඒ සොඳුරු මතකයන්
මට මතක් කර ගන්න බැරි වුනාට.
උපාසක මහතාගේ පොල් ගැසීම…
ආසනේ මාරයි
සාසනේ හමාරයි
කොඩිය නම් මාරයි
රටට හිරිකිත යුද්ධ සාරයි…
අසුනක් හින්දා
ආත්මෙ ම වික්කා
සිහළ උරුමේ මැක්කා
ආයෙ ඇවිදින් අපිට විද්දා…
උපාසක ඇත්තෝ
පාට පමණක් දැක්කෝ
බොල් පිළිම ගැත්තෝ
සාදු කියමින් වඳිනු දැක්කෝ…
සුභද්‍රගෙ පරපුර
අභද්‍රව හැසිරේ තැනින් තැන
වෙන විපත නොම දැක
ලොකු හිමියො ඇත රජුන් දැක දැක…
සිවුරේ ගරු පිහිට
නොමනා වැඩ පිණිස
යොදා ගනු කුමකට
අපි පව් නැද්ද හිමි සද…
රටට බුදු සරණයි
ධර්මයෙ උතුම් පිහිටයි
අපිට විළිලැජ්ජයි
මේ සියලු දේ රටට තිත්තයි…