ලන්ඩනයේ සිට මුදා හැරෙන ශ්‍රී ලාංකේය කවි සරණිය

මාර වැඩේ ඊයෙ උනේ

මාර වැඩේ ඊයෙ උනේ

නුවන් තොටවත්ත
2021-February

ඊයෙ පංතිය ඇරිල යනකොට
ගෙදර අය සාලෙට වෙලා
වෙනද වාගෙම හිනා වෙනවා
චිත්‍රපටියක් බල බලා

මොකුත් තෙරුණ් නැති උනත් ඒ
රූප හරි ලස්සන නිසා
මාත් ඔහෙ පැත්තකිං ඉඳගෙන
ඔහේ හිටියා බල බලා

හොඳම ටික උනෙ ඊට පස්සේ
අම්ම දිවුවා නැගිටලා
ශෝ එකේ හිටි අයිය අක්කව
බදාගෙන ඉඹගෙන ගියා

ටික වෙලාවක් ඔහේ හිටියා
තාත්තා මගෙ ඇස් වහං
අමුතු ජාතියෙ සද්ද ඇහුණා
කලිං ඇහිලා නැති තරං

ඊට පස්සෙ උනේ මොනවද
දැක්කෙ නෑ සද්ද නම් ඇහුනා
තාත්තා ඇස් අත අරිනකොට
ඇන්ටි හති අරිනවා පෙණුනා

ශුවර් එකටම වෙන්න ඇත්තේ
කරන්නට හොඳ නැති වැඩක්
තාත්තා ඇස් වැහුවෙ නැත්තං
ඒක අපිටත් හොඳ දෙයක්

ටික වෙලාවක් බලං ඉද්දී
ඇවිත් තව අංකල් කෙනෙක්
දිගට හරහට තියනකොට වෙඩි
මැරුණ එතනම හුඟ දෙනෙක්

තාත්තා ඔහෙ බලං හිටියා
වැටෙන හැටි ඔලු කුඩුවෙලා
මගේ ඇස් දෙක වැහුවෙ නැතුවැති
ඒකෙ අවුලක් නැති නිසා