
බත ඉදෙන තුරු
උසාවිය මිදුලෙ ලොකු මාර ගහ යට කොනක
ඇයත් ඇගෙ අතින් ගත් මගෙම පොඩි දූ මැණික
පෙරකදෝරුව එක්ක කතාවක් මහ දිගක
අපේ කල දවස ගැන වෙන්න ඇති හෙට දිනක
මුල් වරට හමුවෙලා හිනාවුන නිල් දෑස
මුහුණ රැඳි පිපි කුසුම කෝ කොයි ද සන්තෝස
බෙදාගෙන ඉඩම ගේ තවත් දේ අපි ආස
කොහොම නම් ගෙවමු මේ ඉතිරි අවුරුදු මාස
නීතියේ කොළ කෑලි අපව වෙන්කළ දාම
ජීවිතේ ඉරිතලයි විනාසයි හැමදේම
කේන්තිය නිවුණු දා ගුණ අගුණ බැලුවාම
කෝකටත් ඉවසීම නේද හොඳ හැමදාම
මට හැකිය කාමරේ කෙළවරට හුරු වෙන්න
නුඹ නුඹට කැමති තැන දුවට ඉඩ සලසන්න
අපි ගෙවල් දෙකක් වෙමු එක වහල යට ඉන්න
බත ඉදෙන තුරු ඉඳිමු නිවෙයි මේ ලැව් ගින්න