ලන්ඩනයේ සිට මුදා හැරෙන ශ්‍රී ලාංකේය කවි සරණිය

නොපෑහෙන ප්‍රේමය

නොපෑහෙන ප්‍රේමය

වජිර ජයවර්ධන
2021-October

ඩාවින්චිටත් බැරි උනා නම්
ආදරේ සිත්තම් කරන්නට
මම කවුද, මම ගැන ඔබට
මොනවගේ කියන්නද

ශේක්ස්පියර්ටත් අන්ධ වී නම්
ඔහු දුටුව සුන්දර ආලය
මගෙ ඇහෙන් පමණක්
එය පේන්නන්නේ කොහොමද

ටජ් මහල් වගේ වටින විදියට
ඉඳිවෙන්නේ කොහොම දෑ ප්‍රේමය
සාලිය වගේ අතහරින්නට
රජ කිරුළ වත් තිබේ දෝ මට

ජිබ්‍රාන්, ඛයියාම් වගේ
කවි ලියන්නට නොහැකි මම
කොහොම නං කවියකින්
මේ ආදරේ ලියා දෙන්නද

ඉරක් ළග තරුවක්
මලක් ළග බඹරෙක්
‍රැජිණ ළග සෙබලෙක්
‍රැලක් ළග වැලි කැටයක්

දරු ගැබක් වගේ දරාගෙන
මුඛවාඩමකින් වසාගෙන
ඇස් දෙක දිහා බලාගෙන
දරාගන්නං මගේ ප්‍රේමය…