ලන්ඩනයේ සිට මුදා හැරෙන ශ්‍රී ලාංකේය කවි සරණිය

ගිනිගත් ටාසන්

ගිනිගත් ටාසන්

හේමා ඩෙප් - ලන්ඩනය
2022-February

පාස්කු දවසට මට හරි වාසියි
අපේ ගෙදර පොඩි මඟුල් ගෙයක්
බාගෙට උයලා කුස්සියෙ කට්ටිය
දැනෙනව මට මහ රසක ඉවක්

මගේ පිගානෙට ජයටම බෙදලා
රසටම අනලා දීල උදෙන්
හොදටම කාපන් ටාසෝ කියලා
කීව අම්ම මට ආදරයෙන්

ජනේලයෙන් මම එබිල බලනකොට
දැක්කා හැඩ වෙන ගෙදර අයත්
ටාසෝ කියලා පල්ලි ගියා
මට බාර දීල පොඩි මුර වැඩයක්

පඩිය උඩට වී බලාන උන්නා
පාරේ යන හැටි මහ සෙනගක්
ඇහිච්ච සද්දෙන් ගැස්සුන පාරට
හැංගුන බංකුව යටට ගිහින්

හිටියා හිටියා බලාන හිටියා
දැන් එයි කියලා ගෙදර අයත්
හොරෙන්ම දිව්වා පල්ලිය පැත්තට
බලන්න පරක්කු මොකද කියා

හරි කලබලයක් පල්ලිය ඇතුලේ
පොලිස් මහත්තුරු මහා ගොඩක්
ගෙදර කට්ටියත් හොයා ගන්න බෑ
දිව්වා ආපසු ගෙදර මමත්.

කෝ මේ ගොල්ලන් ගෙදර ඇවිත් නෑ
වාඩි වුනා මම තව සැරයක්
අනේ මන්ද දැන් මොනව කරන්නද
දැනෙනව මට දැන් ලොකු වෙනසක්.

අල්ලපු ගෙදරින් දුවගෙන ඇවිදින්
කියන දෙයක් මට තේරෙන්නෙත් නෑ
ටාසෝ කියලා මාව බදා ගෙන
කෑ ගැසුවා මගෙ යාලු බබෙක්.

කුස්සියෙ උයපුව අනලා දුන්නා
ඇවිදින් මට ලඟ පොඩි කෙල්ලක්
කන්න එපා මට පාළුයි හරියට
එන්නකො විගහට ගිය තැනකින්.

ටාසෝ කියලා අඬගහන්නෙ නෑ
මගේ ගෙදර අය පේන්නවත් නෑ
පල්ලියෙ දෙවියන් මොනව කරනවද
දන්නෙ නැද්ද මම තනිවු බවක්!