ලන්ඩනයේ සිට මුදා හැරෙන ශ්‍රී ලාංකේය කවි සරණිය

විසල් හදක කවි – ත්‍රිකාල නර්තකී

විසල් හදක කවි – ත්‍රිකාල නර්තකී

රවිබන්ධු විද්‍යාපති
2021-September

ඝන නිල ගගන ගැබ සිසාරා
නැඟි ගැඹුරු බෙර හඬ පලා
විවර වන්නී ඈ සබවෙත
තියුණු ත්‍රිකාල නර්තනය සමඟින්

ලොහො පිළිමයක් සේ නටරද දෙව්
කළු පැහැ රැගත් සිරුරින්
රඟන්නී ඈ අතීතයේ නට විලස්
අති විලම්භ ලය මානයෙන්
පිරිමදියි මැදි ලයෙන් වත්මන
ලැසි නැටුම් සුමියුරු ගම්භීර විලසින්
පුපුරවයි දෘත ලයෙන් විදුලිය විලස්
රුදු තාණ්ඩවය එළැඹෙන සමය වෙනුවෙන්

විටෙක නටයි තාණ්ඩවය පිය උරුමය ලත් විලසින්
විටෙක නටයි ලාස්‍යයම මව් පස උරුමය සමගින්
තවත් විටෙක දෙමුහුව ගෙන නටයි අර්ධනාරී මෙන්
නටයි ගයයි වයයි තෙකල් නර්තකි උමයඟන වෙසින්

(උපේකා චිත්‍රසේන ගේ සත්තෑවන ජන්ම දිනය වෙනුවෙන්
ලියන ලද කවි උපහාරයකි. චායාරුපය; ලක්ෂ්මන් නඩරාජා )

2021.05.19