ලන්ඩනයේ සිට මුදා හැරෙන ශ්‍රී ලාංකේය කවි සරණිය

ආපසු ගියා සකුණිය

ආපසු ගියා සකුණිය

කෞශල්‍යා ජයලත්
2023-August

ආපසු ගියා සකුණිය
සීතල හිමැති රටට ම
අවසන්ව මියුරු ඉසිඹුව
මා හමු වුණේ නැතිව ම

ඈ මුදිත හද තත
මල් පුබුදුවන මදහස
කරුණා රසය උතුරන
මිහිරි මී වදන් ගඟුල් රැස
වනනා නොයෙක වදනා
සත් සිඳු සරා පැමිණා
හද බිත පුරා කෙටුනා
හැබැහින් ඈ දකින සිහිනා
දැක දැක දවස ගෙවුණා

සිහිනයට තටු ලැබුණා
හසුනක සෙනෙහෙ අමුණා
නල අතේ පණිවිඩ යැවුණා
ඈ මුදු පියපතින් ලියනා
පිළිතුරු පණිවිඩ ද ලැබුණා
ඈ බදා වැළඳ සිඹිනා
සිහිනය උසට නැඟුණා
ඈ වඩින තුරු ගණිනා
ඇඟිලි ද පුපුරු ගැහුණා

අවසන සොඳුරු සවසක
සත් සිඳු සරා පියඹා
ඈ මෙහි පැමිණ තිබුණා
ඉසිඹුව නිමාකර
මා හමු වුනේ නැතිව ම
ඈ යළි දුරක ඇඳුණා

නොකියමි දොසක් නපුරක්
හද රිදී රුහිරු ගැලුව ද
අඟුරු පෑ කාක පියපත්
වැළඳ ගන්නට කැමති කුමන සකුණි ද?
උවන පොත් පිටුතර ඉතිරෙන
සුරත් හදවත් සලකුණු
ඇත්තටම පෙමැති ද?
සඳ සිඹින සිහින දකිනා
පොඩි බිම්මලක හදවත
පාඩමක් ඉගෙන ගන්නේ කවදද ?!