ලන්ඩනයේ සිට මුදා හැරෙන ශ්‍රී ලාංකේය කවි සරණිය

ලියන්නට ඉගෙනීම

ලියන්නට ඉගෙනීම

හෙල්මලී ගුණතිලක - ඔස්ට්‍රේලියාව
2024-June

හැටපස් වියැති මගේ සීයා
තමන්ගේ නම ලියන්න උගෙනිමිනි
ඔහුගේ එක අතක් නිදහසේ මේස රෙද්ද මත
අනිත් අතින්
පෑනක් වැරෙන් අල්ලා
කඩදාසියක් මතින් එය
සෙමෙන් දුවවමින්

ලියන ලද
හැම අවිනිශ්චිත රේඛාවක් ම, වක්‍රයක් ම
ඔහු වරින්වර
මුල් ලියවිල්ල හා සසඳමින්

ආගන්තුකයි ඔහුට
මෙවැනි ලියවිලි
ඔහු දන්නා සියුම් වැඩ නම්
වක් වූ පිහියකින්
සලාද කොළ කප්පාදුවයි
සිරගත බිලියඩ් බෝල
ප්‍රවේසමෙන් දැලෙන් මුදා ගැනීමයි

මා ඔහුගේ ප්‍රගතිය
පරීක්ෂා කරමින්
පිහියක මොට දාරය
අතුල්ලමි මේස රෙද්ද මත
නරඹමි,
ඒ මත ඉරි කාවැදෙමින් මැකෙන අයුරු

අපහසුවෙන් ඔහු ලියන දේ
කියවන්නට හැකි අය විසින්
ඔහුගේම බව හඳුනාගැනීම
ඔහුගේ එකම පැතුමයි

ලියවිල්ල අවසන් වූ පසු
ඔහු පසුපසට ඇල වී
පරීක්ෂා කරයි
මේ ප්‍රාතිහාර්ය

බීජයකින්
පමාවී රිකිල්ලක් මතුවන අයුරු දැක
ඔහු සතුටිනි
Translation of the poem ‘Learning to Write’ by Gary Catalano
පර්වර්තනය- හෙල්මලී ගුණතිලක
1947 දී ඕස්ට්‍රේලියාවේ බ්‍රිස්බේන් නගරයේ උපන් Gary Catalano, ප්‍රසිද්ධ කලා සඟරා කිහිපයකම විචාරකයෙකු ලෙස සේවය කළේ ය. ඔහු කාව්‍ය සංග්‍රහ, කලා විචාර සහ කෙටිකතා පොත් කිහිපයක් පළ කර තිබේ.

Photo- Unsplash