යළි පිරවිය නොහේ ඔබ හැර ගිය හිඩැස

යළි පිරවිය නොහේ ඔබ හැර ගිය හිඩැස

නිශ්ශංක දිද්දෙණිය

සමුගෙන දිවි සැරිය නිම කළ ලාලිනිය කැප කළ දසක හය තුළ සිනමා දිවිය හඬවා ගැලූ ජන ගඟ නිළි රාජිනිය යළි නෙත ගැටෙනු නැත පෙම්බර මාලිනිය මුතුවන් දසන් පාමින් සෙන සිනාවට දුටුවන් වසඟ නොවෙතැයි කියනුව කුමට තිරයෙන් රිදී දකිනා පෙම් රඟ රුවට කඳුළින් වසන් කළ තතු කිව හැකි කාට පිය මැන කරළියේ රැගුමින් නොරත රත අසුවුණු අකල් වැස්සෙන් හැඩ කෙරුණු ගත බැබළුණු රන් වතින් ගෙතු සල රූ දිමුත මල්දම් කිත් ඉසුරු ලැබ පසිඳුව දියත රැගුමන් පෙළහරකි මහ තිර මත වපුළ දිවමන් අතැඹුලකි එය ඔබ හට විපුල හැර අන් නිළි මිණක් නැත ඔබ වන් පතල අභිමන් මහමෙරකි සිනමා කෙත විසුළ බඹරෙකු ඇවිත් රොන් අරගෙන ගිය ලීලේ ඔබ ඔහු නොව ඔහු ඔබ නොව කී තාලේ ගී අරුතින් මතු කළ සල රූ ආලේ නො සිතූ ලෙසට වී දෝ දිවි රඟමඩලේ 2025.05.30
කවිය බලන්න