ලන්ඩනයේ සිට මුදා හැරෙන ශ්‍රී ලාංකේය කවි සරණිය

අන් වෙසක් කවි

අන් වෙසක් කවි

මංජුල වෙඩිවර්ධන
2021-May

හීන කැළතෙන සොඳුරු මොහොතයි අලුත් අවුරුදු මධුවිතේ
පේලි ගැන්වී සීත විඳගමු කීරි ගැන්වෙන හදවතේ
වෙසක් අහසට ඇවිත් සිටියද සඳත් ඇයි මේ නිදිමතේ
මීන රාශිය චීන රාශිය කළේ කවුරුද දියනෙතේ

චීන බොදු දද අහස අවුරා පවුරු නංවාලන දිනක්
චීන අටපට්ටම් නෙළුම් මල් තාරුකා මැද රැලි ගොඩක්
චීන දන්සල් වඳින්නට යන හීනයට නැතුවද ඉඩක්
චීන රහතුන් වඩින මඟ වෙ ද අන් වෙසක් ගන්නා වෙසක්

බලන් හිටියැකි මකර තොරණේ ගිනි පිඹින මකරිඳු දිහා
එ ගිනි සිළු වැද බුබුළු නැංවෙන ‘හිනාවෙන බුදු’ රුව දිහා
චීන ගායන වෘන්ද හෙළුවෙන් භක්ති ගී රස ඉහ ඉහා
ගයන ගැයුමන් අසිරි වින්දැකි චීන දුකඳුළු පිහ පිහා