ලන්ඩනයේ සිට මුදා හැරෙන ශ්‍රී ලාංකේය කවි සරණිය

වැලන්ටයින් ප්‍රේමය

වැලන්ටයින් ප්‍රේමය

ආචාර්ය පාලිත ගනේවත්ත - ඔස්ට්‍රේලියාව
2022-February

ජයලාල් –
මම ඔබ ලඟින් හිඳ
සියළු පාඩම් කියාදෙමි
සැන්දෑ කල අතැඟිලි පටලව
හාබර් පාලමෙන් ඇවිද ගොස්
ඔපෙරා නිවස ඉදිරිපිට
පඩි පෙළෙහි වාඩිවී
ඔබ සිහින් මුවග සිඹ
ඔබ හුස්මෙහි සුවඳ විඳ
ඔබ සියුමැලි දිගු ඇඟිලි පිරිමැද
උරෙන් උර ගැටී
නිල් අහස දෙස බලා හිඳිමු

නිකොලා-
කාලගුණය ලෙඩ වී අද
යන්ට ඕනෑ පබ් එකකට

ජයලාල් –
හැම සැන්දෑවකම ඔබ බලනට විත්
ඔබ අත අල්ලා ඔබ මුවග සිඹ
සාමීචියෙන් හිඳ යන්ට ඇත්නම්

නිකොලා –
අයි අප තට්ටු නිවසක කාමරයක් නොගන්නේ
වැඩට යන්ටත් ඉගෙන ගන්ටත් එවිට පහසුයි

ජයලාල් –
මම ඔබට ප්‍රේම කරමි
ප්‍රේමවන්තයන් පමණි අප
යුග දිවියට නොඑළඹ එකට වසන්ට ………..?
මට සිතන්ටවත් නොහැක

නිකොලා –
ඔබ හරිම විශ්මිතයි
මට ඔබව නොතේරේ

ජයලාල්-
කාසි රැස්වුණු සඳ
ඔබ රැගෙන යා හැකිය මව් බිමට
අම්මාට පෙන්වන්ට ඇගේ සුදු ලේලිව

නිකොලා-
මට බැහැ එහෙ යන්ට
දැඩි අව්ව මැසි මදුරුවෝ

ජයලාල් –
ලා නිල් පැහැ දුහුල් සාරියක් ගෙන්වා
ඔබ කදිම සුදු ඇඟට අන්දා
පින්තූරයක් ගෙන අම්මාට යවමි
ඔබේ රන්වන් සිරුරට
සාරිය හොඳ හැඩට තියේවි

නිකොලා –
සාරිය මට නුරුස්සයි
දහදියෙන් ඇඟ තෙමෙයි

ජයලාල් –
ඔබ හා එක්ව මතු දිනක
දරුමල්ලන් හදා තුටින් සිටිනායුරු
රන්වන් සිරුරු කළු කොන්ඩ දරුවන්
මා මනසේ පැටලේ

නිකොලා-
දරුවන්ට මා ආසා නෑ
විවාහ වන්නේ කුමටද
එක්ව වෙසෙමු තට්ටු නිවසක
දිවි ගෙවමු මේ ලෙසින්

ජයලාල් –
මගේ සිත ඉඩ නොදෙයි
මගේ හද දොස් නගයි

නිකොලා –
ඔබ හරිම විශ්මිතයි
මට ඔබව නොතේරේ