ලන්ඩනයේ සිට මුදා හැරෙන ශ්‍රී ලාංකේය කවි සරණිය

ඒ මාවත අපේ නොවෙයි …… !

ඒ මාවත අපේ නොවෙයි …… !

මහාචාර්ය ටී. එල්. ගුණරුවන්
2022-November

කියන කරන දේ දැක්කම අපේ ළමයි

අපේ මනාපෙන් මැති සබ යැවූ බමයි

අහිමි කරන විට හෙමිහිට රැසයි – බිමයි

නොගැළපෙන්නෙ දැන්නම් මෙහි අප ම තමයි ….

මවු බස ඇවැසි නැහැ ඉගෙනුම පිණිස කියයි

නීති විදුහලෙත් පර බස වහර යොදයි

සරසවි දැනටමත් මවු බස අතැර තිබෙයි

අපට දැනෙනුයේ මඟ වැරදිලා වගෙයි ….. !

දැයක උරුම රැකුමට බොරු වහසි ගොඩයි

එහෙත් කෙරුම සබයෙදි පර දෙසට යටයි

අහිමි වෙන්නෙ අපෙ දරු පරපුරෙහි හෙටයි

රැකුමට එය යැවු උන් මොළ හරිම මොටයි

ණය ගෙන වුණු විපත වැටහී නොමැති වගයි

සකසුරුවම නොව තව ණය ගන්න හදයි

රට උකසට යනු ඉන් පුදුමයක් නොවෙයි

ණය වෙනුවට දැයෙ සම්පත් හිලව් කෙරෙයි

දැයක සෙවෙර හිමිකම නොවටිනා හැඩයි

එවැනි රටක උරුමය නිසැකවම හිඳෙයි

වෙළඳපොළක කා – බී නිදියන්න ලැබෙයි

එය නම් ඇවැසි, ඒ මාවත අපේ නොවෙයි …… !

2022 ඔක්තෝබර් 19