ලන්ඩනයේ සිට මුදා හැරෙන ශ්‍රී ලාංකේය කවි සරණිය

ගණිකාවක් තම පුතුට කියන ඇගේ කථාව…

ගණිකාවක් තම පුතුට කියන ඇගේ කථාව…

නිශාන්ත ප්‍රීති සෙනරත්, ලන්ඩනය
2021-December

තාත්තා කෙනෙක් නැති… ලොවට ජාතක වෙච්ච
“අවජාතක එකී”…. ලෙසට හංවඩු ගැසුන
කාටවත් වැඩක් නැති පුංචි මම එක් වරම
යුවතියක් උන අරුම…

ටික දිනක් ගත උනා ..ගත මගේ පිබිදුනා
ඉදිරියට නෙරපු ලැම…. සන්තොසින් හිනැහුනා
පිල් විදින මොනරකුගෙ… හැඩය ගත් කෙස් කළඹ
කෙහෙල් දළු පරදවන… පැහය ගත් රත් දෙතොල
අම්මගෙන් උරුම උන… සඳක් වැනි මුව කමල
සලෙලු බැලුමන් ලබන …. සුදෝ සුදු පා යුගල…

මා ගමන් කරන විට… තාලයට දෙපැත්තට
නැළවී නැළවී නටන
ලස්සනලු මගේ පස්ස…
උපාසක මහත්තයා… දවසක්දා මට කිව්වා…

මග තොටේ යන්න බැහැ… බැඳපු මිනිසුන් පවා
හොර බැලුම් හෙළනවා
බඩු ගන්න කඩේ ගිය… හැම විටම මුදලාලි
කඩේ බඩු කිරන්නේ
තරාදිය දෙස නෙමෙය්….මගෙ පපුව දෙසබලන්..

ගමේ බක්මහ උළෙලෙ… අවුරුදු කුමාරිය
ලෙසට මම තේරුනේ
මගේ කරුමෙට කියා…පස්සෙ මට වැටහුනේ
තෑගී දුන් මන්තිරියා …පොටෝ ගහනා ගමන්
කාටවත් නොදැනෙන්න..
මගේ පස්ස මිරිකුවම

එදා රෑ මුදලාලි… සමග මන්තිරිතුමා
අපේ පැල වෙතට විත්… උස්සාන මම බලෙන්
වාහනෙන් ගෙන ගියා…
මගේ පොර බැදීමත් …අම්මගේ විලාපෙත්
උන් ගණන් ගත්තෙ නැහැ…
රැය පහන් වෙන තුරා… උන් මගේ ශරීරය
උරා බී තුටු උනා…
මළකඳක් සේ වැතිර… ඉකි බින්ද මගේ අතට..
සල්ලි කොළ ටිකක් දී…
කාටවත් කිව්වොතින්… මරණවා තොපි ඉතින්..
කියා තර්ජනය කර…උන් මාව විසි කළා
උහුලන්න බැරි කමට… මගෙ අම්ම වස බිව්වා
කාත් කවුරුත් නැතිව.. අනේ මම තනි උනා

එදා සිට හැමදාම… මගේ ගත ඉල්ලගෙන
මිනිස්සුන් මගෙ පැලට…හොර රහසෙ ගොඩ උනා
රෑ අඳුර වැටෙනකොට..
අනේ නැති බැරි කමට…විකුණුවා ගත උන්ට
උන්ගෙ රුපියල් වලට…
දහවලට මා දකින..කලට උන් මග ඇරියා
ඒකි නම් “සතාමය්” …කියනවා මට ඇහුනා
“වේස ගුබ්බෑයම” ලු… උන්ට මගෙ පැල්කොටය

කාලයක් ගත උනා…පුතේ උඹ ඉපදුනා
උඹේ පියා කවුරුන්ද… දන්නේ නැහැ මගෙ පුතේ
වැඩක් නැහැ හොයන්නට…කවුරුන්ද ඌ කියා
ඌත් තව තිරිසනෙක්…මාව හපයක් කරපු

උඹව ලොකු මහත්වෙන..කාලයක් එළඹේවි
“වේසිගේ පුතා” යය් උන් උඹට නම් බඳීය්
ගණන් ගන්නට එපා ..උන්ගෙ තිරිසන් වදන්
මගේ අම්මාට සහ… මට වෙච්ච වින්නැහිය
මතු කවරදාකවත්…උඹේ දූ පැටියාට
වෙන්න ඉඩ දෙන්නෙපා…
උඹට කිරි කර පොවන…මගේ ලේවල හය්ය
අරන් නුඹ ලොකු වෙයන්..ඉක්මනට මගේ පුතේ…
තියෙනවා යුතුකමක්…උඹට ඉටු කරන්නට…

චන්ඩියෙක් වෙලා උඹ.. කාටවත් මෙල්ල නැති
මරාපන් මගේ පුතේ.. ගැහැණු කෙලෙසන එවුන්…
මග තොටේ ඇවිද යන … වැඩපොලේ වැඩ කරන
වලව්වල කුස්සිවල…මෙහකාර කම් කරන
පාසැලේ, සල්පිලේ… හෝ තමන්ගේ ගෙදර
ගැහැණියක් කෙලෙසාපු.. කිසිම තිරිසනෙකු හට
සමාවක් දෙන්නෙපා ….මරාපන් වද දිදී
ගැහැණුන්ට ගැහැණුකම…ආභරණයක් උන
ලොවක් බිහිවන තුරා…මරාපන් තිරිසනුන්