ලන්ඩනයේ සිට මුදා හැරෙන ශ්‍රී ලාංකේය කවි සරණිය

විදේශ ගත ශ්‍රී ලාංකිකයෙකුගේ සිංහල අවුරුදු සිතුවිල්ල…….

විදේශ ගත ශ්‍රී ලාංකිකයෙකුගේ සිංහල අවුරුදු සිතුවිල්ල…….

සුගත් අමරසිංහ - නයිජීරියාව
2021-April

කෑම හදන්නට උවමනා බඩු ටික ගන්න
රෙදි කඩවල තෙරපි තෙරපි රෙදි තෝරන්න
ගෙදර සුද්ද කරලා ලස්සනට තියන්න
මට ආසයි අවුරුද්දට ලංකාවට යන්න

කෙසෙල් කැනක් දුම් ගහලා ඉදවලා ගන්න
ආස්මියට දවුල්කුරුදු හොයලා දෙන්න
ලොකු අක්කගෙ කොන්ඩ කැවුම් රසය බලන්න
මට ආසයි අවුරුද්දට ලංකාවට යන්න

සුදු ඇදගෙන පුණ්‍ය කාලෙ පන්සල් යන්න
නැකත් වෙලාවට ලිප ගිනි මොලවා ගන්න
බුලත් හුරුළු දී වැඩිහිටියන් නමදින්න
මට ආසයි අවුරුද්දට ලංකාවට යන්න

කෑම මේසයට පහනෙන් එළියක් දෙන්න
කැවිලි පෙවිලි මේසෙට පුරවලා තියන්න
ගෙදර හැමෝටම කිරිබත් කෑලි කවන්න
මට ආසයි අවුරුද්දට ලංකාවට යන්න

පාට පාට සරම් ඇඳලා එහෙ මෙහෙ යන්න
අහල පහල ගෙවල් වලට කැවිලි බෙදන්න
පහල කොස් ගහේ ඔන්චිල්ලාව පදින්න
මට ආසයි අවුරුද්දට ලංකාවට යන්න

අහස් කූරු පාර දිගේ යවලා දුවන්න
නිලා කූරු ළමයි ටිකට ගෙනල්ලා දෙන්න
නැකත් වෙලාවට රතිඤ්ඤ පත්තු කරන්න
මට ආසයි අවුරුද්දට ලංකාවට යන්න

අවුරුදු උළෙලේ අවුරුදු කුමරා වෙන්න
පිල් බෙදිලා හොර කරලා පංච දමන්න
වැටි වැටි හරි කඹ ඇදලා පිල දිනවන්න
මට ආසයි අවුරුද්දට ලංකාවට යන්න