ලන්ඩනයේ සිට මුදා හැරෙන ශ්‍රී ලාංකේය කවි සරණිය

සමාධි

සමාධි

කෝ. ආනන්ද පැරීසිය
2021-December

පෝදා සඳ රන් විමනයි
මැදුම් රයම නිසලයි
බුදුකුටියේ පහන් සිලයි
තුන් දොර එළිය කරයි
ළා දළු බෝපත් රනේ රුවට ලෙලෙදෙයි
සිතුවිලි අරණේ බවුන් වඩන සිත
සමාධිගතවී උදාන ගී මුමුණයි

ගඟනිල් දියවර පැහැසරණිය වෙයි
ලාලස ගමනින් ගලා බසියි
සවනක් ගණ බුදුරැස් විහිදා
අරුණා ලෝකය බැබලෙයි
මහ සෑ මළුවයි නිකෙලෙස් සුවඳයි
සිතුවිලි අරණේ බවුන් වඩන සිත
සමාධිගතවී උදාන ගී මුමුණයි

සුදු පුළුන් වලා වියනයි
කසිණ බවුන් වඩණා නිමිත්තයි
ක්‍ෂිතිජ ඉමයි රන් අස්වනු යායයි
මඳ පවනේ නැළවෙයි
විහඟ රෑන් රන් කරල් නෙළාගෙන
පා සටහන් නොතබාම පියාඹති
සිතුවිලි අරණේ බවුන් වඩන සිත
සමාධිගතවී උදාන ගී මුමුණයි