ලන්ඩනයේ සිට මුදා හැරෙන ශ්‍රී ලාංකේය කවි සරණිය

ඉල්මහ තරිඳු දුටු සිරිඅසිරි එදා

ඉල්මහ තරිඳු දුටු සිරිඅසිරි එදා

ඒ. එම් .අබේසිංහ බණ්ඩා - මහනුවර
2022-November

සිත් පහදවාගෙන මතුවට බුදුබව පතලා
ගත් අදිටනින් ගෞතම සසුනට බැඳිලා
ලත් අවසරින් සළුවක් මුණිඳුටපුදලා
මෙත් බෝසතුන් ඉල්පෝයට විවරණ ලබලා

තිලොවට තිලක අපෙ සම්බුදු හිමිගේ
බෙදුමට දහම් හැටනම පලවෙනි සඟගේ
දෙසුමට දහම් සනසා මනුදන සැමගේ
ඇරඹුම වුනේ ඉල්පෝ දිනකයි අපගේ

සම්බුදු සමිඳු අපෙ ගෞතම මුනිඳු
උරුවෙල විසූ ජටිලයො ළඟ විහිදූ
සම්බුදු බලෙන් තුන්බෑයන් අවිදු
ඉල්පොහෝ දිනේ පැවිදිව ඇති පසිඳු

ගිහිගෙයි සිටියදි ඔහු වී උපතිස්ස
රූපසාරි මව්තුම මිසදුටු දිගැස
යහමග ගෙනා සැරියුත් හිමි අගස
පිරිනිවු දිනත් විය ඉල්මහ පොහො දවස

පෙරවස් වසන්නට නොහැකිවු සඟරුවන
පසුවස් පවාරන්නෙත් මේ පෝයදින
ථූපාරාමෙ වැඩ පෑතිස් නිරිඳු දින
ඇරඹුම සිදුව ඇත ඉල්පෝදා සොඳින