ලන්ඩනයේ සිට මුදා හැරෙන ශ්‍රී ලාංකේය කවි සරණිය

අපායේ ඉන්ටවල් ඉවරය්

අපායේ ඉන්ටවල් ඉවරය්

නිශාන්ත ප්‍රීති සෙනරත් - ලන්ඩනය
2023-July

පින් රජෙකු පහළ විය ගොන් රජෙක් හිටි රටේ
ඉහල ගිය ඩොලරයත් ඔන්න පහළට වැටේ
අපේ රට දිලෙනවා ලෝකයේ සිව් වටේ
පෙට්‍රලුත් ලැබෙනවා දිව්ව හැකි රට වටේ

සවිවුනා කොන්ක්‍රීට් සැටලිමෙන් මට මොටද
ඒ නිසා අරගලයේ හිටිය උන් තව මොටද
පිම්බුවා මාධ්‍යය වෙන රජුන් තව මොටද
දන්නවලු ඉතිහාසේ පුරාවිද්‍යා මොටද

රජු රකින නීති පොත් ඇමතියන් හදනවා
රජුට රිසි නැති එවුන් දඬු කඳේ ගහනවා
චන්දයක් තිබ්බොතින් රජුට ඇප නැති වෙනවා
ඒ නිසා චන්දයට සල්ලි නෑ කියනවා

ටික කලක් ගත උනා බිල් ටිකත් වැඩි උනා
ණය පොළිය වැඩි උනා, බදු බරත් වැඩි උනා
උගත්තුන් තරහ වී රට හැරලා පිට උනා
රටේ සම්පත් ටිකත් ටිකෙන් ටික විකිණුනා
රජා තව ණය අරන් කා බිබී සැනසුණා
රටේ නිෂ්පාදනය එක පාර අඩු උනා
අනේ හත් දෙය්යනේ රුපියලට කෙල උනා
ඩොලරයේ ගැනුම් මිළ ඉහලටම පා උනා
රජාගේ සළු පටත් අහසටම විසි උනා

ඔබාගෙන ගෙන අපි රබර් බෝලයක් වතුර යට
සැනසුනා හැමදාම රැවටෙනා කරුමයට
අපායේ ඉන්ටවල් ඉවර විය ඉක්මනට
රුපියලට මොක වෙය්ද ණය ටිකක් ගෙව්ව විට
අනාගතයක් තිබෙද නිමවුමක් නැති රටට
නිමාවක් නැති වෙය්ද මේ මජර සෙක්කුවට