ලන්ඩනයේ සිට මුදා හැරෙන ශ්‍රී ලාංකේය කවි සරණිය

තරුණ මුතු නොදිලි බිම

තරුණ මුතු නොදිලි බිම

ඩී. අමරසිරි ගුණවර්දන - නවසීලන්තය
2022-November

නීල කොබෙයි පියඹද්දී සුදු අරලිය පිපුනා

ගීත ඇසුන සඳ එළියේ දළු පිරි අතු සැළුනා

ශීත සුළඟෙ ටිං ටිං හඬ සතර අතේ ඇසුනා

භීත දසුන් පාවෙන විට දරු නොනිදා හඬනා

උදයේ දිලි හිරු කිරණින් හදවත් රත් වෙනවා

සැඳෑ සමයෙ සඳ අඳුරේ නිදි මත උදුරනවා

නරි හූ හඬ සමනොළ මත කුකුසින් තෙරපනවා

කඳුළින් ඉඳු සයුර පුරා රතු ලප වපුරනවා

දළදා සමිඳු දකිනා විට නුවර වැවේ

පාවෙන ළදරු සිරුරින් නෙත් සළිත උවේ

වීදියෙ සරණ මව හඬනා නිහඬ බවේ

ගීතය දුකකි රාවය රැව් දෙමින් තැවේ

කළුවර කරන් එනවා වැසි නුබේ පිරී

දෙනුවර කතා සිත නළියයි හඬනු බැරි

සාගිණි සැර පැතිර යද්දී මව්න් කිරී

වේලෙයි ඇවිල එයි වීදියෙ කෝප ගිණී

අඳුරයි සතර අතටම මුතු ඇටය පුරා

කඳුළුයි පිරී වැව දාගැබ නොතුට අරා

අසමින් මුවදොරේ හඬ අලියනුත් මරා

නිදියයි රජුන් නිහඬයි ආයුධත් දරා

කුහකයි උහුන් සදහට තම බලයෙ රැඳී

රවටයි දුගින් අකුරක රස බැලුවෙ නැතී

විනිවිද දකියි තරුණන් කළු බලය දකී

ඉල් මස නවක ලොවකට යන මගක එතී