ලන්ඩනයේ සිට මුදා හැරෙන ශ්‍රී ලාංකේය කවි සරණිය

ඊළඟ පෝය එනකම්

ඊළඟ පෝය එනකම්

අනුරාධා ගුණසේකර - හොරණ
2023-December

බුදුන් වැදල බණ අහන්න
පන්සලේ බුදු මැදුරෙ
කිරි ගරුඩ බිම වැතිර
කරුණාබර බුදු දෙනෙත් දෙස බලා
හිතේ දුක කියා ගන්න
හිතේ සැනසීම ලබා ගන්න ..
ඊ ළග පෝය එනකම්
බලා සිටියා බුදු හිමියනේ ……
තරුණකම දිය වුනා නොදැනීම
දරුවො මත්තෙම නැහුනා
ලිපේ ගින්දර එක්ක
හදවතත් දැවුනා….
හේනේ කුඹුරෙ වැඩ කලා
ඊ ළග පෝය එනකම්….

දරුවො උස් මහත් වුනා
පිළිවෙලට දීගේ තලත් දුන්නා
දරුවන්ගෙ තාත්තා එක්ක
මමත් තනි වුනා….
ඊ ළග පෝයටවත්
පන්සල් යන්න හිතුවා
සිල් රෙදි හැද සිල් ගන්නවත්
හීනෙන් දුටුවා…

පෝයට කලින් දා
ලොකු දූට අමාරු වෙලා
පුංචි කිරි කැටිය ළග
ඉන්න ඕන හින්දා
ඒ වැඩ ටිකත් සංතෝසෙන්ම කලා…
තවත් පෝයවල් ගෙවෙනකම්
අනිත් උනුත් මගේ දරුවො හින්දා ..
උන්ගෙ දරුවොත් බලන්නට උනා
හැම දේකින්ම නිදහස් වෙලා
එන්න තමයි හිටියෙ
ඊ ළග පෝයටවත්….බුදු හිමියනේ …
හිතේ සැනසීමෙන්
බණ මඩුවේ ඉදලා
බණ ටිකක් අහන්න…
පොඩි ලේලිට රස්සාවක් ලැබිලා
පුංචි උන් බලන්නට
කෙනෙක් නැති හින්දා …
ඒ වැඩෙත් කරලා
කවදහරි එනවා….
සිල් අරන් බණ අහල
සැනසීම ලබා ගන්න…
බුදු හිමියනේ …..