ලන්ඩනයේ සිට මුදා හැරෙන ශ්‍රී ලාංකේය කවි සරණිය

පෙරහරක පෙළහර

පෙරහරක පෙළහර

වෛද්‍ය මනෝරි ගමගේ
2021-August

පෙරහරක පෙළහර – වෛද්‍ය මනෝරි ගමගේ

හඬයි කස පෙරමුණේ පෙරහර
හදයි මගතොට එළිය පැහැසර
නැගෙයි එළිරැස අඳුර මගහැර
දැනෙයි පායා විලස දිනකර

නඟන සේ ජාතියක අඬහැර
ඇඳෙන සේ වැහි මැදක විදුසර
පාන ඒ රැඟුමකින් පෙළහර
එළි නොවෙද මුලු ඇසල පෙරහැර

නාදයට බෙර වැයෙන තාලය
පාවඩය මත තැබෙන පාදය
රාව නංවන සාදු නාදය
සියලු සතහට ගෙනේ ප්‍රීතිය

රබන් අතිනත කර කැවෙන්නේ
පංතේරු හඬ පැතිර එන්නේ
මොණර නැටුමට සිත ඇදෙන්නේ
ලී කෙලිය නෙත කන පිනන්නේ

වඩමන කරඬු දළඳා හිමි වැඩ වසන
හිමිහිට ඇදෙන ඇත් දෑලේ රුව වරුණ
නිලමේ පිනන නෙත් පින්බර දිය වඩන
එනතුරු සැවොම නෙත් දල්වා මග බලන

සිටුවා දිනක කප් ඇරඹෙන කතාවක්
කපවා කරන දිය දිනකදි නිමාවක්
අඳිනා හදක නොම අමතක රටාවක්
වළකා තිබේ නැරඹුම තව වතාවක්