2025 ජුනි කලාපය
ලන්ඩනයේ සිට මුදා හැරෙන ශ්‍රී ලාංකේය කවි සරණිය
ලන්ඩන් කවි 6වන වෙළුම

2025 ජුනි කලාපය

සිහල සිනෙරූ සැටක් අවුරුදු පණපිහිටවූ ඉන්ද්‍රඛීලය දියත සිනමා අහස්තලයේ නිතින් පෑවූ ඉන්ද්‍රචාපය සරා නෙත් අග නුරා බැල්මෙන් වසඟ කරවූ ඉන්ද්‍රනීලය පුරඳරා තම අතින් සකසා ඇතේ ඔබහට ඉන්ද්‍රභානය

-අනුර
ඡායාරූපය: දයාන් විතාරණ

සංස්කාරක: අනුර හෑගොඩ
Editor: Anura Hegoda

වෙබ් අඩවි නිර්මාණය: තරිඳු රාජකරුණා
Web Admin: Tharindu Rajakarauna

පටුන
රැජිනක් යනකොට රැජිනක් එනවා

රැජිනක් යනකොට රැජිනක් එනවා

රාජකීය පණ්ඩිත පනාමුරේ තපස්සී හිමි ලන්ඩනය

බුදු බව ලබන්නට පමණක් නොව මෙලොවේ
නිවනට යන්නටත් පින නොමැතිව බැරිවේ
සක්විති වෙන්නටද පින කුසලය මුලවේ
රැජිනක් රජෙක් වෙන්නෙත් පින් බලයෙන් වේ

නෙක රජ රැජිනියන් බිහිකළ ගුණ බලැතී
අප ලක් මෑණියන් තුම් කෙනෙකිය පිනැතී
බිහිකළ එයින් එක් රැජිනක් පිරි රුවැතී
සමුගෙන ගියා දුක දී සැමටම කැමතී

කලා ලොවේ නිළියක් ලෙස කිරුළ දරා
වැජඹුණු නිසා රැජිනක් විය යසස දරා
ඇය කළ මෙහෙය හද තුළ ගැඹුරෙහිම දරා
සිටි සැම දෙනා වැළපෙති නෙත කඳුලු දරා

රැජිනක් වුණා පමණක් නොව ලොවට කලා
මව්තුමියකද විය සැම දරුවනට කලා
ඔබ ගුණ දන්න සැමදෙන අද එකතු වෙලා
පින් දෙති ඔබට යන්නට සුර පුරය බලා

මැනවින් ගෙතූ මල් දමකට බඳුව සිටී
මාලනි රැජින අද නුඹ දිවි අතැර සිටී
ඔබ කළ නොයෙක් පින්පල කර ගෙනම කැටී
මැවිලා පෙනේ දෙව්ලොව සැප විඳින හැටී

රැජිනක් ගිය නිසා දැන් අඩුවක් ඇත්තේ
නව රැජිනක් අවැසි පුරවන්නට රික්තේ
රටවැසි සැවොම පින්කර ඇති බව සත්තේ
ළඟ එයි තවත් රැජිනක් කිරුළින් යුත්තේ

පෙර පින් බලෙන් ලද මුදු සුන්දර රුවැතී
පින් පිරි බිමක ඉපදී පිරි සොඳ ගුණැතී
රැජිනක් සතුව ඇති නෙක හැකියා පැවැතී
ලොවටම රැජින වී ඇය එයි සැක නොමැතී

මේ සිරි ලක පළමු රජ දහනෙහි ඉපැදී
ගුණදම් සාරදම් හා සමඟින් සුසැදී
සලසනු පිණිස පර සෙත සැමටම අතදී
දිරියෙන් සපිරි ඇය ගුණසේකර අනුදී

ලොවටම කෙසේ වුව අප සිරිලකට පොඩී
රැජිනක් දැනටමත් ඔබ අද අගය වැඩී
ඕනෑ නැත උඩට යන්නට තවත් පඩී
දැනටම ඔබට සැමදෙන ජය බඳිති කොඩී

රැජිනක් වෙන්න ඔබ පෙර කළ පින බලවත්
ඒ පින් බලෙන් වේවා සැමදා සැපවත්
නව ගහ අපල නෙක දොස් අනතුරු බලවත්
රෝ දුක් නොවේවා දිවි පවතින තුරුවත්

2025 . 05 . 27

කවිය බලන්න
දුන් දේ - දුන්නාද මාලනියට...

දුන් දේ - දුන්නාද මාලනියට...

වජිර ජයවර්ධන

කඩවුන පොරොන්දුව
ඒ 1947
ඈ ඉපදුනේ
ඒ වසරේම
දන්නේ නෑ
ඒ නිසාමද
ඇයට ලැබුනේ
මේ තරම්
කඩවුන පොරොන්දු
ජීවිතයට

ඉරණම කෙසේද
එසේම මමත්
එමියි පෙරට
එඩි බල ඇති
දියණියකට
පුළුවනිය පරදන්න
විරහවේ උපරිමය වුව

ප්‍රේමය, විවාහය
දරු මල්ලෝ
පවුල් පන්සල්
කැපකලා ජීවිතයම
ඇය
හෙළ සිනමාවට

ගිය පසු නික්මී
දුන්නේද නිසි ගරු බුහුමන්
කතා කරනවා මිස
වල් පල් ඕපා දූප
ඈ ගැන

නොමිනිසුන්
මිනිසුන් කළ
නොහැකිමුත්
හද සිනමාවේ
නිළි රැජිණියේ
අපි ආදරෙයි
ඔබට තවම.

කවිය බලන්න
මිලින වූ ආකාස කුසුම

මිලින වූ ආකාස කුසුම

අනුරාධා ගුණසේකර හොරණ

ළමාවිය හා බැඳුණු කළු සුදු තිර පුරා
හිනාවට කතාවට රූපයට පෙමි කලා
තාරකා රැජිනියේ නිවුනු පසු ඔය සිනා
ගන අන්ධකාරයි රිදී තිරයේ පවා

කොතෙක් කවි ලියවෙයිද කියා නුඹේ ගුණ කන්ද
නිදයි සුවසේ ඉතින් නුඹේ අවසන් නින්ද
මේ අඩුව පුරවන්න වෙන කාට පුළුවන්ද
පතන්නම් උතුම් නිවනින් නිවී සැනසෙන්න

කවිය බලන්න
සැදෑ සැරයටිය

සැදෑ සැරයටිය

කපිල කුමාර කාලිංග

දැඩි හිරු රැස ද
මහ වැසි ද
නොතකමින්
නිදිවරමින්
තබයි ඔහු
පියෙන් පිය

යටිපතුල් රිදුම් දෙයි
දුබලය මහලු ගත
දහදියෙන් තෙමී යයි
අව පැහැ ඇඳිවත

දිනෙන් දින ගත වෙයි
නැත කුසට
නිසි අහරක්
දැක ගැනුම ය
එකම අරමුණ
නිවන් මඟ දක්වන
රුවන් දොර

දුබල වුව ගත
සවිමත් ය සිත
තවත් දුර වුව
යා හැකියි

දුර පිහිටි මැදුරකි
කලකින් ලැබෙන
වරයෙකි
එහි ඇතුල් ගැබෙහි
ඇති ඒ රුවන් දොරටුව
දැක ගැනුම මහ පිනකි
කළ පව් දුරලන

සැඳෑ සමයයි මේ
සැරයටියට
වාරු වී යා යුතු ය
ඉතිරි කෙටි දුර ද
මඳ දුරක් ගිය කල
දකී ඔහු
ඉදිරියෙන් හා පසු පසින්
ඇදෙන දහයක් දහසක් දන
එක ම අරමුණින
සැදෑ සැරයටි සරණින

මියෙන්නට මොහොතකට
පෙර හෝ දුටහොත්
ඒ රුවන් දොරටුව
ළං වේලු නිවනට
අවබෝධයෙන් තොර වුව

වැටෙමින් නොවැටෙමින්
සැදෑ සැරයටි වාරුවෙන්
ඇදෙන අයුරු මහ සෙනඟ
අරුමයකි පුදුමයකි
ඉන්ද්‍රජාලයකි.

කවිය බලන්න
Rest in peace

Rest in peace

ලක්ෂ්මි පෙරේරා - ලන්ඩනය

නැහැනෙ මට කිසි නිවණක්,
සිරුර අතහැර සිටියත්,
නිලි රැජින පදවිය ලැබුනත්
ඔටුන යන මේ ගමනක්?
නමට ලැබෙනා බුහුමන්
විඳ නොහැක හිත සතුටින්!
දිරන දේහය බලමින්
කඳුලු සලනව නිලියන්,
ඒක ඇති පොඩි අඩුවක්
දකින කැමරා කරුවන්.
මගේ ලේලිය තුති පුද
දෙමින් සලනා කඳුලත්
වැරැද්දක් වෙන විලසත්
දැනෙමි එය මට ඉවයෙන්!
චතුරස්‍රෙ නිදහස් තැබුවත්
රාජ බුහුමන් නැතිමුත්
දැවෙන දේහය දැවෙමින්
ඇයිද? මෙතරම් ගැරහිම්?
එකළ සිටි ඒ උතුමන්
දුන්න මුදලක් රජයෙන්
රෝගී තත්වය මඳකින්
බහැර කරනට පැතුමින්.
එගැන ඇයි දැන් පවසන්
මියගියත් මට විලියෙන්
ඇම්බරි ඉන්නට සිදුවෙන්.
හැකිතරම් මට බුහුමන්
ලැබුන අගමැති ඇවිදින්
කෙතෙක් වැඩපල තිබුනත්
ජනපතිද මෙහෙ ඇවිදින්
මගේ සොදුරුම වැසියන්
දයාබර නලු නිලියන්
පුවත්පත් වල නිලයන්
ධරන මේ සැම අදරින්
පිලිගන්ට මට හැක තුටියෙන්
අදින් ගුණ දොස් අවසන්
කර, නිදන්නට සුවයෙන්
දෙන්න මට අනෙ හැකිනම්
ඔන්න සැමටම පවසම්!

Rest in peace යනු වදනන්
වටහ ගනු සැම මැනවින්!

කවිය බලන්න
යළි පිරවිය නොහේ ඔබ හැර ගිය හිඩැස

යළි පිරවිය නොහේ ඔබ හැර ගිය හිඩැස

නිශ්ශංක දිද්දෙණිය

සමුගෙන දිවි සැරිය නිම කළ ලාලිනිය
කැප කළ දසක හය තුළ සිනමා දිවිය
හඬවා ගැලූ ජන ගඟ නිළි රාජිනිය
යළි නෙත ගැටෙනු නැත පෙම්බර මාලිනිය

මුතුවන් දසන් පාමින් සෙන සිනාවට
දුටුවන් වසඟ නොවෙතැයි කියනුව කුමට
තිරයෙන් රිදී දකිනා පෙම් රඟ රුවට
කඳුළින් වසන් කළ තතු කිව හැකි කාට

පිය මැන කරළියේ රැගුමින් නොරත රත
අසුවුණු අකල් වැස්සෙන් හැඩ කෙරුණු ගත
බැබළුණු රන් වතින් ගෙතු සල රූ දිමුත
මල්දම් කිත් ඉසුරු ලැබ පසිඳුව දියත

රැගුමන් පෙළහරකි මහ තිර මත වපුළ
දිවමන් අතැඹුලකි එය ඔබ හට විපුල
හැර අන් නිළි මිණක් නැත ඔබ වන් පතල
අභිමන් මහමෙරකි සිනමා කෙත විසුළ

බඹරෙකු ඇවිත් රොන් අරගෙන ගිය ලීලේ
ඔබ ඔහු නොව ඔහු ඔබ නොව කී තාලේ
ගී අරුතින් මතු කළ සල රූ ආලේ
නො සිතූ ලෙසට වී දෝ දිවි රඟමඩලේ

2025.05.30

කවිය බලන්න
ආකාසේ කුසුම

ආකාසේ කුසුම

පියුමි ජයකලණි වික්‍රම ආරච්චි ලන්ඩනය

දහවල උදය රෑ සමඟින් එකට
එතී
තැන තැන මවයි සෝබර ගුප්තයක
ගතී
පිපුණොත් පරව යයි කොහොමත් මලක
පෙතී
එලෙසම සොඳුරු අය ඉක්මන් ගමන්
යතී

හිත යට තිබේ ඔබ නික්මී ගිය රිදුම
ලොවටම කියා දෙයි එහි පිළිවෙත් මැදුම
මුසුකර හරිමි වාතලයට රැඳි සුසුම
කොහෙ රැඳුනා ද ඔබ ආකාසේ කුසුම..?

සුවහසකගේ සිත් පින වූ ලාලිනිය
මදහස බෙදා නැළවූ සඳ රාජිනිය
මිහිරිම ගීත තනුවල සිටි වාදිනිය
හොරු අරගෙන ගියාදෝ අපෙ මාලිනිය

කවිය බලන්න
නිධානය....

නිධානය....

රත්නපාල ගමගේ ස්විස්ටර්ලන්තය

බඹරු ඇවිත් නිසා
අහස් ගව්ව
තරණය කර
ආකාස කුසුමක් වුණු
සීත අරණේ
සුපුල් නාමල
ගුප්ත සැමියෙකුගේ බිරිඳ වී උපන් ලප තුනක
අභිරහස වෙනුවෙන්
ජීවිතය බිලිදුන්
අයිරින් නම් වූ
අපේ කාලයේ ගැහැණිය
මැවූ ඒ රූපනය කිසිවෙකුට හෝ
සොරාගත නොහැකි
නිධානයක්ම වූවාය

කවිය බලන්න
Anudi ❤️🌹

Anudi ❤️🌹

වෛද්‍ය ශානි ඇන්තනි ලන්ඩනය

Anudi ❤️🌹

So far you’ve come,

Beyond what anyone could have ever dreamt

As rooted Sri Lankans🇱🇰, we cherish your lived venture

Eagerly awaiting your journey into the blue adventure.

අනුදි ❤️🌹

දැහැමි - තුරුණු රුවැත්තියක්

සියුමි - රුවට මාන්නයක්

පියුමි - මාන්නය කාරණාවක්

ලබැඳි - කාරණාව සහේලියක්

සහේලි- පුංචි ලියන්ට සැනසීමක්

අනුදි- ලාංකික සැමට කිරුළක්

අනුදි - අනගි අංගනාවක්

අනුදි - නිල් කිරුළ පලඳින්නියක්!

30/03/25

කවිය බලන්න
මාලිනියේ...

මාලිනියේ...

එස් එල් සෙනෙහෙධීර ලෙච්වර්ත් - එක්සත් රාජධානිය

ඉඳුවර දෙඇස පියැවුණු මුව කමල මත
දෙඅදර නිසසලයි කිසි මුව මුකුළු නැත
විළිබර බැලුම් නැහැ ළය බැඳගෙන දෙඅත
මල්සර දියණි ගියෙදෝ දෙව් විමන වෙත

දුන්හිඳ ඇල්ල වැනි මුහුළස ගෙළෙහි බැඳ
රන්බඳ ලෙළව ලෙළවා පියනගන සඳ
පුන්සඳ නැගෙනු මෙන ගිරිහිස අඳුර බිඳ
පන්හිඳ අසරණයි නැතියෙන් උවම් සොඳ

විහිගුම් ගුණෙන් යුතු ලෙලැසිය පින්සාර
මනරම් රැඟුම් පා මැව් රස සෘන්ගාර
සැමරුම් තබා කර ජනහද ලංකාර
දියදම් ලෙස නගයි පිය මග සංසාර

මනුලොව රැඟුම් නිමවා සිහසුනෙන් බැස
දෙව්ලොව වඩින මාලිනියේ නමා හිස
නිහඬව සමුගනිමි කඳුලක් තබා ඇස
අබිමුව මෙත්බුදුන් යළිහමුවෙමු මෙලෙස

කවිය බලන්න
IT'S A DREAM WAITING FOR YOU

IT'S A DREAM WAITING FOR YOU

සිනෙල්යා ෆෙර්නාන්ඩො New Ash Green Primary School. Year 4

Your little
You start thinking what you want to be when you grow up
It's a dream you want to achieve
It is a dream
Doctors, Firefighters, Teachers, Olympians
As you grow and grow
That thought might change
For some it doesn't
People listen and laugh saying
"It's just a dream, you will never achieve it"
As we become adults
We prove them wrong
Just follow your dream,
You will get there little by little

New Ash Green primary school

කවිය බලන්න
දඬුමොණරේ නැග ගියාද?

දඬුමොණරේ නැග ගියාද?

කේ.පී.එස් සචින්ත්‍රා හෝමාගම

'සිරි මැදුර' ම සුවඳ කෙරූ ඈ මලකී
'අකල් වැස්ස' වෙත දිය දුන් වලාවකී
'නිධානය' ට පහළ ව සිටි නිධානෙකී
රිදී තිරය එකළු කෙරූ පුන්සඳකී

'වසන්තයේ දවසක' දී 'බඹරු ඇවිත්'
'යස ඉසුරු' ය ඔබ දුන්නේ විටෙක ඇවිත්
දඬු මොණරේ නැග ගියා ද මෙරට ඇවිත්
කුසුමක් සේ ආකාසය එවිට රකිත්

කවිය බලන්න
කළු ආලේ

කළු ආලේ

වෛද්‍ය ඇනස්ටා නිරෝෂිනී විජේසිංහ බැසිල්ඩන් එංගලන්තය

රතට සුදු වතකමල රෝස පාටින් දිලුණු
නිලට ළා නිල් සයුර අනන්තෙට දිගහැරුණු
කොළට කහ එක්වෙලා රන් තැඹිලි රස දැනුණු
කළුම කළු ආදරය තෙපුලකින් මට ලැබුණු

උරාගත නොවුණු සඳ සුදු වර්ණ මතුවෙනා
දරාගත් හැම තැනම කළුපාට ගැවසුණා
ඉරාගත් හදවතක කිරණ මග හැරවුණා
කළුපාට ආදරේ හැම වර්ණ ගැබ්වුණා

AnA

කවිය බලන්න
සම්බුදු දහම ගෙනවැඩි අනුබුදු මිහිඳුහිමි.....

සම්බුදු දහම ගෙනවැඩි අනුබුදු මිහිඳුහිමි.....

ඒ. එම් .අබේසිංහ බණ්ඩා මහනුවර

පායා පුරසඳ ගනඳුර බින්දාට

තරු හිනැහිලා නිලඹර දිලුනාට

බැඳිලා ලෝබ සිත දඩයමට

පෑතිස් නිරිඳු වැදුනා මහ වනයට

මුවාගෙ පස්සේ රජු ලුහුබැන්දා

පිබිදෙන සතුටින් දුනු දිය ඇද්දා

තිස්ස කියන හඩ රජු සිත බින්ද

දුනුහී අතහැර හිමිරුව වැන්දා

සම්බුදු සමිඳු තෙවරක් වැඩි ලක්බිමට

අනුබුදු මිහිඳු සමිඳුන් වැඩ මිස්සකට

අපිවෙමු පසිඳු සමනුන් ගිය බුදුමගට

දෙසුවා සමිඳු පෑතිස් නරනිඳුට

ඉරපායනවිට මිනිසුන් ඉරටත් වැන්දා

සඳපායනවිට ගැමියන් සඳටත් වැන්දා

විසල් ගසක් විසල් ගලක් දුටුවත් වැන්දා

ගතවිලි වසන්නට කොළඅතු ඇන්දා

අහන්න බලන්න නිති දහමක් ලැබුණා

ලියන්න කියන්න නිති ශිල්පය ලැබුණා

නෙලන්න සදන්න නිති කලාව ලැබුණා

ගයන්න වයන්න නිති තාලය ලැබුණා

වනයට මනරම් උයනක් සැදුනා

උයනට අගනා සෑයක් සැදුනා

සසුනට වටිනා අරමක් පිදුනා

දනහට විඳිනට සුව දහමක් ලැබුනා

මිහිඳු සමිඳු සමඟින් බුදු දහම ගෙනා

දූත පිරිසෙ සිටිය උපාසක තැනා

පණ්ඩුකතුමා පැවිදිව උපසපන් වුනා

අනුබුදු නාහිමි හමුවේ පොසොන් දිනා

පෑතිස් නිරිඳු හා හතලිස් දහසක් ආවා

චුල්ලහත්ථි සුතුරට සැම කැටිකෙරුවා

අනුබුදු සමිඳු පිරිසට සදහම් දෙසුවා

තෙරුවන් සරණ ගොස් බොදුවන් වූවා

සාමනේර සුමන හිමිගෙ ඇරයුම් ලැබිලා

මිස්සක පව්වට දෙව් මහ පිරිසක් වැඩලා

දෙව්පිරිසට මිහිඳු සමිඳු කරුණු කියාලා

පොසොන් පෝයදා දුන්නේ දහම බෙදාලා

කවිය බලන්න
මැණිකේ මම තනිවී

මැණිකේ මම තනිවී

අනුරාධා ගුණසේකර හොරණ

බෝ මළුව ඉහල අහසේ වෙසක් සඳ බැබලෙයි
හිත නිවෙන දහමි පද දෙසවනේ නද දෙයි
සිල් සුවඳ විසිරී පන්සලම සුවඳයි
ඒත් මැණිකේ , හිතේ පැත්තක්ම අඳුරුයි ....

පෝයදින හිමිදිරියේ වෙන දවස් වලදී
මා එක්ක තනියට ගියපු හැටි සිහිවී
අඩි පාරේ පන්සලට අද මෙහෙම තනිවී
යන විටදි හැරි හැරි බැලුව මම මඟදී .....

ඉපදුනොත් මරණය නියත බව දනිමි
මට කලින් නුඹ ගියපු එකයි දැන් වැරදී
මේ තනිය ඉවසන්න බැරි තරම් දුකකී
මැණිකෙ අපි එකටම යමු මතු බවේදි .....

හොරණ

කවිය බලන්න
පොසොන්   සඳ

පොසොන් සඳ

අමිතා පද්මකුමාරි

පොසොන් සඳ පායලා
අඹතලය දිදුලලා
මිහිඳු හිමි වඩිනවා
සැම සිතක් නිවාලා
දෙසු බුදුන් දම් පද
ගමින් ගම ගලාලා
තැවුල් සිත් සනසලා
පවින් මුදවා දනා
කුසල් සිත් උපදවා
රැව් දුන්න දෙරණ මත
අදත් ඒ සඳ පායලා
බුදු බණත් ඇසෙනවා
ඒත් අපි තව තවත්
භවයටම ඇලෙනවා

කවිය බලන්න
මහින්දාගමනය......

මහින්දාගමනය......

අනුරුද්ධ වැලිගමගේ මිසිසාගා - කැනඩාව

මිහිදු හිමියන් වැඩියාලු
අඹ පැනයකුත් ඇහුවාලු
ඇත්තමයි හාමුදුරුවනේ
ඒ ඉන්දියන් අධිරාජ්‍යවාදයද ?

හිරුට වැඳ වැඳ හිටි අයට
අළුත් දහමක් දුන්නාලු
ඇත්තමයි හාමුදුරුවනේ
ඒක මොළ සුද්ද කළ වැඩක්ද ?

කාල ඇඳලා යස රඟට
අනියත බව දැන හිටි හැටියට
ඇත්තමයි හාමුදුරුවනේ
එදා හිටි අය මෝඩයෝද ?

දහම් පාසැලේ පොඩි එකෙක්
ඔය ප්‍රශ්න වැල ඇහුවාම
ඇත්තමයි ලොකු හාමුදුරුවනේ
දෙන්න උත්තර නෑ මට

කවිය බලන්න
මගේ අම්මට...

මගේ අම්මට...

ශාස්ත්‍රපති අජිත් වෙත්තසිංහ

පිපාසේ ලඟ කලේ පැන්පොද,
අමා දිය බඳු දැනෙනවා...
විඩාවේ ලද පෙලූතැන් හද,
සමාදියකට ගෙනෙනවා...
බවේදිත් මට ඔබේ ලත් සුව,
සදාතන ලෙස පතනවා...
මගේ මව්වර සදා කල්හිම,
ඔබේ ඇසුරට පුදනවා...

ළයේ රත්පැහැ සෙනේ කැන්දුව,
කිරේ සුදුපැහැ විඳි ලොලේ...
හදේ සිව්බඹ විහාරේ සැදු ,
සෙනේහයෙ ඇති තෙද බලේ...
ලොවේ පෑ සුව සැපේදිත් ලඟ,
දුකේ නැහැ අප තනිකළේ...
මගේ අම්මට මගේ අම්මම,
හැරත් සම නැතලොව තුලේ...

කවිය බලන්න
මෙත් මඟ සොයා යමු..

මෙත් මඟ සොයා යමු..

අනූ දෙල්තලාව ජෙරුසෙලම - ඊශ්‍රායල්

ලෝ සත වෙතට සෙත සැදුවේ බුදු මඟය...........
පාපෙට බර උනොත් ගැලවෙන අය හිඟය..........
ඒ යන සැමගෙ සසරේ ගමනද දිගය....................
තුන් සිත පැහැදි කල නිවනේ දොර ලඟය............

සිත් මල පව් බරින් පුරවා ගෙනාව..
අත් හැරදමා මෝහය නම් ඉනාව..
නිර්මල දහම දැක පෙන්වා හිනාව..
සෙත් සිරි ගුණෙන් පෙරටම යමු මනාව...

සූරිය පැමිණි සේ කළුවර තිරය ඉරන්..
ජීවයෙ වෙලුන අකුසල මුල් කරමු තුරන්..
ගෝතම මුනිඳු දෙසු දහමම සිතේ දරන්..
මෙත් මඟ සොයා යමු හරිදේ තුරුළු කරන්..

ජෙරුසෙලම
ඊශ්‍රායලය

කවිය බලන්න
අපේක්ෂා රෝහල අබිමුව

අපේක්ෂා රෝහල අබිමුව

ආරියරත්න ජයසිංහ මහරගම

දුටිමි ඇය එක් උදයෙක
අපේක්ෂා රෝහල අබිමුව
අපේක්ෂා රහිත බැල්මෙන
මව්පිය දෙදෙන දෙපසින

රෝහලේ වාසල් දොර
රකින රැකවලුන් මුව දෙස
අපේක්ෂාවෙන් බලන
ගිලනුන් අතර පොදිකන

ඔසවා කෙස් සිඳී ගිය හිස
විසල් නෙත’ගින් ම දෙස බලමින
සිනාවක් නැඟුනමුත් ඇගෙ වත
ආයාසයෙන් මඬිමි නැඟි කඳුළ මා නෙත.

කවිය බලන්න
දිනිඳු රැඟුම්

දිනිඳු රැඟුම්

ඩී. අමරසිරි ගුණවර්දන නවසීලන්තය

ඇත් හොඬ ලෙස අහස

දෙස බලන් ගල් කුල

ගුවන පිරිලා කළු හැඳ

මොරදෙන වලා කුල

හිරු සැඟවිලා ඈතට

නොයා ඉන්නව බල බල

දඟ යොවුන් සුරඟන

කිමද නැග කුල මුදුනට

රතු නිල් කහ පැහැති

සළු පිලි හැඳි අඟනු

බොඳවී හැලේ කඳුලැලි

බලනු විහඟුන් පියඹති

කළු ගල් කුළුණ උස

අහස සිඹිමින් සෙලවෙ ද

රැඟුම් නෙක පිනවති

ලොමු ඩැහැ ගනු ද වියහැකි

ගිගුරුම් හඬ ඇසෙන

මුදුන මත ගල් කුල

කිම ඇය රඟන්නේ

විදා මනරම් සළු පිල්

වැහි ළිහිණි පරයා

ඉහල පියඹති උකුසන්

රැඟුම් ගල් කුල මුදුනත

කළඹයි කුහුල් සිත

කවිය බලන්න
අතහැරුන අස්වැන්න

අතහැරුන අස්වැන්න

බන්දුල කුරුවිටආරච්චි

ඉළක්කය අල්ලමින්
තුවක්කුවෙ කිරළ බට.
කෙමන කර වලාපොට
උඩ හඳයො එකතු කොට.
වෙල් කොනේ වක්කඩේ
හල් තිත්ත අරින විට.
ලූල් වල දිය වැලේ
දන්ඩි රැළ කොටපි මට.

බිල තුලින් හිස දමයි
ඇදෙයි කක්කුටු රෑන.
සිල් රකියි මසු කැළට
බක තපස් කොක් මාන.
පැසුන කරළට පෙමකි
මාළ ගිරවුන් රෑන.
වසනු මැන කොරවක්කො
පස්ස එලියට පේන.

බැත රකින මැඩුවමේ
ගොම් පස් ද අදින්නම්.
කමත් බිම හිටි පිනුම්
බඩ පිනුම් ගසන්නම්.
නෙලුම් පත පුරා දුන්
ඇඹුලෙ රස සිතන්නම්.
නොරට සිට රටෙත් නැති
අතීතය විඳින්නම්.

ඔෂාවා, කැනඩාව

කවිය බලන්න
අසරණකම

අසරණකම

චන්දන හෙට්ටිආරච්චි නිට්ටඹුව

අසරණ විටදි ජීවන තක්සලාවේ
වදනක් නොමැත යෙදුමට සකි මනාවේ
ඇතුලත ගැටය පෙනුමට ඇති කලාවේ
එනමුත් ලෙහන්නට නැත උවමනාවේ

දඩයම බැරි කලට කුස ගිණි නැගී තවත්
සිටියද කරන්නට කිසිවක් නොවේ රවත්
අඟ ද කන ද කන්නට දුන් අරුම උවත්
දිවියේ හොඳම පාඩම දෙයි නිමල පුවත්

සියළු දේම සිදු වෙන්නේ තිරෙන් එහා
ඇහුවොත් පමණි දැන ගන්නේ කොහෙද කියා
රැඩිකල් වෙන්න හිතුවත්
හිත යටින් මෙයා
කෙළ උන විටදි අමතයි සුදු අනේ ඔයා

ආලය කියන්නේ සෙනෙහස බැඳීම
තාලය වටින්නේ විදිහට හිඳීම
කෝළය නැතිව ඒකෙන් නෑ රැඳීම
පාළුව තිබෙන්නේ හද අග රිදීම

ඉන්නවනං හිටු නොගියන් කමක් නැතී
ගියත් පාඩුවක් නැත උන්නද කිමෙක් රුතී
සමාජයට හොඳ මුහුණක් දෙවා නිතී
අකුලං ඉන්නවා එයමයි මනස එතී

නිට්ටඹුව

කවිය බලන්න
ඇති නැති

ඇති නැති

චන්ද්‍රවංශ ඥානසේකර කැළණිය

ඇති නැති කියා
දෙයක් ඇත
මුළින් එන්නෙ නැති ය
ඇති එන්නේ පසු ව ය
එන්නේ ම නැති පරදා
නැත්තට ම නැති කරන්නය
ඇති කොතෙක් ආවත්
ඇති වීමක් නැති
එහෙයින් නැති
නැති කළ නොහැකිය

විටෙක නැති කම හොඳය
සා ගිනි එවැනිය
දිගට උසුලන්න
කිසි ම සතකුට බැරිය

දැණු ම ඇති කම හොඳය
නැති කමත් විටෙක
නරක ම නැත
මන්ද දැනුම වැඩි තැන
නින්ද නැති කර
බිය සැක සංකා
ඇති කරන හෙයිනි

ධනය ඇති කම
පෙනෙන්නේ හොඳ වාගෙය
ඒ නැති කම දුක් දෙන ⁣නිසාය
එහෙත් ඉන් සරල කම
අල්පේච්ඡ කම
නිහතමාන ය නැති කර
බහුභාණ්ඩික කම
අහංකාර ය
ඇති කරනු ඇත
එහි දොස් නොදිස්නෝ
එමඟ යති හති දා ගෙන

ධනය ,
බලය ඇති කර
එනිසා ම
ආශාව රාගය වැඩි කර
අත් කළ යුතු ය
රැකවල් කළ යුතු ය
සිතුම් සිත ඇති කර
සිතේ නිදහසක් ඇතොත්
එය නැත්නැතට ම නැති කර
පේන මානයේ ඇති
සහන දුරු කර
අසහන ම වැලඳ ගන්නට
සිතට බල කරයි
අත් දුටු දනෝ
එය දැන දැන ම වුව
එහි ම ගිලී සිටිත්

බොහෝ දේ ඇති තැන
උසස් නම් ඇති ව්‍යාධි ද
ඒවාට බැට දෙන
බලමුළු හේවා පන්නයෝ
නිති සටන් අභිමුඛ ව
අවි අමෝරා සිටිති.

දැන් මැරෙන්ටත්
නිදසක් නැත
මෙ අත අත් හරිනු බැරි
ධනය හා බලය ය
රාග ද්වේශ මෝහ ය
තණ්හා පොදි ය
අනෙක් අත
අවි දරා ගත් හේවා පන්න ය
උන් තනන්නේ
මැරෙන්නට නොදෙන්න ය
ඒ උන්ගේ වාසියට ය

නැති එකාට
මැරෙන්නට නම්
නිදහස උපරිම ය
එල්ලී ඉන්න පොදි නැත
නවතන්න
සෙබලූ නැත
උන්ට ගෙවන්නට මිළ නැත
වෙන්න යන දේ ගැන
ලොකු දැනුමක් ද නැත
කොතන හෝ
ලොකු රිදුම් නැති නම්
(හිතේ වුව ගතේ වුව)
යන්න යන ගමන
ගෙදර යනවා වාගෙය

ඇති නැති කථා
බොහො ඇතත්
දැනට ඇති
එක හුස්මට ඇවිත්
මට හති
නැති කියා හිතුණොත් ඔබට
ඇති වෙන තුරා
බලා පිරිසිඳ සබඳ
කියන් මහට ද
ඔබ දුටු මා නොදුටු
ඇති නැති ගැන

04-05-2025

කවිය බලන්න
හැව ඇරීම.................

හැව ඇරීම.................

ග්‍රන්ථ කතුවර චම්මින්ද වෙලගෙදර

කොත් මිණි අග ලෙළ දෙද්දී ධජ පතාක
කෙළ ගණන් ධනය පෙන්වන්ට එල්ලූ
සුවඳවත් වූ වීදියේ
දැසි දසුන් පමණක්ම
නිරුවත් පයින් ගිය
තබා ගලවා සූ සැට ආභරණ
ඈ ගියා නිරුවත් දෙපයින්
උනා තබා කසී සළු

බලා සිටියා සී මැදුරු කවුළු විවර වු අඩක්
'විජ්ජුලතාවෝ' යනෙන දෙස
නොබලාම තම සිරුරු
යළි යළිත් කැඩපතින්

"මේ යුගළ පමණක්ම මට දෙන්න
මේ ධනය ඔබ ගන්න"
ලවන්පත් පීන පයෝධර සමග රඹකැන් දඟ යුග
වන්දනා කරමින්
අඳුරු රැය පුරා ලංසු තැබූ
ඒ වීථියේ සිටුවරුන්
නොවේ බැලුයේ ඈ දෙස
සිටියා උපාසක විලාසෙන්

මහා වැස්සක් උඩින් වැටුණා
හුල්ලන දෑසින් බලා සිටියදී ඒ නුවරුන්
සේදී ගියා
ඈ ලවන් මත
ඉලිප්පී ඇරියුම් කරන හස තුඬඟ
වසා රොද මත අතුල සුගන්ධිත වර්ණ මත
පෙරදාක සිටු වෙළෙඳ රජසේවා නෙක මහතුඟ
තැබූ හාදුවල රැඳුණු
සෝම පානීය මුදු සුවඳ

වීථියේ පිඬු සිඟා වැඩි
තෙල දසුන් හි බුදු බණ
තමන්ගේ කර නොකියන
හිමිනමක්
ඇය වෙතට පෑහ
අසල ගෙයකින් ඉල්ලා ගත්
රෙදිකඩක්
බලා සිටියා තවත් දවසක්
වඩිද්දී ඇය සැරසී කසාවතක්
වීථියේ අඟනුන් බැස උඩු මහළින්
බෙදද්දී දන් තරගෙට
බැලූහ ඇස් කොණින්
උන් දෙස සිය සැමියන්

29-05-2025.

කවිය බලන්න
මිහින්තලා  අසිරිය,

මිහින්තලා අසිරිය,

චමින්ද ලියනගේ බලංගොඩ

අම්බස්තලා බිම පුරා
බුදුරැස් මවාලා
පෝදා පොසොන් සඳ යළිත්
කිරණින් පහන් වී
ලක් බිම් තලේ සිරි සරින්
ඔපවත් කළා වූ
සද් දම් දෙසූ අනුබුදුන්
මහිමේ කියා දේ,

වත් සත් සිරිත් මග කියා
කරුණා දයාවෙන්
රාජාභිසේක කරවා
රජුටත් ඔවාදී
ලක් බිම් තලේ නිවැසියන්
දහමේ සතප් වා
පිංසාර මීඳු තෙරිඳුන්
තැනු මං උදාරයි,

වාරාණසී මිග වනේ
සිහි ගන්නවාලා
පංසල් විහාර කරවා
මුළු ගම් දනව් හී
පස් පව් වලින් බැහැර වූ
නැණසින් ගුණෙන් යුත්
සම්භාවණීය ජය සෙන්
සැදි පිං බිමයි මේ,

දා ගැබ් තැනූ අඩවියේ
මහ වැව් පිරීලා
කෙත් වත් සිරින් දිදුලනා
සරුසාර භූමී
සිල්පාදියෙන් විදු නැණින්
පිරිපුන් පිරිස් මැව්
මෙත් සිත් වඩා අනු බුදුන්
සිරසා නමා මී,

කවිය බලන්න
අහිමි සෙනෙහස

අහිමි සෙනෙහස

එච්.පී චමින්ද ජයවර්ධන

ලතාවට සඳ මෝදු වෙන කොට..
අයාලේ ගිය රුදු වළාකුල....
වසා ගත්තත් දුකක් නෑ හිත..
නුඹත් ඒ වගෙ දැණෙන මොහොතට....

නිසල සුන්දර නීල අඹරම..
ගුගුර ගුගුරා හඬනු දැක්කම...
මතක් වෙනවා මටත් නොදැනිම..
අපේ අමිහිරි පෙම් කතාවම.....

හමන පවනට මුසු කලා මං ..
තැවි තැවී හද ගැහෙන රාවය....
ඇවිත් දවසක කියයි කොඳුරා ..
නොදැන හරි මට දුන්න ගින්දර ...

තියාගත් තැන නුඹව හිත තුල...
බර වැඩිව ඇති දුන්න සෙනෙහස ....
කුමර බඹසර බිඳපු පාපෙට...
ළතැවුණා හිත සොඳුරු හින්දම....

- චමී -

කවිය බලන්න
කෝපි මල් සුවඳක්

කෝපි මල් සුවඳක්

දිමුතු ප්‍රසාද් උඩුගමසූරිය පානදුර

අමතකම වෙළාවක මටත් නුඹ ගැන මතක
හමුවුණා පේළියක් කියවමින් සිටි පොතක
"භෞතිකව නොගැටෙනා වස්තුවක්මය අතක
ආදරය කියන්නෙම රැඳුණු සුවඳකි හිතක"

තියා පොත පපුව මත පියා නෙතු බිදුවකට
මතකයෙන් ඇවිද්දෙමි නුඹ දුටුව මුල් දිනට
දෙවට දිග නුඹේ පසු ඇවිද ගිය කාලයට
කෝපි මල් සුවඳ මැද හැරී බැලු තාලයට

දශක තුන හතරකට එහා දුර කාලය
වෙනස් විය හැකි නොවෙද ඉතිං මේ තාලය
නමුඳු ඇත්තමයි නොවෙනස්‍ ය හද ආලය
ඉද්දගැසු සේ නැඟිට පසුකලෙමි සාලය

පිලිමයක් ලෙසින් තැබු මිඳුලෙ ලොවි බංකුවේ
තනිව නුඹ බොහෝ කල් දැනුයි මං දුටුවේ
තවම එහි බොහොයි ඉඩ හෙමින් පා තැබුවේ
කාලෙකිනි කෝපි මල් සුවඳ යළි හැමුවේ

කවිය බලන්න
පුප්පං මිලායාති - කායෝ තථායාති

පුප්පං මිලායාති - කායෝ තථායාති

දිල්හානි දිල්රුක්ෂිකා

විසල් වැව් මැද පිපුණු සියපත්
වෙහෙර වට කඩ වීදි පුරවා
වැවේ පත්ලට ගෙවූ බිම් කුලි
උපයන්න පෙති ලන්සු තබලා
මලක මෙලෙකට නොවේ මිලකට
දහසකුත් මල් නිවන් දැකලා
එවන් සියපත් දෝත දරලා
දනෝ තුසිතෙන් ඉඩක් පතනා ......

මහා සුවිසල් ඉලක්කම්වල
බරට උසුලන මලින් පුදලා
සිව් කොනින් තූපයන් වට කොට
නේක පූජා රටා තබලා
ලෝක ධර්මය අනියතක් බව
පසක් කරමින් ගාථා කියලා
සැදැහැතුන් හිත නිවා ගත්තේ
මලක අසිරිය හිතේ රඳවා ......

මිලානව යන මලක සිරියෙන්
විඩාබර වන සැදැහැ සිත් ළඟ
විනාසව යන කයක අරුමැසි
අංශුවක්වත් ඉතිරි නොවුනට
බුදුන් වදහළ බණක බර අඩි
පරව යන මල් සමග ගුලිකොට
මහභිනිෂ්ක්‍රමණය කෙරෙව්වා
නේරංජාවෙන් එතෙර කරමින....

අලුබෝමුල්ල.
2025.05.31

කවිය බලන්න
රහසින් තව මතක

රහසින් තව මතක

ධනුෂ්ක ඉඳුනිල් දික්හේනගේ ඇඹිලිපිටිය

කටු මැටි පැළේ ඉඳි පැදුරේ සුව නින්ද
බඩවැටි දිගේ වන වදුලේ පැන ලන්ද
මොළකැටි වියේ ගැමි පහසේ රස වින්ද
හිටි හැටි මැවේ අද සැඟවී ගියෙ මන්ද

බෝතල් පියන් පන්තේරුව අතට හුරූ
පාසල් බිමෙන් කැන්දා නැණ නුවණ හිරූ
නා සල් සමන් වැන්නේ ලොව සුවඳ කෙරූ
රෑ නිල් ගැබෙන් වින්දා හිත පිරුණ තරූ

මාලය ගොතා පළඳා ගෙල කිරිඳි ඇට
තාලය නගා හඬවා උණ පතුරු බට
කාලය ගෙවූ සිසිලේ වන වදුලු යට
මූලය තමා දිවියේ රස පදම මට

ගහකොළ සතා සිව්පාවන් නැතුව බැරී
ඇළදොළ පුරා ගෙව්වා මල් වයසෙ සිරී
මදනල හමා පින්නේ සිත් අවදි කෙරී
පෙර කල මැවී යන්නා නෙත් කඳුළු පිරී

දං බෝ⁣විටිය ⁣බලමින් රස හිඹටු ඵල
හුංගෝ පෙතියො සොයමින් දිය කඩිති වල
ගං ඕවිටිය අතරින් පිය මැනපු කල
හැංගී විඳිමි රහසින් තව මතක තුළ

හිරු කැන් දියේ තෙමෙමින් නිති අරුණැල්ලේ
මැඩුවන් ගොඩේ පහසින් විඳ කෙළිලොල්ලේ
මතකෙන් වෙලී පිරෙමින් නෙතු කඳුලැල්ලේ
හැඬුමන් නැගේ රහසින් සිත ලතැවිල්ලේ

කටු මැටි පැළේ ඉඳි පැදුරේ සුව නින්ද
බඩවැටි දිගේ වන වදුලේ පැන ලන්ද
මොළකැටි වියේ ගැමි පහසේ රස වින්ද
හිටි හැටි මැවේ අද සැඟවී ගියෙ මන්ද

බෝතල් පියන් පන්තේරුව අතට හුරූ
පාසල් බිමෙන් කැන්දා නැණ නුවණ හිරූ
නා සල් සමන් වැන්නේ ලොව සුවඳ කෙරූ
රෑ නිල් ගැබෙන් වින්දා හිත පිරුණ තරූ

මාලය ගොතා පළඳා ගෙල කිරිඳි ඇට
තාලය නගා හඬවා උණ පතුරු බට
කාලය ගෙවූ සිසිලේ වන වදුලු යට
මූලය තමා දිවියේ රස පදම මට

ගහකොළ සතා සිව්පාවන් නැතුව බැරී
ඇළදොළ පුරා ගෙව්වා මල් වයසෙ සිරී
මදනල හමා පින්නේ සිත් අවදි කෙරී
පෙර කල මැවී යන්නා නෙත් කඳුළු පිරී

දං බෝ⁣විටිය ⁣බලමින් රස හිඹටු ඵල
හුංගෝ පෙතියො සොයමින් දිය කඩිති වල
ගං ඕවිටිය අතරින් පිය මැනපු කල
හැංගී විඳිමි රහසින් තව මතක තුළ

හිරු කැන් දියේ තෙමෙමින් නිති අරුණැල්ලේ
මැඩුවන් ගොඩේ පහසින් විඳ කෙළිලොල්ලේ
මතකෙන් වෙලී පිරෙමින් නෙතු කඳුලැල්ලේ
හැඬුමන් නැගේ රහසින් සිත ලතැවිල්ලේ

කවිය බලන්න
ලුනුරස …

ලුනුරස …

දීපා ද සිල්වා ලන්ඩනය

ලුනුරස
මෙතරම්
පැණිරස
වුනේ කොහොමද
හිතේ
කීරි ගැහෙන
හැම
වේදනාවක්ම
දියකර
හරින්නට
තරම්
ලුනුරස
මෙතරම්ම
පැණිරස
වුනේ කොහොමද ….

කවිය බලන්න
සසර වසන තුරු..... අම්මෝ

සසර වසන තුරු..... අම්මෝ

දීප්ත ප්‍රනාන්දු ඉතාලිය

රට වටේ කරදිය වළල්ලයි පට්ට අව්වක්
වැටෙනවා
එහෙම තිබිලත් ලුනු රහක් නැති කඳුළු පෙර පෙර අඬනවා
හැත්තැ වසරක ගල් පිළිම පණ ඇවිත් හදිසියෙ දොඩනවා
තව්තිසාවලු කලින් තිබුණේ දැන් අපායක්
කියනවා

පැරදුමට පැරදුම එක්කළෝතින් දිනුම ලොස්ට්වී හැලෙනවා
පියානෝ කළ හරිය අමතක උන් පුතානොට වඳිනවා
කට අරින හැම වාරෙදී නැන නුවනෙ මහිමය දිළෙනවා
දුන්නු ආතල් පිං මහිමයෙන් මතු භවේකදි
දිනනවා

නැග්ග රැල්ලෙන් සුනාමියෙදී ගොඩට ආ අය සිටිනවා
විද්ද මුදලුයි රොකට්ටුවකුයි හැංගි මුත්තන් කරනවා
නැද්ද හොරු තව ඇල්ලුවේ කර පිහන ගමනුත් අහනවා
යුද්ධ කළ උන් බලා ඉද්දී සුද්ද කළවුන්
පුදනවා

බටලන්දෙ කජු ණයට දැමුජොලි ඉනෙන් පහළට බහිනවා
දශක ගණනක් දියුණු කළ රට හදන සැළසුම් අඳිනවා
නම ඇහෙද්දිත් ලොවේ ලොක්කෝ බයවෙලා බඩ විදිනවා
බූරුවෙක් මේවා කියනකොට අහන ගොන් බත් බුදිනවා

වැරදි පෙන්වා රට හදන්නට ෆුල්ම ට්‍රයි එක
දමනවා
හොඬක කොටසක් මලක නැට්ටක් යටින් ලාවට පෙනෙනවා
තෙල් හාල් පොල් තුනෙන් රජයක හොඳ නරක දෙක මැනෙනවා
ඡන්දෙ ලංකර අඩුව දෙද්දී දිනපු හැටි සිහි
කෙරෙනවා

වෙනස්වීලා වගෙයි යන්තම් හිතපු මොහොතුත් තියෙනවා
බලන් යනකොට පරණ ඔළුමයි හැදෙන්නැති වග හැඟෙනවා
අපිත් මැරිලා සියක් වසරින් දියුණුවට පා
තබනවා
යළිත් මේකෙම ඉපදේවියැයි මැරෙන්නත් බය හිතෙනවා

කවිය බලන්න
අසිරිමත් පොසොන්...

අසිරිමත් පොසොන්...

ධර්මසිරි වීරක්කොඩි සීතාවකපුර

පොසොන් මහේ රැස් විහිදූ මෙපෝදා
ඇසෙයි වටින් සම්බුදු ගී ගිගුම් දී
අපිත් අරන් මල් සුවඳින් රුවින් යුත්
බුදුන් වඳින්ටා යමු සිත් නිවාලා

මිහින්තලේ මස්තකයේ සැපත් වී
දහම් දෙසා රැස් කලඹක් විදාලා
මෙලක්දිවත් ඒ රසයෙන් නැහැව්වේ
මෙවන් පොහෝ දාකදි මයි නොවේදෝ

බැඳේ තොරන් ලස්සන වූ විලාසෙන්
කියා දෙවයි ජාතක පොත් කතාවන්
පිපෙයි හදේ ඉන් බැති මල් බොහෝ සේ
වඳිම් උතුම් වූ මුනිඳුන් බැතින් මම්

සැදෑ සිතින් යුත් මිනිසුන් විලාසෙන්
අගේට දන් සැල් අරඹයි දසන්තේ
ලොවේ කොහේවත් වෙන නෑ දකින්ටත්
අමා නිවන් බැව් පමණයි පතන්නේ

මහන්සි වීලා නිවසේ සියල්ලන්
සදයි පහන් කූඩුද එක් වෙලා මේ
එයින් පිපේවී සමගී රුවන් මල්
මෙයයි පොසොන් දා අරුමේ සිතේවී

අපිත් සුදින් දැන් සැරසී නිවා සිත්
යමූ රකින්ටා අට සිල් මෙපෝදා
දුරස් වුණෝතින් අදමින් කෙසේ හෝ
නිවන් පුරේටත් හැකි වෙයි ඇදෙන්ටත්

සීතාවක පුරවරයෙන්

කවිය බලන්න
ගොවියා

ගොවියා

මොහන්දිරම් දයාරත්න බලංගොඩ

දිස්වෙන බුදු සමයෙ අරිඅට මගෙහි ඇති.
මස්සන සිවුරුපොට තුල කෙත් ඉමද වෙති
ලස්සන අහිංසක ජීවන ඔරුවෙ නිති
පැද්දෙන ගොවිය තුල සංකර සිරිත නැති.

මත්විෂ නොගෙන නිවහල් මිනිසෙකු ලෙසින.
අත සෙලවෙතොත් කට සෙලවන අයුර දැන
සිත්ලෙස පොල් කිතුල් මැද පැණි හකුරු දෙන
කප්රුක වගෙයි ගොවියා දැය පොවන පන.

කුලු මීහරක් කොටි වලසුන් රජ කරන.
පරිසරයක ඉදන් මහ රැය ගත කරන
දහවල අව්වෙ කරවී දහදිය හෙලන
ගොවියා නිසයි සුරැකෙන්නේ සත දෙරන

දල්ලක් අවුලමින් ගොන්නක් පුරවන්නේ.
කෙල්ලක් ඉල්ලමින් කොල්ලෙක් සරසන්නේ.
කුල්ලක් සොල්ලමින් බොල් අස් කරවන්නේ.
අල්ලක් වපුරමින් මල්ලක් ගෙට ගන්නේ.

කරදිය වලලු ලෙස මිරිදිය වැව් බඳින.
ගස්වැල් සිටුවමින් ජල උල්පත් රකින.
මුඩුබිම් සකසමින නිල්වන් කෙත් වවන.
ගොවියා දෙවියෙක්ය රට ජාතිය රකින.

පින්නවල
බලංගොඩ

කවිය බලන්න
නංගි පෙන්වා අක්කාව දීම...!

නංගි පෙන්වා අක්කාව දීම...!

දක්ෂිණී සාවිත්‍රි ප්‍රනාන්දු ද සිල්වා දෙහිවල

පිටරට වල ප්‍රචලිත "ඔන්ලයින්" මගින් බඩු ගැනීම...
මෙරටට ආවේ "කොරෝන කාලෙ"
තමයි අපෙ දැනීම...
එලියට යාමට නොහැකිව නිවසෙ සිරව කළ බැනීම...
ටිකකට නැවතුනෙ දේවල් ලැබුණු නිසයි; මගෙ මැනීම...

සමාජ ජාලා ඇසුරින් නොයෙක් ජාති බඩු පෙන්නා...
නිමාව ගැන හරි ඉහළින් වර්ණනාව
කුත් දෙන්නා...
පමා නැතිව නිවසකරා එවනා බව
පැවසෙන්නා...
මෙමා ඇතුළු කීදෙනෙක්ද නිතරම වගෙ රැවටෙන්නා...

"කුරිය කරල අප එවනව, බියවන්නට කිසිත් නැතේ..."
දිරිය අරං, ආසාවට ඉඩ
දීලා තෝර ගතේ...
පිරිය වඩන ලෙස සකසා
භාණ්ඩෙ අප අතට එතේ...
"මැරිය යුතුයි මුං" සිතෙන්නෙ
රැවටුන කල අනේ පුතේ...

අමාරුවෙං පාර්සලේ ලිහා බලපු කලදි අනේ...
දෙමා පියන් කියපු කතා ඇත්ත
කියා ඇඳෙයි මනේ...
තමා තෝර දීපු බඩුව කෙලෙස
ඉතිං වෙනස් වුනේ...
කමා කරනු කෙලෙස, මේව සහ ගහනා පාපමනේ...

එවන අයගෙ නමක් එහෙම පාර්සලේ ලියා නැතේ...
තියෙන අංකෙ දුරකතනේ ඇයිද දැම්මෙ කියා සිතේ...
කියන කලදි මේව මෙහෙම බොහොම තදිං රිදෙනු ඇතේ...
නිවන කරා යාවිද මුං, යන්⁣නෙ ඉතිං නිරය වෙතේ...

කවිය බලන්න
මුවාවුණු   මුවා. ( පොසොන්)

මුවාවුණු මුවා. ( පොසොන්)

වෛද්‍ය ගාමිණී මද්දුමගේ

ඒක සිදුවෙලා වස් .. දෙදාසකටත් වැඩියි.
රජ කෙනෙක් මුවෙක් ඒ .. කතාවේ සිටිනවා .

රජ මොලේ නැණ නුවණ..
අඹ ගහේ පැනයකින්...
මිහිදු හාමුදුරුවන්ගේ
අතින් මැනෙනවා.

ඒ මුවා ඇත්තටම ..
සිටියෙ නැත්තම් එහෙම..
දෙවන පෑ තිස් නිරිදු ..
වෙන සතෙක් මරනවා.

එහෙම සිදු වුණා නම් ..
ආ ගමන මග හැරී..
මිහිදු හිමි පිරිස යළි ..
දඹදිවට වඩිනවා.

******************************

වෙහස වී දුර ගෙවා ..
මිහින්තලය ට ගියා ..
මද අඳුරෙ ගලක් උඩ ..
තිත් මුවෙක් සිටිනවා.

""බොලයි හිත් ගුණ මකුයි ..
මළ පුඩුත් අටවලා ..
අපි මරාගෙන හොරෙන් ..
ඩෙවල් මස් බුදිනවා.

මහින්දාගමනයේ ...
මුල් පෙලේ හිටියාට ..
දැකල නෑ කිසි එකෙක්
මම අගය කරනවා.

උඹල ඔය බවුද්දා ගම්
කාරයන් වුණේ ...
අපි නිසයි " කියා ඌ..
මූණටම බනිනවා.

*********************************

බැලුවාම ඇත්තටම..
මුව කතාවෙන් ගන්න..
මහ ගොඩක් කාරණා ..
මගෙ හිතට නැගෙනවා.

කොහේවත් නොසිටි..
ගන කැලේ උන් අලි ඇත්තු..
පෙරහැරේ කරඬුවට ..
හැඩ රුවට අදිනවා.

කොයි දේත් රජවරුන්ගේ නමට ලිව්වාට.
හැංගිච්ච තව චරිත ..
ගොඩක් එහි තියෙනවා.

ඉතිහාස පොත් ඇතුලෙ..
මුවා වුණු මුවෝ ලෙස..
රජවරුන් හද හදා..
අපිත් ඔහෙ මියෙනවා.

********************************

2025.05.25.

.Photo Credit; Dylan Leagh

කවිය බලන්න
ආත්මයට වැද

ආත්මයට වැද

ඊ.ඩබ්.හිරුණි භාග්‍යා ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලය

ආත්මයේ වන ලැහැබට වැදුනෙමි

කෝමල මුවැත්තී වූ ඕ දුටිමි

අතීත තණබිම් සිසාරා දුවන

ඇගේ හදවත හැඳින්නෙමි

දිවි දෙනකව සටනට බට ඈ ද

ගිරා මලිත්තියව ගී ගයන ඈ ද

මිහිදුම් දුමාරය හිසින් මුදන

කඳු ලඳ වූ ඈ ද

මා මාව දුටිමි

ජීවිතයේ වනපෙතම සොඳුරු සේ හැඩකරන

මා දැක මා සිනාසුනෙමි

කවිය බලන්න
සමිඳ දිනා දුනිද අමාගේ......

සමිඳ දිනා දුනිද අමාගේ......

ඉනෝකා ප්‍රියංගනී මීගමුව

මෙතිර සරා පැතිරි දුමාරේ
වැතිර හොවා දැවුණු අවාරේ
ඉතිර නොවේ පතල පවාරේ
කතර ගෙවා ගෙවුණු සහාරේ

දුවන මුවා බැන්ද හිනාවේ
දවන නුරාවන්ද කලාවේ
පවන වුනා සින්ද වෙලාවේ
හෙවන මහා කන්ද දිනාවේ

සුවඳ පොවා බින්ද සරාගේ
සබඳ දොවා කැන්ද සිනාගේ
දිටිද දයා බැන්ද මනාගේ
සමිඳ දිනා දුනිද අමාගේ

වෙසඟ ගෙනා පවන සිනාවී
සවන පුරා දහම ලඟාවී
දුවන මුවා වැතිර මරාවී
ගෙවන දුරා සිරිත හලාවී

උපත උනා අසිරි තුමාගේ
බුදුම සිනා පිරුණ දනාගේ
පිරිණිවනා දියුණු මනාගේ
මෙතුන පුදා වදිමු සදා ගේ

සෙල් ඡන්දස අයත් " නළුගාහ විරිත " ට අනුව ලියන ලදී

කවිය බලන්න
බමරෙකු ඕනෑමද මලකට.......

බමරෙකු ඕනෑමද මලකට.......

මහාචාර්ය ඉන්දිකා තිලකුමාර Faculty of Dental Sciences, University of Peradeniya

බමරෙකු ඕනෑමද මලකට
පරාගනයට පැවැත්මට
බිම වැටී මියේවිද
නැති නම්
හිම තුහින ඇඟලා
නැතිවම කාත් කව්රුවත්

අතු අග හිනැහි හිනැහී
නැලවෙනා උඩවැඩියා මලේ
පිපුනොත් පරවෙනා බව
නිසැකවම දන්නා
දිලිහෙන්නට පුළුවන් නොවෙද
නොකර මායිම් විස බමර තුඩු

15/11/24

කවිය බලන්න
සමිතියේ අන්තරය ....

සමිතියේ අන්තරය ....

ඉන්ද්‍රජිත් හෙට්ටිගේ

ලොකු ලොකු සමිති සංගම් ඇත අප අතර
එහි ඉන්න උන් පෝශිතව ඇත මුදල් අතර
එනමුදු මනුස්සත්වය අල්පයට විකුණා ඇති අතර
කවදා නිවන් දක්කන්නද මේ මිත්‍රයෝ අතර

කවිය බලන්න
පුතේ !!

පුතේ !!

ඉන්දික ක්‍රිශාන්ත අබේරත්න ඉතාලිය

මලක් වෙලා නුඹ පිපිලා අතුඅග මොනවට
ගුණ සුවදැති මලක් නොවී කිම පල මෙලොවට
සින්ධු තන්නට කලියෙන් මිහිපිට වට කොට
බින්දු බින්දු මල් වැස්සෙන් සනසන් මිහිකත

තරුවක් වී පායා විත් අහසේ උජාරුවට
ඒ එලියෙන් නුඹ පමණක් දිලිසෙයි මා පුතා
සඳක් වෙලා පායා විත් තරු පිරි අහසට
ඒ එළියෙන් ලොව සනසන් මගේ උතුම් පුත

චන්ඩි කමට දුව පැනලා වෙල් ඉපනැලි වල
ඇස් රතු කර ගන්න එපා දඟවැඩ කෙරුවට
පුංචි කටින් කිචි බිචි ගා කවි ගී කිව්වට
පුංචි සිතට බර වැඩි දෑ නොදොඩන් මා පුත.

ත්‍රිවීසෝ
ඉතාලිය

කවිය බලන්න
ආයෙ සඳක්....

ආයෙ සඳක්....

ඉෂංකා මිහිරි කුමාරතුංග

දිලෙනා සදවත ඈත අබරේ තව
වතාවක්
කියා දෙන අරුමය නම් අනියත
භාවනාවක්
නිසසල සද නැගී අඳුරේ පොපියන
සිනාවක්
නොකියන කතාවක අමාවක අඳුරු
රටාවක්

සිලි සිලිය ඇහෙනා බෝ මලුවේ සක්මන
රටාවක්
මුනු මුනුව නැගෙනා සුතුරක ජීවිතයද
ඉනාවක්
සිත රැදිය සැපම පමණය එහිම දුක වේ
නියාවක්
සැනසෙනා බුදු පාමුල රැදේමය නිවනට
කතාවක්

උත්තම බුදු දහම ලැබූ බව සත්තයි
මිස්සක පව්වේදී
වත්කම එය පමණය මිස දිටුවන ලඟ
අප සැනසීමේදී
අත්දෙක තබා නලලත සිහිකරනා විටක
බුදු වදනේදී
තුන්‍ යම සරනම රැදේවා මිදී සිත අකුසල
නිවිමේදී

කවිය බලන්න
ගැරඬිඇල්ලේ විලාපය - ජයන්තා පී මිහිඳුකුලසූරිය

ගැරඬිඇල්ලේ විලාපය - ජයන්තා පී මිහිඳුකුලසූරිය

ජයන්තා මිහින්දුකුලසූරිය

තාත්තගෙ සොහොන ලඟ
මල් නෙලන පොඩි පුතෙක්
කඳුළු කැට පිසලමින්
මල් නෙලන පොඩි පුතෙක්

හැමදාම හැන්දෑවෙ
සීනිබෝල ත් අරන්
තාත්තා ආව හැටි
සිහිකරයි පුතු තවම
කඳුළු කැට හිරකරන්

අම්ම ඉකිබිඳිනවා
නංගි තව අඬනවා
පිලේ. ඉඳගෙන සීයා
තවම මග බලනවා

වෙසක් දා අපි එක්ක
ඉන්න ඕනැයි කියල
එදා රෑ බස් එකට
තාත්තා නැග්ගාලූ
අම්ම කීවා අපිට !

එදා රෑ නින්දේදි
මං දැක්ක තාත්තා
සීනිබෝලත් අරන්
කටපුරා හිනැහිලා
මගෙ පුතේ කියාගෙන
මගේ ලඟටම එනව !

2025.5.24.

කවිය බලන්න
පැණයක් වු සිත

පැණයක් වු සිත

කළණ දිසානායක වින්ඩ්සර්, කැනඩාව

ඇත පැණයක් නිරන්තර
සිත ගැන අසන්නට
සිත ගැන කියන්නට
සිත ගැන සිතන්නට

කැළඹේ සිත
වැනිය චන්ඩ මාරුතයක්
සන්සුන්වේ විටෙක සිත
නිසසල විලක් ලෙස
කොහිද ඇත්තේ
සිතක් එලෙසට

දැනෙන විට භීතියක්
ඇත හදවතක් සලිත වන
දැනෙන වට සෝකයක්
ඇති කරයි හදවතක්
දරා ගන්නට බැරි තරම්

දැනෙන විට ප්‍රීතියක්
පිනායන හදවතක්
ලිහිල් වූ හදවතක්
දැනේ මට දැනේ මට

එසේ නම් එසේ නම්
අරුම වූ මගේ සිත
ඇති බවක් හදවතේ
දැනේ පිළිතුරක් ලෙස

මොළය තුල නැති බවක්
දැනේ පිළිතුරක් ලෙස
දැනේ පිළිතුරක් ලෙස

කවිය බලන්න
ඊයේ අද සහ හෙට ජිවිතය.

ඊයේ අද සහ හෙට ජිවිතය.

ආචාර්ය කරුණාරත්න පල්ලෙගෙදර අනුරපුරයෙන්

උසුලා ගන්නට බැහැ තව තව බර
ගමන් විඩාවේ දුර දැනිලා
විඩාව දැනෙනවා ඇවිදින පයදුර
වියපත් වී තනිකම දැනිලා.

නොසිතු දුක් පීඩා විදි මොහොතේ
එදා මෙදාතුර ගැන හිතිලා
දොරකඩ මතකය හිත ළඟ ඉපදී
මාත් එක්ක අද යළි බැදිලා.

ඉස්සර අහසෙම සඳ පායනවිට
සුපුරුදු ලෙස සදරැස් වැටිලා
අඩි මග ඇවිදින සඳරැස් මිහිරට
මාත් එක්ක මගෙ හිත බැදිලා.

පුංචි දෙපා මගෙ වැලි පාරෙන් ගිය
අතීත මතකය යළි දැනිලා
ගම් බිම් හිත බැදි ඇවිද්ද පයදුර
ආයෙත් දොරකඩ ළඟ රැදිලා.

කවිය බලන්න
ඔබ දකිනු රිසි (මගේ ගම)

ඔබ දකිනු රිසි (මගේ ගම)

කුසුම් බස්නායක මාතලේ , රත්තොටින්

රකින ගොලුවත නකල්ස් කොමළිය
රහස් සඟවා ගිරි සිඛර යට
මතක පුබුදා වන වදුලු මත
ගෙවු යුගයක පැතුම් විසිරෙයි
ගලා බසිනා කදුරු ගිරි හිස.

ඉරා මිහිදුම් සුමුදු සලුපට
පළදා ඉදි සැව් දිදුල ගෙල වට
සිත් වසඟ කළ තුරුණු ඔබ රුව
දෙසත් තෑ වසරක් වු මා නෙත්
එදා වාගෙම අදත් දුටුවෙමි.

සිසිල් ඇළ දොළ වටවු කෙත් වතු
සොයුරු මිතුදම් බැදුණු කෙළි බිම්
අකුරු කළ ඒ සොඳුරු සිප්හල
සොබා දම් මැව් අමිල දිනිතිය
සමු ගනිමි ඔබ දකිනු රිසි යලි

කවිය බලන්න
“තලා අගය නෙක පිළි රූ වඳිනු කුමට අසන අයට...”

“තලා අගය නෙක පිළි රූ වඳිනු කුමට අසන අයට...”

ගත් කතු, සංගීතඥ මාලපල්ලේ කුමුදු අමරසිංහ ලන්ඩනය

පහන් පෙළක් දිදුල නඟයි
වැතිර ගිරිතලා පව්වේ
පොසොන් කිණිති සඳ වටකර
පතළ අඹතලා ගව්වේ
සහන් සිතින් පඩි ගණිමින්
නැග - නැග දුරු මිහින්තලේ
“සාදු - සාදු” දෑත් මැදෙයි
මතුර - මතුර නළල්තලේ...

අරුමැසි පෙම් රස මතු වන
ඉසුරුමුණියෙ පැතැලි ගලේ
විඳ - විඳ ඒ කලා මිහිර
සිත් දුර යයි හැඟුම් බලේ
නෙක - නෙක හැඩ ගත් බුදු රූ
තැන - තැන වැඩ හිඳින සුවේ
දුටු - දුටු සැණෙකින් සිත් තුළ
නිවන් පුරය ළං - ළං වේ...

ගම දාගබ පන්සල ගංගා වැව්
කෙත් දිවිය අපේ
හෙළ දිවි පෙවෙතට දුන් අරුමය
සංහිඳියාව පිපේ
එදා මිහිඳු හිමි ගෙන ආ
උත්තම දායාද පිනේ
අදත් පොසොන් සමරමු
සිහිකර උත්තම මිහිඳු දිනේ...

ගල් කටුවයි පන්හිඳයි වරුණ කළ
රස රැස කෙටුණු ගලේ
සඳකඩ පහණක විසිතුරු කුමකට
වනමි ද කැවුණු බලේ
ලී කැටයම් නෙළූ දෑත් පණ ගැන්වෙන
ඇම්බැක්කේ
දුටු - දුටුවන් මවිත කරයි සිතනු බැරි ව
අරුමැක්කේ...

හෙළ බොදු ගුණ පස විහිදුණු
දිවි මං පෙත් තැන - තැන හුදු
ගමින් - ගමට අතින් -අතට
විකසිත වී ගිය මග සුදු
මතු කර නිති සිරිත් - විරිත්
පෙළ පස පෙර ම`ග එ නිරි`දු
එක් සේ සත් කළ මුදු හුදු
දනට කැපයි පුදනු මිහි`දු...

කලා රසය හැම තැනක ම
විලාසිතා ගෙන රජයන
සලාලිත ව ඉදි වෙයි නිරතුරු
ගේ - දොර අහස සිඹින
තලා අගය නෙක පිළි රූ
ව`දිනු කුමට අසන අයට
නෙළා මල් මිටක් දෙමු අපි
වැ`දින ලෙසට නොවැටි පවට!

2025.06.01

කවිය බලන්න
සමනල සඳෙස - 25

සමනල සඳෙස - 25

ගත් කතු, සංගීතඥ මාලපල්ලේ කුමුදු අමරසිංහ ලන්ඩනය

දත යුතු කරුණු ගොමුව - 22

දළදා හිමි සෙවන

439. කඳුමානේ තැනින් - තැන හෙල් වැටි අතරේ
සඳපානේ ගමන් දැන යන්නෙ ද අතුරේ
හදතානේ හොරෙන් පැන් සවි ගත් පොකුරේ
රක්වානේ ළඳුන් ගැන කියවෙයි මිතුරේ

440. මල් - මල් ළඳුන්ගේ කෝමල වතට වැටී
කැණ්-කැණ් ළහිරු රැස හැමතට වැටෙන හැටී
රත්වන් ලවන් පෙති අතරෙහි සිනා කැටී
ඇත්නම් සවන් තුළ පිළිරැව් දීම වටී

441. සමනල කැමති නොවුණත් ඉවසා පන්න
යා යුතු මඟ දිගයි සිත දැඩි කර ගන්න
රක්වානේ අඹුව හද තුළ බැස ඉන්න
රැකගෙන පැල්මඩුලු තැන්නට ඔබ යන්න

442. දිගු ඉතිහාසයක තතු දොර විර කර
වගු කර කියන්නට ඇති මුත් සවිස්තර
ගිගු නද ‌දෙමින් තේවා හඬ ඇසුණු මුර
ලගු කොට කියමි දළදා හිමි වැඩිය දුර

443. ගැමි උවසුවකුගේ නෙත් මානෙට වැටුණූ
බැමි ගල් ගරා ගිය වෙහෙරක හැඩ තිබුණූ
තැවි-තැවි නොයිඳ පුද සැලකිලි කොට බැඳුණූ
සවි - මත් වී ය පසු රජ නෙත - සිත සැදුණූ

444. සදහම් සුවඳ පතුරන්නට රුවන් පුරේ
සදහම් මිහිර ගෙනදුන් තැන් බැතින් පිරේ
සදහම් මඟ උගත් යතිවරුනටත් දමේ
සදහම් ගුණ සිතින් නිති අපෙ සිරස නැමේ

445. සාදා මැදුරු වැඩ සිටි එ ද ඇදුරුතුමන්
පාදා නිසරු මඟ එළිකොට රුසිරි ලෙවන්
බාදා පතුරු හැර දම්රද රැකෙන තෙදින්
ආදා සතුරු බිඳ දැම්මේ සුහද ලෙසින්

446. සොයනු ඉතින් සමනල නුඹ වෙහෙර වැඳ
බලනු - අසනු විස්තර වැඩි දුරට සොඳ
සිතනු - බඳින පදවැල් දෙන මිහිරි නඳ
ගයනු පැල්මඩුලු කවි කර ගෙතුණු සඳ

2025.06.01

කවිය බලන්න
පතිනියකවූ මගෙ දුවට...!🌹🌹🌹💖💖💖

පතිනියකවූ මගෙ දුවට...!🌹🌹🌹💖💖💖

ලලනී ගීකියනගේ රත්නපුර

හිසේ කිරුළු නොදැරූ.. දිවි
පෙවෙතට....!
කුසේ ඉඩක් ලැබුනා.. පෙර
පිනකට....!
හිතේ මලක් පිපිලා... විල්
තෙරකට.....!
සෙනේ ගඟක් ගැලුවා
මගෙ දෝතට...!💖

වනේ පිපුන.. වන මල්
හරි සීතට.....!
ගෙනේ සුවඳ ..විහිදා
දුර ඈතට.....!
දැනේ මහද ...ඉතිරෙන
ගී මිහිරට....!
සෙනේ ගඟක් ගැලුවා
මගෙ දෝතට....!💖

සඳ වතුරෙන් නහවා ..
රැස් මිහිපිට...!
පිනි කඳුලින් දෝවා.. දුන්
සුරතට...!
විඳ සතුටින් ඔසවා.. ජය දද
පිට... !
සෙනේ ගඟක් ගැලුවා
මගෙ දෝතට....!💖

මද පවනින් සැලෙනා..
මල් ගොමුවට....!
වැද රඟනා විහඟුන් ...
හරි හරියට...!
සිඳ දොම්නස් සිත් ...
සතුටින් පේ කොට..!
සෙනේ ගඟක් ගැලුවා ..
මගෙ දෝතට...!💖

වැවේ කළල් දිය.. නොඇලී
දියපිට....!
සුවේ නෙළුම සුපිපී... හිනැහෙනකොට..!
දුවේ ! රුහිරු , කිරි වූ ...
අරුමයකට...!
සෙනේ ගඟක් ගැලුවා....
මගෙ දෝතට....!💖

බැඳ සුළැඟිලි රන් ..හූයෙන්
තදකොට..!
හද පුරවා දෙඅතට... පැන්
වත්කොට...!
පුද කරවා සත්.... පත්තිනි
මෑණිට....!
සෙනේ ගඟක් ගැලුවා
මගෙ දෝතට...!💖

හතර වරිගයම ..කැන්ඳා
එකවිට..!
නිතර කතා.. බත බුලතට
එක්කොට.. !
පවර ගුණය.. රන්ඳා බැඳි
සිත්යට...!
සෙනේ ගඟක් ගැලුවා
මගෙ දෝතට...!

එපා දුවේ.. හිරිකඩ
සේලය මට...!
කිරි කළ හත.. බිව් ණයට
හිලවුවට...!
" මමයි දුවට ණය.." භවය
පුරාවට....!
සෙනේ ගඟයි "දියණිය "
සැමදා මට...!💖💖💖

වනේ ගිජිඳු සේ ..රැකි
ආලයකට..!
ගෙනේ සතුට ..නිම්හිම්
නැතුවා මට.. !
දුවේ ! නුඹේ අයිතිය...
පවරා හෙට..!
කිරුළ පලඳවමි "පුතුනි!
නුඹේ ගෙට.!"

ආදරණීය අම්මා - ලලනී ගීකියනගේ.

රත්නපුර.
2025.05.28

කවිය බලන්න
සසර....!!!!

සසර....!!!!

ලුම්බිණි විතාන ලන්ඩනය

නිරන්තරයෙන්ම හට ගෙන
නැවත නැවත හට ගැනීමට අවකාශයකට ඉඩ කඩ තබමින්
දුර්වල වෙමින් නැවත මුල් තත්වයට ගත නොහැති ප්‍රවාහයක
අදට වඩා හෙට ගැන මොන විශ්වාසයක්ද තැබිය හැක්කේ

Photo credit;
Rei Cheruseewai

කවිය බලන්න

""සෙනේ කැඳැල්ල""

ලුෂානි දමයන්ති කැකිරාව

කැඳැල්ලෙ රන් විමානයේ
සෙනේ පිරී තිරී ගළයි
තමන් හැදූ කුඩා පැටව්
බිදෙන් බිදේ වැඩීල එයි

ගහෙන් ගහේ පියා සලා
හිඳිද්දි ලං වෙලා පෙමින්
කැඳැල්ලකුත් සදාල දී
පියා ගිහින් කලක් වුනා

ඉගිල්ළිලා උදෑසනේ
වනන්තරේ පියාඹලා
සුරත් පලත් නෙළා ගෙනත්
ළමුන්ගෙ කුස් පුරෝවනා

හැදූ වැඩූ ළමුන්ට මව්
තුඩෙන් තුඩේ තබා සෙනෙන්
සොයාල කෑම දුන් පසුයි
ඇගේ කුසත් පිරෙන්නෙ ඉන්

කිචී බිචී ගගා ළමුන්
කතා කරයි දිනෙන් දිනේ
පියාපතුත් වැඩීල විත්
පනින්න මයි හදන්නෙ දැන්

ළමුන්නෙ මේ අසාපියව්
කැළෑ ගමේ හිඳිද්දි මේ
ඇතැම්හු නෙත් අයා සිටියි
පරිස්සමයි වටින්නෙ බෝ

කවිය බලන්න
නවාතැනින් එන පුතුනේ

නවාතැනින් එන පුතුනේ

ලක්ෂ්මී බෝම්බුවල

"ඉනට පලා නෙලා ගෙනේ
බරට ම දර කඩා ගෙනේ "
පුතු එනතුරු නවාතැනේ
උඹෙ අම්මා බලාගෙනේ.

හාල් මිටක් ගරමින් නේ
හිනා පොදක් ඉහිමින්නේ ..."
හීන පැතුම් සිඹිමින්නේ
ගේ දොරකඩ දකිමින් නේ

ඉල්,ඇටකටු හිනාවෙතේ
ඇස් ගිලිලා හිනා වෙතේ
දත් දියවී හිනාවෙතේ
නවාතැනින් පුතු චඩිතේ.

හකු පෑදී හිනාවෙතේ,
වත කලු වී හිනාවෙතේ ,
කොන්ද නැමී හිනා වෙතේ ,
නවාතැනිං පුතු වඩිතේ..

පාළු ගහේ මුල් මැරිලා..
හීතල දිය දළු අඩලා..
පාන් තිරේ රැස් උනලා
තුන් දොහකට පුතු වැඩලා .

'පොළොස් මාළුවක් ඉව්වා ,
අගුණ මැල්ලුමක් හැදුවා ,
කංට පුතේ තව ඩිංගක් ;
කුම්බලාවො තෙල් දැම්මා.'

'පොඩි අක්කව මාරු කරල
උඩහ ගමේ ඉස්කෝලේට '
'මාලිගාවෙ සිල් ලැබුවා
මාත් පහුණු ඇහැල මහට. '

'ලොකු අප්පච්චිත් ඇවිදිං,
වරුවක් මග බලං ඉදල ,
ගියා පුතේ වෙල දිහාට..
හවහ ගොහිං හදිගැහියං !'

බුදු වෙන්නට පෙරුං පිරුව
අප මහ බෝසතුන් වගේ
උඹ එනකං මං හිටියේ ,
කල්ප කෙළක් ගෙව්ව වගේ.

උඹත්තෙක්ක ඒ දින තුන
ගෙවිල ගියේ, අසුරු සැණේ,
තව වරුවක් අපේ පැලේ
ඉදල යන්ට බැරිද පුතේ....?
තව වරුවක් අපේ පැලේ
ඉදල යන්ට බැරිද පුතේ..???

රද්දොළුගම නිවාස සංකීර්ණය

කවිය බලන්න
පොසොන් උදාව

පොසොන් උදාව

ගමගේ ලයනල්

මුව රංචු වී සිටී
සමගියට හිත බැඳී
අඔ රංචු වී සිටී
රස පිරී මී පැණී
තුරු රංචු හිට ගනී
ධම්මපදයට නැමී
පොසොන් දා තාරපති
මිහින්තලයට වඩී

කවිය බලන්න
පින්බර වෙසඟ දිනේ

පින්බර වෙසඟ දිනේ

මයුරි කොඩිකාර ගම්පහ

පුෂ්ප ලතාවෝ සුසුවඳ පතුරා
විශ්මිත ජන්මෙට නැකත සදන්නා
බැල්ම හෙලාලා දෙවි බඹු වැඩලා
පැන් ඉස ආසිරි සෙමර සලන්නා
මව්ගෙ ඇකේනී හනිකට මිදිලා
පින් බලයෙන් පියවරද තබන්නා
සිංහ නදේනී ලොවටම හඬගා
කල්බලමින් සිටි කරුණ කියන්නා

කම්සැපයේහී අතිරය දුටුවා
නික්මුණි සක්විති වරම මතින්නේ
මජ්ජිම යෝගේ පිළිවෙත රැකලා
පෂ්චිම යාමයෙ දුකෙනි මිදෙන්නේ
මෙත් මුදිතාදී ගුණයෙහි ගිලිලා
ලෝ දන වෙන්කර පවිටු පවින්නේ
දුර්ජනයාගේ ඇසුරද හැරදා
සංහිඳියාවෙනි දහම දෙසන්නේ

දෙව් මිනිසුන්ගේ යහපත උදෙසා
ගම්නිය ගම්වල පිරිවර රන්දා
බැල්මට සන්සුන් වදනට බැඳිලා
එක්වුණු සිත්වල කෙලෙසද සින්දා
අත්හලෙ ආයූ මරු ජය ලැබුවා
භූමිය කම්පිත විය ඳුර කැන්දා
මංචකයේදී පිරිනිවනද පා
රැස් විහිදූ යුරු දුටු අය වැන්දා

මා මුණි වන්දේ අභිමුව වැතිරී
අත්හල රා ගිනි සුවයකි සාදූ
ආමිස පූජා සිදුකර බැතිනී
පින්කෙත පීදෙන යුගයකි පෑදූ
මෝහය සින්දා වෙස⁣ඟෙහි සිරිණී
පුන්සඳ වූවනෙ ගුවනතෙ මෝදූ
පාරමිතාවෝ පුරනෙමු මෙලෙසේ
අර්ථය ජීවයෙ මගඵල සෑදූ

ගල්බොඩ වතුරුගම

කවිය බලන්න
ගමනක වෙහෙස

ගමනක වෙහෙස

මල්ලිකා මාරසිංහ

බොල් ය හඬ ,
බිඳුණු ආත්මය තුළින් මතුවන...
සුසුම් ය තැන තැන,
සිහින මං පෙත් අතර මං මුළා වුණ...
රිදුම්ය බොහෝ හද තුළ,
සිදුරු වූ තැන් වලින් මතුවන...
වෙහෙසය මේ ගමන,
නොපෙනෙනා ඉමක් වෙත
හැල්මේ දුවන...

අලව්ව
2025.05.11

කවිය බලන්න
වඩිනු මැනවි මේ පෝයට දම් සිසිලයි වටින්නේ

වඩිනු මැනවි මේ පෝයට දම් සිසිලයි වටින්නේ

මුදිතා ඩයස් කොට්ටාව

වෙසක් සඳේ සඳ එළියයි ලොවට සිසිල බෙදන්නේ
සසර මගට නිවන් සොයන දම් එලියයි දිලෙන්නේ
මනුසත් සිත්තුල සිසිලක් නෑ ඇයි නිතරම දැවෙන්නේ
වඩිනු මැනවි මේ පෝයට දම් සිසිලයි වටින්නේ

ලොව කැළඹී ගුණ දම් නෑ ලොව පිරිහි ගිහින්නේ
බෝ මලුවෙත් මෙත් ගුණ නෑ මලටත් ලොබ බදින්නේ
නිවන් මගට හනික යන්න පෝලිම මුල පුරන්නේ
බුදු වදනයි මෙත් සිසිලයි බෙදා යන්න වඩින්නේ

කවිය බලන්න
තනියම

තනියම

මහාචාර්ය මනෝරි ගමගේ හැව්ලොක් ටවුන්

සඳ දිය ගලයි අහසින් පැන මිහිමතට
නද දී අඬයි බකමූණෙක් තනි කමට
මද නල ගෙනෙයි පුසුඹක් හුරු මතකයට
හදවත පෙලෙයි එන්නට බැරියෙන් ළඟට

පිපුනට කලුව මැද රහසින් මුලු ලොවට
සුදු පැහැ ඇඳන් සැරසී සිටිමින් රුවට
පිදුවට සෙනෙහෙ දුර දිලිසෙන සඳ වතට
මදු පැන් කොහෙද හිමි විල පිපි කොඳ මලට

තනි නෑ වගේ පෙන්වමි තනි වුවද හිත
පිනි බිඳු නෙමෙයි ඒ කඳුලැලි රැඳුන තෙත
පෙනි පෙනි ඇවිත් හිටියත් හිමි නොමැත අත
මුනිවත රකිමි දොරගුළු හැර පලක් නැත

කවිය බලන්න
මාතර යුගයේ කිවිමිණ නෝන  ගජමන්

මාතර යුගයේ කිවිමිණ නෝන ගජමන්

මල්ලිකා කුමාරසිංහ බදුල්ල

( පළමු කොටස)

රූණ මාතර යුගය පිළිබඳ
කරන කතිකා වලදි පෙරමුණ
පාන දස්කම් කවි කිවිඳියන්
අතර වැජඹුණ ලෙසට කවි මිණ
ගේන සොඳුරුම සොඳුරු පද වැල්
සොලොස් වන සිට වසෙහි පෙරමුණ
දෝන ඉසබෙල් කොරණේලියා
පෙරුමාල්ගේ උපත සිදුවින

මිලාගිරියේ පල්ලියේදී
තබා අකුරට පළමු.අත් පොත
නෙලා ගති කවි සතරෙ මල් පල
ඥාති යෙකුගේ දැනුමෙ මුල්වත
පලාගෙන ආ වලාවෙන් මිදි
එළිය විහිදුන අයුරු සඳවත
කලා ලොවතුල කලේ දස්කම්
කැපවෙමින් වී රුහුණෙ සිරිකත

පවර පණ්ඩිත කාව්‍ය භූෂණ
සමිඳු ධම්මාරාම කොරතොට
එවර ගුරුකොට ඇය උගත්තේ
බරස දුෂ්කර පබඳ හුරුවට
නිවරදව හැමවිටම.යොදමින්
ලිහිල් වූ කවි බසම.තරකොට
කවර.ලෙසකින් වනා නිමකල
හැකිද යෙදුමන් කරන වරකට

බාල වියෙදිම.පබැඳි කවියකි
දෙනිපිටියෙ නුගරුකෙහි වරුණා
කාලයක කවි කුසලතාවන්
අනගි පබැඳුම වෙතට හැරුණා
ජාල දුෂ්කර චතුරශ්‍ර සහ
ෂඩස් බන්ධන වලින් පිරුනා
මාල කවියට ඇගෙන් දැඩිතර
ශෝක මාලය එකතු කෙරුණා

නැතක් රති කවි පැවති යුගයක
වෙනස් කරමින් විවිධ අරමුණු
සිතක් හැමවිට සෙනෙහෙ බැන්ද
චරිත වරුණා කරපු පෙරමුණු
සතක් කවි බැඳ එකම කවිය ක
අකුරු වැල එකිනෙකට කර ගොණු
වතක් මුදළිඳු අමරසේකර
පිළිබඳව වැනුමකින් සැරසුනු

සහබන්දු නම් මුදලි තැන සහ
ජොන් ඩොයිලි මාතර දිසාපති
සහන පතමින් ලියූ ලිපි වෙත
නින්දගම් තෑගි ත් ලබා ඇති
ගහන වූරති රසින් කවි කල
විවිධ පුඟුලන්වෙතින්කවි රති
පහර දී කවි බසින් පළවා
හැරියෙ යලි සරදමෙන් සිත රුති

දෙවන කොටස ඉදිරියට

කවිය බලන්න
දම් අමා ගඟ ගලා මිහින්තල සිරස..........

දම් අමා ගඟ ගලා මිහින්තල සිරස..........

පූජ්‍ය මහගම සීලානන්දහිමි වේයන්ගොඩ

දම් අමා ගඟ ගලා මිහින්තල සිරස
දුම් නැගෙන කෙළෙස් ගිනි
නිවී ගිය දවස
ගිම් නිවා සඳ දිලුන
තරු පිරුණ අහස
අම්බ වනයෙන් තෙමුණි
සංසාර පවස

අමා සිහිලැල් මඟකි
දුර ඈත පේන
පමාවීමක් නොමැත
පල දරයි හීන
නිමාවක් දකින ලෙස
වසා භව වාන
දමා දුනු හී නැවුණි
තිස්ස රජිදාන

මුවන් ලුහුබැඳ කුමට
මිරිගුවක සේයා
නුවන් යුග වසාගත්
බිම්බරක් මායා
සවන් පත් අරි මඟය
කුළුපගම නෑයා
ගුවන්තල පැහැබරය
පොසොන් සඳ පායා

සුළු ඇතුන් පද වුවම්
පළමු දෙසු සුතුර
මුළු දියත සිලිලවී
ගැලු අමා වතුර
නළු වෙසින් ආ කෙළෙස්
මර සෙනඟ දුරැර
සිළුමිණක් වී නැගුණි
රන් මාලි වෙහෙර

බැදී වැව් නිල් සළුව
කෙතකි සිරි සාර
රැදී සිප් කලාවේ
පෙනුණි නිසි පාර
මිදී භව අනතුරෙන්
ලබා දම් මීර
හුදී ජන සුදු සිල් ය
පෝය අතනෑර

සීගිරිය කලාවැව විස්මිතය නිමාවන්
පහන අඩසඳ පලුව
කැටයමක සොබාවන්
වෙහෙර මහ පෙති පිළිම
දැවෙන සිත් නිවාදුන්
මිහින්තල පුරාවත
රටට වාසනාවන්

කවිය බලන්න
මම වෙමි පාසලේ මව්බස ගුරුවරිය

මම වෙමි පාසලේ මව්බස ගුරුවරිය

මංගලා රත්නායක වැලිමඩ

මඳනල සමග සිසිළස දෙන ගැමි සිරිය
නැණ පහදවා දෙන යහමඟ දිවි සැරිය
සිසු දරුවනගෙ මනසට සලසන දිරිය
මම වෙමි පාසලේ මව්බස ගුරු වරිය

තිබුණට කොතෙක් අගහිඟකම් දෙගුරුනට
අර පිරිමසා නොදැනෙන ලෙස දරුවනට
පොල්සම්බෝල මුසුකර රස බත් කටට
පොතපත පෑන පැන්සල ගෙනදුනි අතට

සුවපිරි පන්ති කාමර නැතුවට අපිට
පාසල් බිමේ තැන තැන ඉදගෙන යසට
පරිසර සුවය විඳිමින් දිරි ගෙන සිතට
එහෙනම් ගනිමු දැන් මව්බස පොත අතට

සුපුපුණු කුසුම් ලෙස හිනැහෙන මුහුණු දැක
පාඩම් පොතේ පිටු පෙරලමි එකින් එක
දස්කම් තිබෙනවා සැමටම නැතිය සැක
දරුවනි වෙන්න මතු දින පල දරන රුක

-ක්වේට්

කවිය බලන්න
වැහි දවස්....

වැහි දවස්....

මාලා විජේකෝන් උතුරු කැලිෆොර්නියාව

ගසුත් නැවෙන වැලුත් සැලෙන සුළං කැරලි සුළි කැරකෙන
තවත් අඳුරු උදෑසනකි මේකුළු දහසක් කැටිවුණ
හිරුත් සැඟව ගොස් වෙනතක හොරැහින් මා දෙස බලමින
නමුත් මඟට පිය ඔසවමි, නොදනිමි කෙලෙසද නොගොසින

ළතෙත් බවක් නැති විලසින් ලොකු පොඩි මොර ගෙඩි තරමින
මමත් නොදත්තෙමි අහසක් මෙතරම් වැහි බිඳු වගුරන
ගඟක් සදිසි බොර දිය කඳ ගලමින් හොඳටම යටවුණ
මඟක් වුවද මම ඇවිදිමි කොහිදැයි කෙළවර නොදැනෙන

Photo credit;Noah Silliman

එදත් මෙවැනි වැහි දවසකි අහසත් පොළවත් ගුගුරන
ඔබත් මමත් පිය මැන ගියෙ එක කුඩයක් යට සතුටින
අදත් එමඟ නැත වෙනසක් වැහි දිය අඳුරට බොරවුණ
පලක් ඇතිද මේ ගමනෙහි ඔබත් නැතිව මා තනිවුණ

උතුරු කැළිෆෝනියාව

කවිය බලන්න
ඇහි ලෙණක

ඇහි ලෙණක

නිලුපුල් තුතිසෝම

කොයි⁣ වෙලෙත් දිලිසෙනා හරි හමන් නමක් නැති
ඇහි ලෙණක පිනි බිඳකි ඉර පවා දකින් නැති
මෙහි පැමිණි මුල් දිනක හැඳිනුවද ඇහුවෙ නැති
වියැළි තුරු පතකි නුඹ තිබහකට හඬන්නැති

අබලි සර සර හඬට සුළඟ හා ගැටෙන්නැති
පෙරැළි ඒ මේ අතට නිනව්වක් හිතන්නැති
ඉගිල අහසට සැනින් අභිමුවෙහි රැඟුම් ලති
එකල ළා දලු ස්වරෙන් මොනවදෝ මුමුණ යති

පැමිණ යළි පොළොව මත රිදුණු ගත පිරිමදිති
හමන මඳ පවණකින් උන්හිටි ම තැන් අසති කුමන හෝ කරුණකට හැරී අපසු බලති
රිදුණු තැන් අමතකව හොඳින් දැයි පිළිවිසිති

මළානික නිම්නයෙ මොනවදෝ පිරික්සති වලාබඳ අකුණු දැක මල් සුවඳ අගිස්සති
බලා හිඳ ලෙණ ⁣දොරට හෙමින් හිස පුරුද්දති
සලා දෙවුරම හෙමින් එහි අගුළු කොනිත්තති

Photo Credit;
Ankit Manoharan

කවිය බලන්න
නැති රෝස මල

නැති රෝස මල

නිරන්ජන් සෙල්වදුරේ සිඩ්නි, ඔස්ට්‍රේලියාව

සාලය කෙලවර
දූවිල්ලෙන් වැසුනු
අමතක වුනු
මල් බඳුනක්

නැති රෝස මල
යලි එන තුරු
පුල පුලා බලා සිටින
ඒ පරණ මල් බඳුන

හිමිදිරියේ අම්මා ගෙනෙන
කෑම මේසය මත තැබෙන
තනි රෝස මල රැඳුන
ඒ සොදුරු මල් බඳුන

ළමා කලක නැවුම් සිතුවම්
මිදුලේ කල කෙළි සෙල්ලම්
දහසක් පියකරු මතකයන්
ඒ මල් බඳුනේ සනිටුහන්

ඉරිදා කැම මේසය
කරවල බැදුමේ රසය
දරුවන්ගේ කලබලය
නිරතුරු සිනා සාගරය

අම්මා ගිය දා පටන්
සිනා හඬ යලි නෑසුනි
තනි රෝස මල පරවුනි
මල් බඳුන හිස්වුනි

මල් බඳුන අහුලා
ළිං දියන් දොවලා
රෝස මල හොබලා
මේසය මැද තබලා

කවුළුව ඇරිය විට
අදුර පහවිය එළියට
අම්මා නැතිවී අදට
වසර විසක් හරියට

කවිය බලන්න
මේ අතරින් ම පියුමන් සුපිපේය දුලා...........

මේ අතරින් ම පියුමන් සුපිපේය දුලා...........

නයනශාන්ති දිසානායක

දුව දුව මුවන් පසු පස තවමත් හැල්මේ
සවි බල තියෙන උන් ඇත දඩයම් බැල්මේ
දෙසු දෙසු දහම් දිව රෑ රැවු දේ කැල්මේ
ගෙන යන වපුල පින් පවු නොරැදේ ඇල්මේ

වට පිට නිතින ගැටීමකින් ආ කඳුල
වත මත රැඳුන විඩාවකින් පෑ තැවුල
සත සිත දවන සොබාවකින් රූ බහුල
අත හැර නොගෙන පමාවකින් වී අවුල

ගැටෙන බිදෙන ගති මත හිත තිගැස්සූ
බියෙන වෙළෙන දන මන නිති පිළිස්සූ
පවක පිනක ඇති නැති බව නොරිස්සූ
කවර කලෙක බව දුක ගැන හගිස්සූ

සැලෙනා පහන් සිළු සේ දිවි ලබාපූ
හමනා සුළං අත කොයි දැයි හොයාපූ
අඳුනා කෙලෙස් ගිණි මෙය යැයි කියාපූ
මිඳුනා මිනිස් දිවි ලද ඵල නෙලාපු

වපුරණු පිණිස සිත් කමතේ ඵල උදෙසා
සඳනා කපා මුළ සිඳ දැලි හේනක සකසා
රැක බැඳ කඩුළු වලකා එන හැම කෙළෙසා
නිති පැල් රැකුම ගෙන ඒ විපතම වනසා

මර සෙන් ඒ ය මහ වැසි ඟං වතුර ගලා
නියඟය විපත් දේ රැකි සැම දූලි හලා
අලි මුව ගෝන රැළ වනසයි කමින් උලා
මේ අතරින් ම පියුමන් සුපිපේය දුලා

කවිය බලන්න
දුකින් පෙලෙන සත් එයින් මුදන්නට........

දුකින් පෙලෙන සත් එයින් මුදන්නට........

නදී ශානිකා මහනුවර

අග්ගෝ හමස්මි ලෝකස්මි
ජෙටිටෝ හමස්මි ලෝකස්ම්
සෙටිටො හමිස්මි ලෝකස්මි
අයන්තිමා ජාති පුනබිබවෝ.......

දුකින් පෙලෙන සත් එයින් මුදන්නට
ලුමිබිණි සල් උයනේ
කුමරුන් සිදුහත් මෙලොවට බිහිවිය
පිංබර වෙසඟ දිනේ...........//

සාරාසංකප් බව තරනය කර
පිරුව පෙරුමි බෙලෙනේ
හිමිබුදු පත්විය මරසෙන් බලබිද
අජපල් තුරු සෙවනේ...............""//

පංසාලිස් වස් තිලවට තිලකව
ලෝසත කඳුලින් මුදවමිනේ
පරිනිර්වානෙන් බුදුහිමි සැනසුනි
අතිරවු බව තිර කරවමිනේ...........//

පන්දහසක් කල් ලොව පවතින්නට
වෙලි වෙලි බුදු සසුනේ
සුවපත් කරගමු එලොවත් මෙලොවත්
අරි අට මග යම්නේ...........//

Photo Credit;
Jan Kopřiva

කවිය බලන්න
ඇරියස් ගන්ට දුන් සරසවි වරම!

ඇරියස් ගන්ට දුන් සරසවි වරම!

නික් ග්ලෙන් උතුරු අයර්ලන්තය

උගතුන් ලෙසින් පිට වෙන්නට මෙහි ආපූ
විහඟුන් සිටින තැන, බලු ඇක්ෂන් දාපූ
එතනින් නොනැවතී උඩ ඇඳුමෙත් රීපූ
වඳුරන් රැලකි මව් සරසවි නම කාපූ

ඇරියස් ගන්ට දුන් ලයිසන් ලෙස දැකපූ
වෛරස්‍ එකකි මුන් තුන්ලෝකෙට ආපූ
දෙදහස් විසි පහෙත් හදවත් දෙදරාපූ
අදහස් තවත් වෙද දිවි නැහුමට දාපූ?

වටකොට අහිංසක දරුවෙක් රැග දාපූ
දිවියට තබන තෙක් තිත, කිසි නොදැකාපූ
කරුමෙට නොපවරා කළවුන් හංගාපූ
හනිකට කැඳවපන් මහ උන් පොල් ගාපූ!

හඬහඬ කියද්දිත් ඇඳිවත ගලවාපූ
බලු, ජඩ සුනඛයිනි මවකගෙ කිරි බීපූ
වැඩි වැඩ නිසා තොපෙ, මරුවා කැඳවාපූ
අඬු කඩ, නෙරපුවත් මදි, ගෙව්මට පව් දීපූ

හදවත කකියවන මෙපුවත කියවාපූ
සියපත කැකුළ දුටු දුටු නෙත හඬවාපූ
ඉලපත රැගෙන සුළු දිය පා නහවාපූ
තව ලත නොව තලව්. ජස්ටිස් කෝ දීපූ?

සබරගමු සරසවියේ දරුවා වෙනුවෙන්.
ප.ලි.
කකියවන හදවත
ලියුවා මෙලෙස මෙපුවත
සමා, කියවන මිත
සාම පරවියා නිති ඇත අත.

කවිය බලන්න
විමුක්තිය

විමුක්තිය

ප්‍රියංගිකා බටගොඩ

සතිසකින් දිය වැටෙන
තෘෂ්ණාවෙ ගැඹුරු විල
රන් රිදී මිනිමුතුද
අඹුදරුන් පිරිවරද
මම්ස් මගේ මටය ගෙන
රාග සත් සංග වැසි
තෙමුණු තෘණ ලොබව ගෙන
තැන නොතැන සැරි සරන
රිසි පරිදි ළැග තැවෙන
සය රැහැන් පටි වෙලුන
නොහික්මුනු ඇත් රජුය
කෙලෙස් කළලක ගිලෙන...
මොනතරම් හිරිහැරද....
තුමුල බල අරිමගය
අග මුලට........
මුල අගට........
බිඳිනු මැන වර පටය
ගිජුව මස හෙලන නෙත
රුදුරු මරු පරදන්න

කවිය බලන්න
බොරුව.....

බොරුව.....

පවිත්‍රී මෙන්ඩිස් මතුගම

සාමා එන්න
මල් පිපෙන්නේ
කොයිබින් ද බලන්න

චමරි එන්න
මෙන්න මේ රාමුව
අර ගන්න

අමර ඔබට පුළුවන් ද
ඒ මල් සුවඳ
රාමුවේ හිර කරන්න

නයනා ඔබ පහදන්න
සංස්කෘතිය, සදාචාරය
උප සංස්කෘතියට
හිස නවන්න

"අන්න නිල් අහස
ඔබට හැකියි පියඹන්න"
ඒ මොන බොරු කතා ද
සරුංගල් හදන්නෙම
නූල දෙන තරමට
පා වෙන්න.....

කවිය බලන්න
සැඟවුනු මලකට...........

සැඟවුනු මලකට...........

වෛද්‍ය පද්මලාල් පතිරගේ නුගේගොඩ

ඈත කඳු මුදුන්වල සුවඳ මල් පිපෙනවා
නෙත් නුදුටු සොඳුරු මල් ඔහේ පෙති හලනවා
ඉඳ හිටක එවන් මල් ලොවක නෙත
ගැටෙනවා
එවන් විටකදි ලොවම මිහිර ඉන්
ලබනවා.

පිවිතුරු වු සුවඳ මල් පිපෙද්දී වන පෙතේ
එහි සුවඳ ලබන්නට දනන් හට ඉඩ
නැතේ
විහිදුවා මල් සුවඳ දෙරණ මත දස
අතේ
ගතක පහසක් නැතිව සොඳුරු මල්
පරවෙතේ.

හිනැහිලා හිරු සමඟ මිහිර ලොවටම
දෙමින්
විහිදලා ලද සුවඳ ලබන්නට දී
සිතින්
සනසලා සොබාදම මිහිරි පැතුමක්
ලෙසින්
සැඟවිලා ඔබ ඉන්න මලේ රුදු නෙත්
වලින්.

කවිය බලන්න
කදා වළලු

කදා වළලු

ප්‍රීති පෙරේරා තලවතුගොඩ

බහ තෝරන තම බලිඳා සිහි කර
හඬමින් සුසුම් හෙළමින් පවසා සිටින
අතිශය අනුවේදනීය කතා පුවතින්
මා මහත් ලෙස සංවේගයට පත් වුනෙමි

කදා වළලු විකුණා අද දින ලද යමක්
මෑනියන්හට පින් පිණිස දෙමැයි සිතු විගස
මුදල් පසුම්බිය මා අතින් උදුර ගෙන
හාවෙකු මෙන් පැන දුවන මැය කවුද

×××

මං පහරන්නියක් අවට සැරිසරන බවක්
මිතුරන් රහසින් කොඳුරන ව්ලසින්
ගොම්මනේ මට හමු වුනේ කවුරුදැයි
හිරු පායන විලස එක් වරම වැටහින

ඒ මවහට ⁣ගිලන් වූ දරුවෙක් සිටීදැයි
මනසට වද දුන් කාරණාවක් වුවද
එය ගොතන ලද මුසාවකැයි පසක් වූ සැන
යම් සතුටක් සොම්නසක් ජනිත වනු දැනේ

17.05.2025

කවිය බලන්න
දුම්රිය සඳෙස

දුම්රිය සඳෙස

රුවන් ඩී අළුබෝමුල්ලගේ

හිනා වෙන කතා වෙන විහිළු තහළුද කරන
තත්පරෙන් සියයකින් පංගුවෙන් වෙනස් වෙන
යළි කතා වෙන හිනා වෙන විහිළුවක් කරන
මුහුණුවල පේනවා තද කරන් ඇති ප්‍රශ්න

දුම්රියේ කවුළුවෙන් ඈත පේනා දුරක
සමුදුරේ කෙළවරක ක්‍ෂිතිජයේ ඇති තිතෙක
රැඳුනෙ දෑසද සිතද සිතාගනු බැරි සිතෙක
හැඟුම්බර බවමමයි තියෙන්නේ මුව විටෙක

මාසෙ අග අතට එන සොච්චමේ ඇතුළෙ ඇති
දහක් ගැට ලිහන හැටි හිතා ගනු බැරිව ඇති
එහෙම නැත්තම් ගෙදර සොඳුරු ප්‍රශ්නයක් ඇති
ඒත් නැත්නම් ඉතිං ලෙඩක් කරුමයක් ඇති

පොඩි එකී ගෙට වෙලා කොටහළුව ගන්නෙපැයි
නමටහරි කන කරක් අරන් දෙන්නත් එපැයි
පාටියක් නොගත්තොත් ඒකිගේ හිත රිදෙයි
ණය වෙන්න වෙනවමයි අවුල් වියවුල් ගොඩයි

ඇගේ හිත බර වෙන්නෙ කියා ගනු බැරි දුකක්
මහත්තය ගෙදර එන්නේ මාසෙකට වරක්
ඈත දීපංකරේ පුද්ගලික හිර ගෙයක්
දරු පැටව් හදන්නට දරන වෙර කප්පරක්

අම්මගේ අප්පගේ බිරිඳගේ දුබලකම්
ඥාති හිතවතුන්ගේ වුවමනා එපාකම්
ගහළයෙක් වගේ ඇති ආර්ථික කුරිරුකම්
අතර පොර බදන විට බරද හිත කොයි තරම්

“ ඇයි මචං කෝච්චිය හදිස්සියෙ නැවැත්තුවෙ ”
“ එකෙක් හැප්පිල මැරිල පහු වෙච්චි වංගුවේ”
“ උගෙ ප්‍රශ්න නම් ඉතිං ඉවර ඇති මේ බචේ ”
සතියකට වරක්වත් මෙලෙස පැන විසැඳවේ

වාඩිවී ඉන්න අයගෙන් සමහරෙක් නිදි
කුට්ටමක් අනනවා කට්ටියක් ඊට ලැදි
සමහරුන්නම් ඉතිං කාල වගෙ ඇඹුල් මිදි
කෙනෙක් කෙනෙකුට කියයි පෙරදාක වෙච්ච හදි

මුල්ලකට තුරුළු වුන පෙම්වතුන් යුවලකගේ
මුනු මුනුව මුව පිරුණු සිනා රැලි යන සුළඟෙ
තවත් පෙම්වතියකගෙ දෑස් අග කඳුළු වගෙ
තෙරපෙනව ඇති මොකක්හරි දුකක් හිතේ ඇගෙ

තරුණ නැති ජෝඩුවක් අසම්මත මුකුළුවක
නෝටි ෆෝටියෙ වගේ බැළුෑ බැල්මට දැක්ක
හිරිත් වැටුනා වගෙයි ඔලොක්කුවටම හක්ක
ඔහොම යං ඔහොම යං හැංගිච්ච කොරවක්ක

රුවැත්තියකගෙ දිහා බලන් මැදි වියට පත්
තැනැත්තෙක් අනිමිසයි විවර කරගෙන දෙනෙත්
ඒත් එක ගැටළුවක් වෙන්නැතිනෙ ඔහුව පත්
දුටොත් ගැහැනියක් සෙල වෙයිළු කොරවක් ගලත්

කටු ඇනෙන ගල් ඇනෙන වංගු වලවල් තියෙන
මේ පාර දුශ්කරයි කොහොම දකිමුද නිවන
කෝච්චියේ පීල්ලට බෙල්ල බැන අඬ ගසන
කොච්චරක්නම් හේතු තියෙනවද දුක හිතෙන

මේ සියළු ප්‍රශ්න මැද සතුටු සාමීචියේ
ගී ගයයි තාලයට කට්ටියක් මල් වියේ
මොනව තිබුණත් කාට කාට මොන වර්ගයේ
අළුත් හිතවත් කමුයි සොඳුරු මේ දුම්රියේ

කවිය බලන්න
යළිත් ලං වෙමු අපී...

යළිත් ලං වෙමු අපී...

රේණුකා සුදර්ශනී ඉලංගකෝන් කිරිඳිවැල

සකුණ සංධ්වනියක්
පවන් රැල්ලක ගැටී
සමනලුන් ඉගිල්ලෙන
හැටි කදිම නැටුමකී
පලා පැහැ තැවරුනත්
නිම්නයක දුර ඇතී
ලිහිණි හඬකින් මිදී
යාම වුව රිදුමකී..

කියා ගන්නට බැරිව
සිතේ සිරවී ඇතී
ආත්මය රිදුම් දෙන
සිතිවිලිත් බොහොමෙකී
විඩා අමතකව යන
සිනා දහරක ගිලී
නිවී සැනසුන සිතක්
තනිකමෙන් ඉකි බිඳී..

නවාතැන් බොහෝ ඇත
ඉසිඹු ලන්නට හැකී
නමුදු එකමෙක සිහිල්
සෙවනක් ය අරුමැතී
හද කීරි ගස්වනා
මියුරු තනුවක එතී
තවත් එක් සුයාමෙක
ආවොතින් ඒ ඇතී..

ක්ෂිතිජ ඉම තනි වෙලා
ධ්‍යානයට සමවැදී
නොදුටුවෙද කතරකත්
මල් පිපී තිබු හැටි
අසිරිමත් වසන්තය
යළි යළිත් එනු ඇතී
එතෙක් වෙන්වී හිඳිමු
ප්‍රේමයට සමු නොදී..

හුස්මක් වගේ දැනෙන
හැඟීමක සුව රැඳී
අපි අපෙම වූ තරම්
කිසිවෙකුත් දන්නැතී
ලොවම නිසසල පැයක
සිහිනයක වත් රැඳී
හාදුවක සුව විඳිමු
ඇහි පියන් යටට වී..

මතක මල් පෙති ලිහී
ගියත් සුසුවඳ රැඳී
සිත් වසඟ කරවනා
හැඟුමකිය අරුමැසී
දෑස් රැහැනින් වෙලී
සියොලඟම සලිත වී
සසර හුරුවට බැඳී
යලිත් ලං වෙමු අපී..

කවිය බලන්න
කියා දෙන්න මග සමිඳේ .............

කියා දෙන්න මග සමිඳේ .............

සපුමල් බන්ඩාර ලන්ඩනය

දෑස් පියාගෙන
සිතින් සිතාගෙන
අදුරේ ඇවිදින සසරේ
ඔබේ සිසිලසින්
දිවිමග ගිනිදැල්
නිවනු මැනේ බුදු සමිඳේ

කදුමුදුනට නගිනා එක අටියෙන්
සැම දෙන පොරකති දවසේ
කදුපාමුල තබලා යන මනුදම්
මුදුනට ගියපසු නොපෙනේ

දිවිය පුරාවට සසරෙ පතාවිත්
ඉපදුනි මේ මහ පොලොවේ
ගැලවී යන්නට පුලුන් රොදක් මෙන්
කියා දෙන්න මග සමිඳේ

කවිය බලන්න
සිනාසීමයි රාජකාරිය

සිනාසීමයි රාජකාරිය

ශර්මිලා බන්දුනි දන්වත්ත

නාඳුනන මුත්
හඳුනනා සේ පිළිගනිමි
මවාගත් සිනහවක්
හැමට එක ලෙස පුදමි
මගෙ තැවුල් කල්පනා
මා වෙතම තබාගමි
හිනහවත් ඉනාවක් නම්
එහි මැවුම්කාරිය වෙමි

නිදි නොමැති රැයක්
ගෙවූ බව ඇස වටා ඇති
කඳුළු වැල් ගැලූ තැන්
වත්සුනෙන් මකා ඇති
වදනක මුවහතක්
ගැඹුරටම ඇනී ඇති
ලේ ගලන හදවතක්
යලි යලිත් මසා ඇති

පැය අටේ වැඩ මුරය
ගෙවෙන තත්පර ගනිමි
ලේ නහර කිතිකැවී
එරෙන කිරි සඟවගමි
රාත්‍රිය අත දරා
නැවතත් කූඩු වෙමි
පිසදාගෙන සිනහව
ජීවිතය වැළඳගමි

කවිය බලන්න
මිණ

මිණ

වෛද්‍ය ශ්‍යාම කුමාර මුණසිංහ කොල්චෙස්ටර්, එංගලන්තය

වෙන්වී ගිහිල්ලත් කී වසරක් ද අනේ
ඉන්නේ කොහෙද කියලයි හිත රිදෙන පැනේ
තුන් තිස් කෝටියක් දෙවියන් සිටින තැනේ
උන් කිසිවකින් පිහිටක් නැති ලෙසක් පෙනේ

සිටිමින් වසර ගානක් එක ළඟට වැදී
ලැබදුන් ආදරය කොතරම් වුණත් මදී
පෙර පින් දෙතොත් වරමක් යළි ලබන විදී
මම ඉන් වැඩක් ගමි දී සේසතම රිදී

එනවා තමයි දවසක් අප හැමට යන
දිවියේ එයයි නියමය දේ කළත් මොන
නැතිවී තියෙයි නෙක දේ ආදරේ වුණ
අම්මා තමයි නැතිවුණ මිල වැඩිම මිණ

කවිය බලන්න
ගමනක මතකයක්

ගමනක මතකයක්

සුනිල් පෙරේරා ලින්කන්ෂයර්, එංගලන්තය

ගිය ගමනක් මතකයි
දිනය මට අමතක යි
පාරේ වංගුව මතකයි
ඒ කොතැනදැයි අමතක යි
රතු මල් ගස මතකයි
ගසේ නම අමතක යි

එතැන දිය ඇල්ල මතකයි.
ලඟ තිබු පැල්පත මතකයි
තැඹිළි විකුණු ලඳ මතකයි
පවසක් දැණුනා මතකයි

ඇයව මතකයි, හොඳට මතකයි
ඇයට මා මතකදැයි නොදනිමි

මතකය අලුත් වී
හිත ඉඳී වද දිදී

කාලෙකට පසු නැවත එතැනට
යන්න හිතුනේ ඇයිද නොදනිමි

ගසේ මල් නැත පිපී
දිය ඇල්ල ඇත සිඳී
වසා ඇත පැල්පත
ඔබ කොහිද පියකත
පවස දැනුනා හරියට
මුවට නොව මා දෑසට

කවිය බලන්න
නූපන් පුතුට..

නූපන් පුතුට..

සුධර්මා වීරක්කොඩි

තරු අරුණ කියන තුරු
සදු සැගව යනෙන තුරු
මීදුමෙන් පිරෙන තුරු
මග බලා උනිමි මම

මද පවන අරන තුරු
කිරි සිනා පිරෙන තුරු
මග මේඝ අතර තුරු
මග බලා උනිමි මම

පිළිතුරක් සොයන තුරු
පැණ පොඩිති හිදෙන තුරු
යවුවනය වඩින තුරු
මග බලා උනිමි මම

මුහුද ගොඩ ගලන තුරු
හිතේ ගිණි නිවෙන තුරු
මෙත් මවෙත වඩින තුරු
මග බලා උනිමි මම

සැබැවින්ම හිත හීදී
කදුළු ගං තෙර හිදී
කිසිදාක නොපැමිණී
පුතු සෙනෙහෙ වැළපුණී....

කවිය බලන්න
පොසොන් දා

පොසොන් දා

රාජ්‍ය කලාභුශන, කිවිපති සාසනකීර්ති-දේශාභිමානී ඩබ්ලිව් .කේ .සරත් විමලසිරි

හිරුසඳු පවුරු වැනි විස්මිත දෑ නේක
අවිඅඳු රෙහි වෙලී පිදු මළ යුගයේක
සම්බුදු සුවඳ පතුරනු වස් හැමගේක
අනුබුදු මිහිඳු හිමි පිරිවර වැඩි සේක
----
ව්ල හෙල තුරු වදුලු නිති පණ ලැබුවේය
මිල කල නොහැකි දහමක සුව ගැලුවේය
කල එලැඹියෙන් රජු හිමිසඳ දුටුවේය
හෙළ සැහැටියාවෙහි ඇරඹුම හිමිවේය
---------
මිස්සක සිකර වපසරියෙහි අඹ වදුල
තිස් සය යන හඬින් කැලඹිණි පෙර එකල
ඇස් ඇදහිය නොහැකි දසුනක ගිර ඉහළ
විස්තර කෙසේ කියමුද රජු දුටු සිහල
-------

කෙලි සෙල්ලමට දඩයම් කළ යුගයක් ය
බලි බිලි යකුන් ඇදහූ ජන පිරිසක් ය
යළි පුබුදමින් ජාතිය වැඩු දවසක් ය
හෙළි කළ දහම් මඟ දැයටම මිහිරක් ය
------
ලෝහිත කඳුලු වගිරූ වන සතුන් නේ
ජීවිත සමග සෙල්ලම් කළ දනන්නේ
නෑහිත මිතුරු කම් යළි සිත් බැදෙන්නේ
සාහිත කලා මං පෙත් ඉන් වැඩෙන්නේ
-----
නුබ කුස සි‍ඹින දාගැබ් ඉදි කෙරෙන්නේ
අසදුස සබද කම් නොවැ ඉන්බැදෙන්නේ
කිතුගොස දසත ව්හිදී දැයනැගෙන්නේ
නිදහස පොසොන් සඳ එළියෙන්පෙනෙන්නේ
----
බුදු ගුණ පොසොන් දා ව්හිදුණු පසුව රටේ
මියුගුණ දුටුව හෙළ වනිතා පිරිස වටේ
නිසි දින වරම් ලද පසු රට හතර තොටේ
රිසිතැන පවා ලැබුවේ ඉන් පසුය රටේ
-----
හදවත් සනසමින් මේ පුන් පොසොන් දිනේ
පින්වත් රටක අසිරිය සිවු දෙසින් පෙනේ
සුවඳත් හමන බුදුගුණ මුසු මිහිදු වනේ
අදටත් අමා සුව ගෙනදෙන බවක් දැනේ
==========================
කලාභූෂන කිවිපති
සාසනකීර්ති දේශාභිමානී
ඩබ්ලිව් .කේ. සරත් ව්මලසිරි
========================
2025/05/21

කවිය බලන්න
මතක කුසුම්

මතක කුසුම්

සහන් තීක්ෂණ ශ්‍රී ජයවර්ධනපුර සරසවිය

කන්ද උඩ පොඩි පාසලට ගිය
පාර තවමත් තියෙනවා
සද්ද නොකරම පුංචි නා දළු
තවම අපි ගැන කියනවා

පිපුණු මල් පෙති මිලින වී ගොස්
පොළොව බිම සිප ගන්නවා
වෙර දරා කුදු බීජ රහසේ
එළිය දකිනවා ඇහෙනවා

දැල් ගහපු පන්තියේ තැන තැන
වවුලු රෑනක් වගේ එල්ලී
පාට කුඩ කරකැවෙනවා
කඳුලු වහලෙන් සැලෙනවා

තවත් මුතු මල් පොට්ටු පීදී
වේදිකාවට නැගෙනවා
උන්ට අත්පුඩි වැයෙනවා
පුංචි හසරැල් පිපෙනවා

පොළෝ දුක උහුලාන ගලනා
ගඟේ දියවර ඇදෙනවා
හීන්සතුටක් ලැබෙන තැනදී
අනේ පෙණ පිඬු නගනවා

රූං ගාගෙන දුවලා ඇවිදපු
විසල් කඳුවැටි සිහි වෙලා
ඇහැළ මල්වල නෙතඟ තෙමුණා
පෙතිවලත් බර වැඩි නිසා

හීන්කළුවර ගලා එනකොට
කණු උඩින් හඳ පායලා
දාහයේ ගිනි පබළුවැල් මත
විදුලිපංකා කැරකෙනා

තියෙන ගානක් රෝල ගහගෙන
කනවිටදි බඩ රවටලා
ගේ වටේට දුව දුවා කැව්වා
අම්මා බත්පිඩ අන අනා

කෙම් බිමක වැසි සොයා ගැනුමට
මතක පොත යළි පෙරලලා
ආ මගේ පිපි මල් දිහා දැක
තවත් අඩියක් ළං කළා
...
කන්ද උඩ පොඩි පාසලට ගිය
පාර තවමත් තියෙනවා
සද්ද නොකරම පුංචි නා දළු
තවම අපි ගැන කියනවා

කවිය බලන්න
සඳ සහ සඳ එළිය..

සඳ සහ සඳ එළිය..

සුනේත්‍රා අලුත්දුන්නෙ මාතලේ

පැවසුවේය ඔහු
සඳ එළියට කැමති බැව්

එවිට පැවසුවෙමි මම
සඳ මට ප්‍රිය බැව්

එසඳ ඇරඹුණි
ඒ සංග්‍රාමය

සඳ එළිය මිරිඟුවක් බැව්
පැවසුවෙමි මම ඔහුට

සඳ ද අස්පර්ශනීය බැව්
එසඳ ඔහු පැවසුවේය මට

සඳ එළිය සදයි සුව
අඳුර පලවා මිහිමත
සඳ එළිය ගෙන දෙයි
සිහිල අපමණ
සඳ එළිය අඳියි අඳුර මුසු කොට
රටා දළ පොළෝ පිට
සඳ එළිය පුබුදයි සුසුදු මල්
රැයට ද
සඳ එළිය තවරයි
නිද්‍රාව නෙතු අග

"ඔබ සඳ එළිය"

ඔහු මිමිණූ සඳ

"ඔබ සඳ " මිමිණුවෙමි මම ද

සංග්‍රාමයේ කෙළවර.

කවිය බලන්න
නිර්මාණී

නිර්මාණී

ස්වර්ණා කාන්ති පෙරේරා වේවැල්දෙණිය

සියපතක් නොවෙමි
එක් පෙති මලක්. වෙමි
දෑසින් රූ. පෙරමි
ලොවම කුල්මත්. කරමි

සොඳුරු දේ සිතට. දෙමි
මා එතැන. හිදිමි
රුදුරු දේ නෙතට. දෙමි
මා එතැන. නොඉදිමි

සද පහන මග. හරිමි
ගල් පිළිම හා හුස්ම. ගමි
ලෝකය. නොවිමසම්
නොකිසිවක් හා. ඉමි

රැයෙන් දහවල. දකිමි
නරකයෙන් සුරලොව. සොයමි
සිත පුළුන් රොදකට. දෙමි
මම මගේ කලාකරුවා වෙම්

කවිය බලන්න
සූරියකාන්තියේ

සූරියකාන්තියේ

වෛද්‍ය සමන් ජයමාන්න කඳාන

ඔය

සුමුදු වත

ඉවත හරවත

බෝ දුරු මඟ ගෙවා

සීරුවට ඇදෙනු ඇත හොරා

නුඹ හැරුණු අත වෙත

අන්න

ඉරත් !

කවිය බලන්න
පොසොන් වත

පොසොන් වත

සුමිත්‍රා ආරියවංශ මහනුවර

සිරිලක දනන් දෙටු පෑතිස් රජ
දවස
සැප යයි සිතා සිටියදි කෙළෙසුන් පහස
පරලොව මෙලොව දෙලොවෙහි සුගතිය පිණිස
අනු බුදු සමිඳු නිමුවා සදහම් පවස

පිරිවර සමග ඇදෙනා කල මුවන් පස
තිස්සය ඇමතුමකි ආ ගිරි කුලෙන් උස
අනු බුදු සමිදු දුටුවෙන් රජු නමා හිස
සසලව දණීන් වැටුනේ සිත කෙලෙස් පිස

හෙළදිව සොඳුරු වනයක අඹ තුරෙන් වට
සුමදුර මුණිඳු බණ පදයක් සවන් බට
මිසදිටු දහම අත් හළ රජු එතැන් සිට
බොදු මග විවර කොට තැබුවා දනන් හට

එදවස මිහිදු හිමි මෙදියත නොවන්නට
මුණි බණ නොදැන කම් සැප විඳ මගෙන් පිට
අඳ වූ ලෙසින් පෙරදැරි පව යමින් සිට
අදටද දුබල මිනිසුන් අපි බවෙන් යට.

Digana

කවිය බලන්න
වැලඳ ගත්තෙමි ආදර දියකඳ

වැලඳ ගත්තෙමි ආදර දියකඳ

සුනිල් මෙන්ඩිස් මීගමුව

වෙහෙසකර දිවියේ
විසිරුණු සිතුවිලි
කරපින්නා ගෙන
අතරමංව ඇවිද යන
මොහොතක
හදිසියේ හමුවුණු අඩි පාරක
පියමං කරනා විට
දැකගත් දසුනකින්
ජීවිතය කිමෙක්දැයි
⁣නොදැනුණු මොහොතක ....
ඔසවා පියවර සෙමින් සෙමින්
ඇවිදින් එක් කඩඉමකට
නිමග්නව කල්පනාවේ
රැගෙන ගියා මතකයන්
ලැබූ ඒ වේදනාකාරී ආදරේ
තලමින් පෙළමින්
කඳුළින් නෙත් නිතර පිරවූ

දුකක්ම වූ ප්‍රේමය .......
අසයි සිත සෙමින්
යන්දෝ ඉන්දෝ දැන්
සිතාගත නොහැකිව
බැලුවේ පහළ
දුටුවේ ආදරයෙන් පිළිගන්න
බලා සිටිනා දියකඳ
නොසිතා කිසි මොහොතක්
වැලඳ ගත්තෙමි
සෙව්වාවූ
ඒ ආදර දියකඳ ............

සුනිල් මෙන්ඩිස්

කවිය බලන්න
ඒ අඹ ගස් නොවෙන වෙන අඹ ගසක්

ඒ අඹ ගස් නොවෙන වෙන අඹ ගසක්

සුනිල් ලීලානන්ද පෙරේරා රත්නපුර

පල රස බලා අකුලට හල අඹ ඇටය
යල මහ පුරන් කුඹුරක පැලවූ සැටිය
වලකන සිතින් පැලයක වැඩෙනා සිරිය
කලවැදි අතක් මන්නෙන් කඳටම කෙටිය

කලින් කලට දළු පත් සළු පොරෝගෙන
තුටින් අඹ පැලය අතු අත් විඳාගෙන
දුරින් එන විහඟ කවි ගී කියාගෙන
බලන් අසිරි නෑඹුල් මල් පුරාගෙන

දහවල් දවස විහඟුන් රැස්වෙන සබය
අවකල් කෙලින ලේනුන් සරණා පිටිය
නිසිකල් බලා අතු අග සදනා කුටිය
කල් යල් ඉකුත් මා නෙත් ලබනා සුවය

මුලින් ඉති කොනක හිනැහුන මල් රෑන
කොලෙන් කොලේ සැගවි ඉගිබිගි පාන
කනින් කොනින් අස පැසෙනා අඹ රෑන
හොරෙන් ඇවිත් කලවැදි ගස අතගාන

පෙර කලකදි මන්නෙන් කෙටුවත් නපුරු
කරබා සිටි අඹ කඳ පහසකි නුහුරු
දුරසිට ගෙනා කෙක්කෙන් ගාමින් පහුරු
සොර අතකින් නෙලයි අඹ ඉත්තම මියුරු

පල සිදි අඹ පැලය විලියෙන් මදෙස බලා
කොල අතු සලා මට ලෝ දම් මතක් කලා
අල කොල පුරන් යායේ පත් කඳුළු සලා
"කල දැක වල නොසිදි ගොංකං" විසුලු කලා

කවිය බලන්න
කමළිනී

කමළිනී

සරෝජනී දිල්රුක්ෂි පෙරේරා

මුතු දසන් යන්තමින් පෙනෙන මඳ සිනාවේ
සෙමෙන් සැලෙනා නිතඹ, ගමන හා ලතාවේ
සිත පෙමින් පිරි මදින, නෙත ඇඳෙන කතාවේ
කමළිනී දෙවඟනකි, මහද තව්තිසාවේ

කිකිනි බැඳි නූපරේ හැඬවෙනා රටාවේ
පිච්ච් මල් කැකුළු හිස, සුළඟ සිප මුවාවේ
කොකුම් තිලකයට සඳ පරදිනා වෙලාවේ
නුඹ එක්ක මගේ සිත දුර ගමන් ගියාවේ

සංහිඳේ යාතිකා හඬ ඇසෙන නිශාවේ
කමළිනී නුඹෙ දසුන තල් වැටෙන් නිමාවේ
මෝදුවෙන පෙම් හැඟුම් විඳිමි හුදකලාවේ
ගිනි බිඳින හදවතට වසන්තය පමාවේ

කවිය බලන්න
ඔවුහු මෙසේ පොසොන් සැමරූහ....

ඔවුහු මෙසේ පොසොන් සැමරූහ....

තේජා රාජපක්ෂ ෂිආන් චීනය

මිස්සක පව්ව නැග
මිග රැල සොයා ගොස්
දුව පැන හතිලා වෙහෙසව
රථය නවතා මග කොනක
කෙළි කවට සිනා මැද
රිසිසේ විඳින්නට දන්සැල් බත
ගෙවයි පෝලිමක වරුවක්

සාගිනි පැළැදි දුගී පැලකට
දන්හලක උණු බතක රස
පින් පිරූ දිනක හෝ ලබන්නට
නොතබමින් ඉඩ හසර..

මිසදිටු දනන් දහමින්
පණ පොවා යහමින්
නෙක කලා දායාද කොටදී
මහරු ශිෂ්ටාචාරයක ඇරඹුම
සැමරුවා ඔවුහු
මහත් සතොසින් මෙසේ...

කවිය බලන්න
ගමනාන්තය

ගමනාන්තය

තුෂාරි ජයසිංහ මහනුවර

දුටුවෙමි කඳු මුදුන්
ගත දැවටි සුදු සේල උනනා
කෙත් වසා වැතිරී
ඒ සේල වැළපී හැඬුවා
නිල් තුරු වදුලු සිප
හිරු කිරණින් නහවා
ආ ගිය මතක
කුරු මිනිසුන් සේ පෙනුණා

දහසක් කරුණු සඟවාගෙන
බෑවුමක
පිරිපුන් දිය දොලක් ගැලුවා
පහලකට
හිරි පොද ඉහෙන විට
මහ ගල් තලාවට
නොදැනී කොහොම
සීතල මහ දවාලක

පසුවන ගමක් ගානේ
සුන්දර මතක
තැන තැන තැබිමි සඟවා
යළි නොගන්නට
ආ ගිය මගක තැවරී ඇති
සුවඳ පොද
දැණුනොත් ලිහා බලනට
හැකිවෙයි දිනෙක

බිඳී ගිය සිතක පොඩි කැබලිති අලවා
අත ගා පළුදු පිරිමැද හසකැන් සඟවා
අනිමිස ලෝචනය දෙනෙතට හුරු කරවා
එමගෙහි යළිත් මම නම් තනිවම ආවා

2025.05.04.

කවිය බලන්න
කරගැටට රළු වුනෙම  අත් නුඹෙයි අප්පච්චි...

කරගැටට රළු වුනෙම අත් නුඹෙයි අප්පච්චි...

උදයංගනී විජේරත්න

කරමතට දිවියෙ බර
ගත් රජුයි වෙහෙසිච්චි
සෙනෙහසට දරු පෙමින්
තත් හඬයි පේවිච්චි
මතු දිනට සුබ සිහින
නෙත් මැදයි ඇහැරිච්චි
කරගැටට රළු වුනෙම
අත් නුඹෙයි අප්පච්චි....

නැඟෙන විට පෙරඹරින්
හිරු කිරණ බේරිච්චි
රිදෙන පය අද්දමින්
වැඩ බිමට පිටවෙච්චි
දැනෙන රළු සරතැසින්
මුළු ගතම නෑවිච්ච්
බැඳෙන හැටි දරු පෙමින්
දැනෙනවද අප්පච්චි....

දිනන දින මතු සසර
වෙන්න පුතු රාහුලම
තියනවද නෙතු අතර
ඉන්න ඉඩ මා වෙතම
නිවන හැටි රුදු කතර
පින්න ඉස පා සෙතම
මුමුණමින බුදු සුතුර
දෙන්න ඔබ සේසතම....

✍️... උදයංගනී විජේරත්න.. ගලේවෙල

කවිය බලන්න
🗙