ලන්ඩනයේ සිට මුදා හැරෙන ශ්‍රී ලාංකේය කවි සරණිය

නෙත් තබන මා

නෙත් තබන මා

ප්‍රීති පෙරේරා - තලවතුගොඩ
2023-January

සීතල ගෙනෙන අළුයමේ
සුබ නැකත් වෙලාවට
පාට බිඳුවක් අරන්
රන් කෙන්ද තවරන්න
හුදකලා විය යුතුය මා

සඬංගම් පූජා නිමාවෙන්
බුදු කුටිය දොර අගුළු දැමුවෙමි
විඳිමි සැනසිලි සුවය
විස්වකම් දෙව් අසිරියෙන්
මූර්තිය නිම වන නිසා

අට ලෝ දමින් කම්පා නොවී
අප බෝසතානෝ පෙර භවේ
දස පාරමී දම් පිරූ බව
වෙසක් පෝදා ඇසූ බණ පද
යළි සවන නින්නාද දේ

ලඟින් හිඳ ඇසුරු කළ අය
ගැටළු කරදර විඳින දවසට
ගොස් බලා එන්නම් කියා
එක පයින් පිටවුන කෙනෙක්
හිතට ආවා හදිසියේ

හීන ගිනිගෙන දැවෙන දා
මූන ඉච්ඡාවට හිනාවෙන
⁣නන්නාඳුනන අය වුනා උන්
දැඩි අදිටනින් දරා හිටියා
ගල් පිළිමයක් මතු වූ නියා

ඡායා ⁣සැලෙන කැඩපත අතට ගමි
එළිය විහිදන පහන් සිළුවෙන්
මැවෙන අරුමැසි දසුන් දකිනෙමි
බියද බැතියද නොතේරෙයි
හද සසල වෙනවා පමණි