මිත්තණියගෙ දුක
මා සුරතල් කළ අම්මා මට කී
පුංචි කතන්දර රස කව් ගී
කියා දෙන්න බෑ
මගේ මිනිබිරියට
ඒ බස ඈ දන් නෑ
ළදරු සන්දියේ මගේ සෙවෙණෙදි ඈ
බහ තේරුව ඒ තොඳොල් වදන්
මතකේ නැතුවද ඈ කියන්නේ දැන්
මට නොවැටහෙනා නුහුරු තෙපුල්
මගෙ උකුලට දුව පැන හුරතල් වූ
පුංචි පැටික්කිය මා හැර ගිහින්
දුරු රට දෙස බස හුරුකළ ඇය මට
දැක ගන්නට හැකි වේද යළිත්
කාලය හොර රහසේ සඟවාගෙන
සිඟිතිය දුරු රටකට කැඳවා
සෙල්ලමකට සැඟවුණා ද මන්දා
සොයන්න නම් දැන් බෑ