![](https://londonkavi.com/wp-content/uploads/2023/11/malith-d-karunarathne-qIRJeKdieKA-unsplash-scaled.jpg)
කවියන් වනන සිත එක අරමුණක නොයයි
සඳ ඇවිදින් රෑ මැදියම සිඳු තෙරට
පායා කළුවර තිබෙන නුබ වෙතට
සේයා විත් අඳුර හා ගැටෙන විට
මායා මැකී ආලෝකය පෙනේ මට
සඳවත සඟවනා රහසක් වළාකුලේ
අඳුර අතර පා වී ඔහෙ යනෙන වෙලේ
නැවත පුරුදු තැන ඇවිදින් රැඳෙන වෙලේ
දුකම රඳා හද තනිවේ කඳුළු විලේ
සඳ විටකදි සිසිල ගෙන එන ඉඳුමිණකි
හදවෙණ පිරිමදින සොඳුරුම සත්සරකි
විටෙකදි දුකම දෙන කළුවර ගුලාවකි
සිතිවිලි මකා දමනා වැහි වළාවකි
ලොව එළි කරන සඳ නුඹ හරි පින්වන්තයි
එනමුදු පෙමට විරහවට නුබ සුදු කළු වෙයි
දිවිය වරින්වර එලෙසින් එහෙ මෙහෙ යයි
කවියන් වනන සිත එක අරමුණක නොයයි
ලොව හැමදේම හැමදාමත් නියත නොවේ
කිසි දින හිතන පතනා දෙය ඉටුද නොවේ
මල වුව විකසිතව යළි විකසිත වී මැළවේ
එය දැනගෙනම ජීවත් විය යුතුය ලොවේ
නදී ශානිකා
නුවර