
ටිකිරි ලියා
ටිකිරි ටිකිරි ටිකිරි ලියා – කළෙත් අරන් ලිඳට ගියා
කළේ තියල ටිකිරි ලියා – හොර රහසෙම පැනල ගියා
පැනල ගිහින් ටිකිරි ලියා – එංගලන්තෙ නතර වුනා
දවසක් දා ටිකිරි ලියා – එහිදි අපට හම්බ වුනා
ටිකිරි ලියා වෙනස් වුනා – ‘ටිකී ‘ කියල නම වැටුනා
රෙද්ද හැට්ටෙ පසෙක දමා – බෙල් බොටමට මාරු වුනා
සිතුම් පැතුම් වෙනස් වුනා – සුද්දෙක් හා හාද වුනා
හඳුනාගන්න බැරි තරමට – ටිකිරි ලියා වෙනස් වුනා
දවසක් දා ටිකිරි ලියා – සුපර්මාර්කට් එකට ගියා
කළයක් දැක ටිකිරි ලියා – මහ හයියෙන් සිනාසුනා
පරණ පුරුදු මතක් වුනා – ‘කළේට’ හිත ඇදිල ගියා
‘කළෙත් ‘ රැගෙන ටිකිරි ලියා – කලාවකට ගෙදර ගියා