ලන්ඩනයේ සිට මුදා හැරෙන ශ්‍රී ලාංකේය කවි සරණිය

අනන්තයි අප්‍රමාණයි………..

අනන්තයි අප්‍රමාණයි………..

මහාචාර්ය මනෝරි ගමගේ - හැව්ලොක් ටවුන්
2023-August

ඉපදෙයි කල් ගෙවයි රෝ දුක් දරාගෙන

දිවයයි මිරිඟුවක් පසු පස හඹාගෙන

නවතියි දිනක නොසිතුව ලෙස පතාගෙන

අරඹයි ගමන යළි පව් පින් බෙදාගෙන

මව් පිය ලෙසට හිමි වූවද මෙම දිවියේ

කවුරුද ඔවුන් දනිමුද පෙර සිටි බවයේ

ගෙවුමට ඉතුරු අය ණය බර දිවි සරියේ

ගව්වෙන් ගව්ව තැන තැන නැවතී සිටියේ

හිමාලයේ හැම රුක් දඬු සිඳ කපලා

නිමා කලත් ඉඳි කටු සම තුඩු තනලා

බලා ගණන කීමට නොහැකිය හදලා

මෙමා නුඹේ කවුරුන් වුනිදැයි කියලා

නිය පිට රැඳුණු පස් බිඳකට සමව තියා

බිය කරු සසරෙ මිනිසත් බව අමිල නියා

කියවනු ගැටෙන හැම මුහුණක තිබෙන ලියා

ලියවිලි කියයි නොදොඩන තතු මුවක් අයා