ලන්ඩනයේ සිට මුදා හැරෙන ශ්‍රී ලාංකේය කවි සරණිය

මගේ නොවෙන මගේම නඩුව !

මගේ නොවෙන මගේම නඩුව !

මාවැලි කුමාරී කුලතුංග - මහනුවර
2022-March

මගේ නොවෙන මගේම නඩුව !

උසාවිය…. සීරුවෙන් ! ඔන්න හිටගන්නවා
“නිශ්ශබ්ද වෙනු” කිව්ව පසුව හිඳගන්නවා
දැන් කියයි නඩු අංකෙ කණ දාන ඉන්නවා
විගසින්ම පැමිණිල්ල පැත්තෙ හිටගන්නවා

වසර ගණනාවක්ම මේ නඩුව ඇදෙනවා
රජය වෙනුවෙන්ම මම තනිව නඩු කියනවා
රජයටම අයිති දේපලක් මෙහෙ තියෙනවා
රැකගන්න ඉන්න උන් එය නසා දමනවා

වැටයි නියරයි දෙකම ගොයම කා දමනවා
කියන්නට කෙනෙක් නැත උනුත් මග හරිනවා
ගජමිතුරු එකිනෙකා බේරන්න බලනවා
වගකීම කහපාට කොල වලින් වැහෙනවා

නායයන තැනෙක උන් පරිසරය නසනවා
අණපනත් කණපිටට හරවන්න බලනවා
වැරදි බව දන්න අය යසට මග හරිනවා
පරිසරය රැකගන්න මමත් නඩු කියනවා

පඳුරකට ගැසුවාම වීසි වෙන්නට තරම්
හැම අටංපහුරටම මැති ඇමැති ඇති පදම්
මෙව්ව කොහෙ බලන්නද උනුත් දැන් අතරමං
රජයෙ දේ රැකගන්න හෙටත් නඩු කියමි මං

උසාවිය ..නිශ්ශබ්ද…වෙනු !

24.01.2021