2021 සැප්තැම්බර් කලාපය
ලන්ඩනයේ සිට මුදා හැරෙන ශ්‍රී ලාංකේය කවි සරණිය
ලන්ඩන් කවි 6වන වෙළුම

2021 සැප්තැම්බර් කලාපය

ඉටු දෙවියන් පුදාගෙන දවසට දෙවර සැරසෙන නමුදු නැත දුක් සිතුවිලි ඉවර මින්පසු ඇති වෙයිද පිළිසරණක් කවර අයියෝ අගනුවර අයියෝ අගනුවර

විල්සන් හෑගොඩ

1943 සැප්තැම්බර් (අම්බපාලී කාව්‍ය සංග්‍රහය)

සංස්කාරක: අනුර හෑගොඩ
Editor: Anura Hegoda

වෙබ් අඩවි නිර්මාණය: තරිඳු රාජකරුණා
Web Admin: Tharindu Rajakarauna

පටුන

“උපදේශ කවි” අනුර හෑගොඩ Anura Hegoda

විසල් හදක කවි - ත්‍රිකාල නර්තකී

විසල් හදක කවි - ත්‍රිකාල නර්තකී

රවිබන්ධු විද්‍යාපති

ඝන නිල ගගන ගැබ සිසාරා
නැඟි ගැඹුරු බෙර හඬ පලා
විවර වන්නී ඈ සබවෙත
තියුණු ත්‍රිකාල නර්තනය සමඟින්

ලොහො පිළිමයක් සේ නටරද දෙව්
කළු පැහැ රැගත් සිරුරින්
රඟන්නී ඈ අතීතයේ නට විලස්
අති විලම්භ ලය මානයෙන්
පිරිමදියි මැදි ලයෙන් වත්මන
ලැසි නැටුම් සුමියුරු ගම්භීර විලසින්
පුපුරවයි දෘත ලයෙන් විදුලිය විලස්
රුදු තාණ්ඩවය එළැඹෙන සමය වෙනුවෙන්

විටෙක නටයි තාණ්ඩවය පිය උරුමය ලත් විලසින්
විටෙක නටයි ලාස්‍යයම මව් පස උරුමය සමගින්
තවත් විටෙක දෙමුහුව ගෙන නටයි අර්ධනාරී මෙන්
නටයි ගයයි වයයි තෙකල් නර්තකි උමයඟන වෙසින්

(උපේකා චිත්‍රසේන ගේ සත්තෑවන ජන්ම දිනය වෙනුවෙන්
ලියන ලද කවි උපහාරයකි. චායාරුපය; ලක්ෂ්මන් නඩරාජා )

2021.05.19

කවිය බලන්න
කොණ්ඩ කිරිල්ලී

කොණ්ඩ කිරිල්ලී

නිමල් අබේසිංහ කඳාන

කොණ්ඩ කිරිල්ලියක් ඇවිත් මගේ ජනේලෙට
කන්ඩ දෙයක් තිබෙනවාද අසනා විලසට
චණ්ඩ විලාශයෙන් කොටයි එහි වීදුරුවට
එන්ඩ එපා යැයි කියන්න හිතෙයිද හිතකට

ඔය විදියට කෙටුවෝතින් කැඩෙයි චූටි හොට
ඒ අස්සේ
විපරමකිය බලමින් වටපිට
දෙන්ඩ දෙයක් නැතුවාමත් නෙවෙයිනෙ මාහට
කොණ්ඩ කිරිල්ලියෙ ආසයි මම ඔය රහසට
දෙන්න තිබෙන දේ දුන්නොත් මාගෙන් උඹලට
එන්න හිතෙන එක සත්තයි දවසේදිත් හෙට
ඔන්න ඔහොම බලන්නෙපා කෙවිළියෙ තරහට
ඇන්නයන්න කිරිල්ලියේ රිසි දේ හනිකට

කොන්ඩෙ හදයි කිචි බිචියයි පොඩි හොට උල්කොට
යන්ඩ හදයි ටිකක් රවයි වාගේ තරහට
ඉන්ඩ තැනක් තිබෙනවාද අසනා විලසට
කොණ්ඩ බැඳපු මම මොකටද තිරිහන් උඹලට

බොන්ඩ මධුර මල් පැණි වැල් ආවත් දුරු රට
ගන්ඩ සුදුසු දේවල්වත් කිසිවක් නැතිකොට
එන්ඩ ඕනැමලු මේකිට මගෙ ගේ ඇතුලට
කොණ්ඩ කුරුල්ලා ආවොත් කෙළියකි මිහිපිට

ඉන්ඩ තැනක් නැතුවද කම් නැතැයි කියන්නේ
කන්ඩ බොන්ඩ නම් කිසිවක් එපැයි කියන්නේ
උණ්ඩ වගේ වදනින් දෙසවන පුරවන්නේ
"හුස්ම ලඟට දෙක ඕනෑමලුය බොලන්නේ "

ඉන්න නොදෙන තරමට දැන් ඇයගෙන් කරදර
දුන්න වෙලාවට ගන්නේ නැතැයිලු බර බර
පින්න වැටෙනකොට පිබිදෙයි කැකුලින් සර සර
ඔන්න ඉතින් විවර කලා මගේ කවැටි දොර

කවිය බලන්න
මව් සෙනෙහස

මව් සෙනෙහස

ඒ. එම් .අබේසිංහ බණ්ඩා මහනුවර

දසකඩ මසක් කුසතුල මා හොවාගෙන
අපමණ දුකක් මා වෙනුවෙන් දරාගෙන
සිතතුල බියක් නොතබා පසු නොබාමින
සුන්දර ලොවක් ඇත දැන් ඔබ දිනාගෙන

නියඟපිට නියඟ ආවත් මිහිමතට
නොදැනෙන ලෙසින් මහසයුරට
විඳගෙන දුක වුවත් සතුටක් ලෙසට
සෙනෙහස පිදුවෙ ඔබ මහමෙර ලෙසට

මා වෙනුවෙන් ඉපදුණු දරු සෙනෙහසට
ගතේ රුහිරු හැරුනේ රන් කිරිවලට
සමනොමවේ මේ ලොව අන් කිසිවකට
අම්මේ ඔබ මට දුන් සෙනෙහසට

පැමිණිදා පටන් මා ඔබේ කුසතුලට
ඉවතදා සිතින් අන් සැප මුල්ලකට
බිහිවූදා කුසින් ඔබෙ පුතු මේ ලොවට
සතුටින් සිනා පෑවේ මා තුරුළුකොට

කවිය බලන්න
අප අපේ මයි නොවේ රහසක්

අප අපේ මයි නොවේ රහසක්

ලියෝනි අමරතුංග කැනඩාව

කතර දිවිමග තනිවි සිටිවිට
හමුවුනේ ඔබ ලෙසට කවියක් ...
නොසිතු විලසට වුනේ කිම මට
සදා නොබිඳෙන සෙනෙහෙ සවියක් ...
සුහද පෙම්වත නොයන් කිසිවිට
හැර දමා සිදු වුනිද වරදක් ...
සසර සරනා තුරා වේවා
හදවතට සුව ගෙනෙන සිසිලක් ...

යනෙන මඟ තොට නිතර හමුවී
එයින් ලැබුවේ අමිල සතුටක් ...
ඇඟිලි ගනිමින් සිහින මැව්වේ
එක හැලියෙ බත ඉදෙන දවසක් ...
පෙමට එරෙහිව කොතෙක් ආවත්
සතුරු උවදුරු සමඟ කඳුලක් ...
සපත කරගමු වෙන් නොවන්නට
අප අපේ මයි නොවේ රහසක් ...

මුවින නෙක කට කතා පතුරා
දිනූ කිසිවෙකු ඇතිද මෙතුවක් ...
කෙලෙස වැටකොටු දමා සිරකර
තබමු හදවත උපන් ඇල්මක් ...
ලතැවුලෙන් හද තෙරපනා සඳ
ලොවට සැඟවී හිඳිමු මොහොතක් ...
සොඳුරු ලෙන්ගතු වදන් හමුවේ
වුනි මෙමා පෙම් ලොවේ රැජිනක් ..

කවිය බලන්න
When my daughter was little

When my daughter was little

I used to take her out to show the night

First she keeps her lip tight

Then begins to ask questions so bright.

"Who hung the Moon there in the Sky?"

"God"

I used to say after thinking a while

"Why is his lamp blackend, a slight?"

because of the lampblack I used to say

though they were big lies,

"Where all these flying lights come from?"

"From the Stars that glimmer in blithe ".

"Who gave me to you?"

"God , he created you with his all might"

When she grew up and had a baby nice

She streached out it to me with an impish smile,

"This is the baby ,god created with all his might ,

the god just now went out, to register the birth of his child .

කවිය බලන්න
අකම්පිත  අරහත් සිත

අකම්පිත අරහත් සිත

මහාචාර්ය ටී .එස්. අබේවික්‍රම ලන්ඩනය

වෙරළ මෙන් නිසල වෙන රළ පහර වැදි වැදී
අකම්පිත රහත් සිත නිවී සැනසී ඉදී
රලු කරලු ලෝ දහම නිරතුරුව සසල වේ
මඩ දියේ ජනිත වී ඒහි වැඩෙන නෙලුම් මල
එ දියෙන් මතු වෙලා ඒහි නොගෑවී පිපේ
රහත් සිත ඒ් වගේ සමාජයෙ සිටියදී
සමාජෙන් නොකෙලෙසී නිවන් සුවයෙන් නිවේ

කවිය බලන්න
රණසිංහ ආරච්චිගේ  විල්සන් හෑගොඩ  නම් වූ කවියා

රණසිංහ ආරච්චිගේ විල්සන් හෑගොඩ නම් වූ කවියා

ගත් කතු, සංගීතඥ මාලපල්ලේ කුමුදු අමරසිංහ ලන්ඩනය

රණසිංහ ආරච්චිගේ විල්සන් හෑගොඩ නම් වූ කවියා
මාලපල්ලේ කුමුදු අමරසිංහ දුටු වගයි...

(සැප්තැම්බර් මස 13 වන දිනට යෙදෙන 37 වන අනුස්මරණය වෙනුවෙනි )

තුඩ-තුඩ නම රැදෙන බටුවන්තුඩා වේ
බලකොටුවකට නම ගිය පුර ඉසව් වේ
“හින්නි-අගිඩ” හිරු-සඳු මව්-පියන් වේ
ඉපැදුණු පුත් කුමරු ගැන කවි සුරල් වේ

රණසිහ ආරච්චිගේ යන වාස ගමි න්
හින්නි අප්පුහාමි ද හෑගොඩට දෙමි න්
අගිඩ හාමිනේ රජපක්ෂයට වෙමි න්
ඉපැදුණු කුමරු “විල්සන් හෑගොඩ”වෙ නමි න්

පියදස්-ධර්මදස් දෙදෙනා සහෝද ර
මාලිනි විය නමින් පියකරු සෙනෙහෙබ ර
හැදුණේ එගම් පියසේ විය පබාක ර
අහිමි ව ගියා ඔහු පියතුම අවාක ර

ඉන්පසු ඉගිල්ලුණි පුරවරයෙන් ගා ලූ
මව් - නැගනිය - සහෝදර සමඟින් යා ලූ
ඇවිදින් කොළොම්තොට දැක හදවත නෑ ලූ
මෝදර වුණා පියසක යට වූ පා ලූ

සිටියදි ගාල්ලේ මෙතොදිස් සිප් මැදු රේ
ඉංගිරිසිය උගත්තේ “කජු කන” පැදු රේ
රජ අබිසෙක පුරයි මුල් හෙළකම වැති රේ
මෝදර “අනන්දය” විය පසු කල මිතු රේ

මෝදර පිටිය අත හැර ආ පිටියක ට
“කොල්ලු” කියා තවමත් කියැවෙයි ඊ ට
තද-බද ගතිය තිබුණත් එතැනින් එපි ට
ගියෙ නැහැ හිටියෙ එතැන ම සන්තෝසය ට

බොදුදම සාහිතය හෙළ වියකරණෙ වැ දී
සිරිසෙන් පියදස්ස පි.බි. අල්විස් එ මැ දී
තරගෙට-උරට-උර කරට ම කර ම දි දී
ලියු කවි ගණන් හැදුමට මගෙ දැණුම ම දී

“කොළිල හටන” මුල “කඩුපුල්” ගැන විත්තී
“අම්බපාලි” කව් පොත් පිළිබඳ සිත් තී
ජය ලද තෑගි ලෙස රූ-පෙට්ටිය බුක් තී
වින්දයි එ ද දිවියෙ ලද මැණිකකි මුක් තී

සේයා රූ - කරණ මුදලක වැඩි අග ය
ගත්තැයි එ දවසේ කළ නොහැකි ව මඟ ය
එනමුදු බැඳී ආරක්ෂක බල ඇණි ය
මඟ පෙන්නුවේ මැතිඳුට දී අනුමැති ය

රට-රටවල ඇවිද ස්කොට්ලන්තෙ පවා
බෙල්ජියමෙදිත් දක්වා හැකියාව හුවා
නම ගත් පිට-පිට ම සම්මානයෙන් දොවා
අවුරුදු පහ පුරාවට හැ‌මෙකෙකු ම දවා

එකදස් නමසියේ තිස් හය වන වරු සේ
පෑ දස්කමට ලද රූ - පෙට්ටිය අස් සේ
සැඟවී තිබුණු උපතින් ලද හුරු ඔස් සේ
ඔපමට්ටම් කළා තව දුරටත් දස් සේ

එකදස් නමසියේ තිස් අට වැනි කාලේ
යුක්තිය පසිඳලන්නට බැඳුණයි රාළේ
සේවය දරුණු මැරවර මිනිමරු දෑලේ
ගෙවුණැයි රූප ගන්නට පොලිසියෙ තාලේ

එකදස් නමසියේ හැට සිට - හැට පහ ට
එක-දෙක-තුනට ලද සම්මානෙට ඔහු ට
හැත්තෑ හය “එපික්” - හැත්තෑ හත උස ට
ලැබුණේ “බෙල්ජියමෙ” සම්මානෙත් රස ට

“සී.අයි.ඩී.”යෙ නම ගත් රූප - ශිල්පියා
මොහු විය කැන්දා ගන්නේ වැඩ - කාරයා
අවැසිය පරිද්දෙන් නුවණට හැඩ ය - තියා
කෙරුවයි යුද්ධ රූ නැඟුමට වැඩ ය - කියා

කෑම - බීම දෙක - එක රජකාරි ය
යෑම - ඊම ලොකු-ලොක්කන්ගෙ බාර ය
තාන - මාන නොතැකුව මොහු සාර ය
වාස - දේස “පොලිසිය” නැමැති පාර ය

තිස් පස් වසර නියුතු ව පොලිසියට වැදී
අස්-පස් කරන්නට මංකොල්ලයක සැදී
“හාරලක්සෙ” මගෙ මතකෙට ගෙනත් දිදී
අමුණන්නට සිතුණි තව-තව සුරල් පැදී

“වයිට් හවුස්” මංකොල්ලේ දෙවැනි ඇතී
“හාරලක්සෙට” ම වාගෙයි හිතට තැතී
“ඝාතන රැල්ලකට” මුල පිරු සමයෙ කැතී
කොපමණ රූප ගත්තෙ ද හිතකවත් නැතී

“ආසියාවෙ රිදි සීනුව” කියූ එදා
සහසිකයෙකුගෙ වෙඩි පහරට බිළි වි නිදා
මරු ගෙන ගියෙන් “සොලමන් රිජ්වේ” දිවි දා
සදහට නිහඬ කළෙ “සීනුවෙ” නද සිඳ දා

ඒ “මිනිමැරුම” සහසුද්දෙන් ගළපන් න
සහයයි දුන්නෙ විල්සන් හෑගොඩ දන් න
රූ ගත කරන අටියෙන් ඡායා ගොන් න
ගත්තේ පොලිසියේ අවැසියට ම මැන් න

විල්පත්තුවේ තව “මිනි මැරුමක්” වූ යේ
සිත් ගිනි තබා “ඇඩ්ලින් දිවි” නිම වූ යේ
අසරණ වුණේ දරු-දැරුයන් ම ය දා යේ
“විතරණ” නො එන මඟ සැදුවන් නැත ආ යේ

කොයි “මිනි මැරුමටත්” නැතුව ම බැරි කෝණ
විල්සන් හෑගොඩගෙ “කැමරා නෙත්” මාණ
සැඟවුණු රහස් මතුකොට රත් ගඟ පීන
ගත් විරු නුඹ ය අප’තර නොපෙනී - පේන

රටකට වැඩැ’ති පුතෙකුගෙ දෑත ම ගන් න
“නන්දාවතිය ජයවර්ධන” සිත දුන් න
“රූබසිංහ” පරපුරෙ නම - ගම ඉන් න
හිටිය ද වෙන කෙනෙක් හැර ඔහු ගැන දන් න

එක - දස් නමසියේ හතළිස් පස් වස ර
එක - ලස් කරවමින් දෙහිතක පෙම් පව ර
දියතොස් කරන්නට සුදු-මුදු මල් තම ර
පිය - වස්සානෙ කළතා අසිරිය සම ර

ගිහි දිවි ගෙවන හෑගොඩ කවියගෙ පිරි ය
පිපි මල් හදෙහි පීදී කැකුළක සිරි ය
නිති දැල් වුණා එසවූ දිවි ජය කොඩි ය
සකි සඳ කියමු පීදුණු මල් කෙමි පැණි ය

පාලිත - නාලිනී - සිරිමති - ප්‍රදී පා
ලාල් - අනුර කවි මඟ ගත් සැදී පා
පියතුම ගිය මඟ ම ගති පුතු දිදී පා
ගුරුකම - හුරුකමට ගෙන කව් නදී පා

කිව යුතු දෙයකි වෙසෙසින් පුතු දෙදෙනකු ගේ
“ලාල්-අනුර සංයෝගය” දැනෙන අ ගේ
කවියට එහා ගිය යුග්මය “දෙඅත්” ව ගේ
නම ඉහළින් තබයි අදටත් යමින් ම ගේ

මුදලට ගන්න බැරි සහතික පසෙක තබා
සොඳුරු කලාවට අත-හිත දෙනු ව පබා
කැළණි පුරවරයෙ මහ සරසවි‌යෙ සබා
ගුරු පරපුරට ඇදුණැයි හැඳ නැණැසෙ කබා

බුදු බණ අසා බුදු චරිතය හැ`දින ගෙන
හුදු ජීවිතය කටුක ය නැත සුවය දෙන
මුදුකම් තිබූ මුත් දිවි දුර මඟක වෙන
රුදු බව කාට කිව හැකි වෙ ද ගමන මැන

සියොළඟ නැඟුණු දුක් ගිනි හද කොණක දමා
සිය දූ-පුතුන් පිය සොඳුරිය අතැර දමා
කව්-ගී ලියූ සොහොයුරු-සොයුරියන් දමා
කිම ඔබ ගියේ කව් පරපුර මඟ දි දමා

කස - කස ඔළුව - තැන - තැන කිව් සිවු පැදි ය
වස - වස කියා හංවඩු ගැසු හෙළ කවි ය
රස - බස අනා අගනුවරින් දුන් සවි ය
අත - කස එක් පියකු විල්සන් හෑගොඩ ය

පීටර් පෙරේරා - අල්විස් පි. බී. හා
කපිල සෙනෙවිරත්න ද ටිජි ඩබ්ලිව් සිල් වා
කුඩලිගමත් - අල්විස් ආතර් දෙන් නා
හෑගොඩ සමග අතකස කවි මල් හැදු වා

පියදස් සිරිසෙන් නොසිටියෙ නම් මිතුරේ
විල්සන් කවියෙකුත් නැහැ එහෙනම් මිහිරේ
පීටර් පෙරේරා සමගින් කවි පොකුරේ
"අමුර්තයක දහරා" කවි පද විසිරේ

ඇගිලි සලකුණ ද ඔපයට කලාව ට
ඇවිලි යන්න ගෙන ආ රූ රටාව ට
"විදිලි කෙටිය" ගෙන මොහු කැමරා ඇස ට
රිදිලි දුනි හොරුන් හා මිනිමරුවන් ට

මුදල් - හදල් ගැන නොතකා හැබෑව ට
නොමිලේ ඉගැන්නුවෙ ශිල්පය මනාව ට
සිසු ශිල්පියන් ශිල්පිනියන් වසගය ට
ගත්තේ හෑගොඩයි තම කැමරා ඇස ට

දැය දරුවන් හිටිය කවියට කලාව ට
ඔබ දැනුමෙන් බිඳක් ගන්නට හොරාව ට
උහුගේ මනදොළට බිඳකුදු මුලාව ට
ඉඩ නොතබමින් දුන් දරුකැළ මනාව ට

“අතසක” කවි මඩුව ඔබ නැති දිනේ පටන්
"විරසක” වෙලා හිටිය ලු පණ ගැනෙන තුරන්
කවියෙන් - කවිය අරගෙන නුඹ කරපු සටන්
සවිමත් වී තිබේ “අතසක” සුගුණ දමින්

කවියට වුව ද කැප පදවැල් එමට තිබේ
කඩුව ද මුගුරු- කිනිසිය පද තුළට එබේ
තැන-නොතැන ද ඇවැසි තැන නුඹ කුමට ගැබේ
පාවී ගියෙ ද මුදු සුළඟක් විලස ඉබේ

කිම මේ කවි සබාවට නැතිවා ද සිතක්
විම-සිලි වුණෙමි කිසිවකු දුටුවා ද වතක්
නිම කර නොමැති කොපමණ දෑ වේ ද මතක්
ගිම-නෙක සිසිල් පොද වී සැලුවෙ ද සුසුමක්

සරසවි සිප් බිමේ ලක් දරුවන් සොය න
කෝ අද පොලිසියට සේවය ඇවැසි වෙ න
සිප ගන්නට වතාවක් පිය සෙනෙහෙ දෙ න
දරුකැළ සොයයි විල්සන් හෑගොඩ ගෙ පණ

සුසුමෙක උණුසුමේ සැඟ වුණු ඔබෙ නාමේ
විමසුමකට සිතුණි මට කවියෙන් පේමේ
දැක නැති වුව ද පුතු ඇසුරෙහි සිත පෑහේ
ඔබ රුව දැක - අසමි හඬ “අනුරුව” සෑහේ!

මාලපල්ලේ කුමුදු අමරසිංහ වන මවිසින් විල්සන් හෑගොඩ
නම් වූ කවියා පිළිබඳ සුගැයූ “කවි කුමුද” ඔහුගේ නාමයට ම
උපහාරයක් ම වේවා!

කවිය බලන්න
අරුණලු

අරුණලු

ගත් කතු, සංගීතඥ මාලපල්ලේ කුමුදු අමරසිංහ ලන්ඩනය

නිදිගත් ලොව ළා හිරුරැස් ගොමුකොට
අවදි කරන සිරියා
සුන්දර හිමිදිරි උදෑසනේ
පැතිරෙයි අරුණලු පොබවා!
සහන් හැඟුම් සිත පුබුදනවා
නව දිනකට ලොව සැරසෙනවා...

අතු ඉති තණ බැඳි මුතු පිණි සනහා
මිණි කැට පරයන විලසට ඔප දා
හිරුරැස් හෙමිහිට දඟ ව නැගෙන සඳ
ඒ පිණි මිණි කැට වියැකෙනවා...

සොබා දහම සුන්දරතාව ද රැකි
අරුමය ඇති-නැති වන බව පැවසෙයි
එ වන් ලොවක දිවි බර ගත් අපගේ
අවසන් උරුමය මැනැවින් දනවයි!

පණ නම් කෙළෙස ද නොමැරි තියෙන්නේ
තණ අග පිණි ලෙස වියැකී යන්නේ...!!

කවිය බලන්න
චීවරය මහ බරක්... ඒත්

චීවරය මහ බරක්... ඒත්

නීතීඥ නෙවිල් ද අල්විස්

මුල් පේළි හතරක්ම මැති ගෝලයෝ ලගින
තව පේළී දෙක තුනක් මුදලාලිලාට පිදෙන
අනෙක් පේලියට නාහිමියන්ගෙ නෙත දුවන
සොහොයුරිය සහ මවය සිනාවෙන් මුව පිරුන

උත්සවය අරඹන්න වේලාවත් හරි බරය
මැතිඳු තව තැනක අගමැතිඳුන්ද ඇත එතැන
පෙර රැයම පිරිත් දෙසුමකට හිඳ කල ගෙවුන
නෙත් දෙකම පියවිලා පුටුවටම බර දුනින

නාහිමිගෙ සිත දුවන චීවරෙට පෙර දිනය
පියාණන් තම සොයුරු හා තමන් එක පෙළය
උදළු දෑතින්ම ගෙන ලියදි තර කල හදිය
මෑණියන් සහ ඇඹුල සොහොයුරිය හිස මතය

කලබලය ඇසුණු සැන යකඩ කට ගොර නඩුව
සැපත් විය මැතිඳුන්ද උත්සවයෙ නැත අඩුව
මහ හිමිට වැඳ වැටී සැප පුටුවෙ බර දැරුව
ගෝලයින් හත අටක් වටේටම උන් කැටුව

මැතින්දා සහ සමඟ නාහිමිඳු දොඩ මළුය
මැතිඳු දුන් ඇත් පැටිය නාඹරය සුරතලය
මළුව හැම දුව පනින ඌ තවම තනිකඩය
වැඩි නැතිය මුදලාලි දරණවා බර පැනය

ඉදිරි පෙළ හය හතම ජන පිරී අවසන්ය
මෑනියන් හා නැගනි නැගිටුවා හිටගෙනය
දොහොත් මුදුනේ තබා මෑනියන් සොහොයුරිය
පුතුහිමිගෙ පන්සලට සැවොම දුනි හරි බරිය

මෑණියනි ඔබ හිසෙහි පිහාටුවක හෝ නැත බරක්
පටිසෝත ගැමි ඔබට නැත සසරෙ වැඩි දුරක්
සිව් වරිග නෑයන්ම එතෙර වෙන පාලමක්
චීවරයෙ බර මෙරකි මටත් එය මහ බරක්

කවිය බලන්න
පෘතුගීසි කන්‍යාමාතාවගේ ලියුම - අනුවාදය

පෘතුගීසි කන්‍යාමාතාවගේ ලියුම - අනුවාදය

උදයංග අමරසේකර ප්‍රංශය

ඔබව සිහි කරවනු පිණිස
මට ලිපි නොලියන්න
නිසරු දේ
එහි සඳහන් නොකරන්න
මට ඔබව කිසිකලෙක
අමතක කළ නොහේ
මා හා ටික දිනක්
ගත කිරීමට එමි ය කියමින්
මට දුන් ඒ අපේක්ෂා පවා
මට අමතකව නැත
මාව සතුටු කරනු පිණිස
මෙසා වෙහෙසෙනු නොමැනවි
මාව අමතක කර දැමි ය යුතු බව
ඉදින් ඔබ නොදන්නෙහි ද ?

ගබ්රියෙල් ද ලවේර්ඤ්ඤ ද ගියෙර්රාග්

වෘත්තියෙන් මැජිස්ත්‍රාත්වරයෙකු වූ මහාමාන්‍ය ගබ්රියෙල් ද ලවේර්ඤ්ඤ ද ගීයේර්ග (Gabriel de Lavergne de Guilleragues,1628 Bordeaux -1685 Constantinople) එවක බලයේ හුන් කොන්ති (Conti) කුමරුගේ රජවාසල පිළිගත් රාජසේවකයෙක් වූවා පමණක් නොව බොහෝ ඇසූ පිරූ තැන් ඇති ලේඛකයෙකු ද විය. නමගිය බොහෝ සාහිත්‍යධරයෝ ඔහුගේ ඇසුරේ විසූහ. මොලියර් (Molière) රසින් (Racine) හා බුවලෝ (Boileau) ඒ අතර වෙත්. ගීයේර්ගගේ ලේඛන අතර වඩාත් ප්‍රචලිත පෘතුගීසි ලියුම් (Lettres Portugaises) නම් කෘතියයි. ඔහුගේ මේ කවිය පහත සඳහන් කවි එකතුවෙන් උපුටා ගැණිණ. E. Brami et E. Houdart, Poème à vivre et à aimer, Paris Ed. Seuil, 2005, p. 125. මේ හා පිහිටුවා ඇති සිතුවම එසේ ම සුපතළ සිත්තරෙකු වූ ඉඤ්ඤාස් බ්රීස් ගෙනි. ඊට අදාළ මූලාශ්‍රය මෙසේ ය : Ignace Brice, Nun with a book, 1866.

කවිය බලන්න
පිං

පිං

වෛද්‍ය ශානි ඇන්තනි ලන්ඩනය

පිං හොයමින් හරි හරියට තරඟෙට පිං
කරන ඇත්තො
මනුසත් බව පස් යටකර සිවුපා ගති
මවන ගැත්තො
මමත්වයෙන් බඩ වඩාන ඇඟපත සුව
විඳින ඉත්තො
කාසි නොවේ 'පිං' කියන්නෙ, හදවත
කකියයිද සත්තො

යටිහිත පිං පස්සෙ වැටී උඩුහිත බොරු
මවයි ඇපේ
පිං පසු පස හඹා යාවි 'ෆන්ඩ් රේසිං'
නම ගැලපේ
ඉල්ලීමම අපහසුවක් අනුන්ගෙ හිත්
හැලිය ලිපේ
හදගැබ උණු වී නැත්නම් ලුහුබැඳි පව්
කරයි හපේ

දකුණත දෙන දේ වම් අත නොම
දැනෙනු සොඳින්
අනුනට දුන් අත ගැන නොම ලොව
පතල කරන්
මිනිසුන් අතර නොමිනිස් වෙද
අනුකම්පා සිතන්
දෙන දේ සත් සිතින් නමුත් පිං
ගිජු වී නොකරන්

-20/08/21

කවිය බලන්න
බවෙන් බවේ බැඳුනාදෝ

බවෙන් බවේ බැඳුනාදෝ

සපුමල් බන්ඩාර ලන්ඩනය

අහසසේ දුර
පොලොවසේ බර
දරාගෙන ඔබ මාහා බැඳුනාදෝ

සිහින මාලිගා
කුමර කුමරියෝ
අතැර දමා ඔබ මාහා බැඳුනාදෝ

ගතින් ගත බැඳී
සිතින් සිත සිතී
යඳම් බිඳලමින් මාහා බැඳුනාදෝ

භවෙන් භවේ ඔබ
පැමින නොපෙනුනේ
උනුහුම ගෙනයලි මාහා බැඳෙනෙටදෝ

කවිය බලන්න
සුබ ආරංචියක්

සුබ ආරංචියක්

ලූෂන් බුලත්සිංහල

යන්තම් ඇහැ පියවුණා විතරයි
හඬ තලන්නට විය දුරකතනය
කණ තබා ගත් කල බැරි තැන නතරවුණි හැඬිල්ල
"සුබ ආරංචියක් කියන්නයි
කතා කළේ තකහනියේ "
මිතුරාගේ නොඉවසිල්ල
ගලා එයි දුරකතනය දිගේ

"ළමයට ඉස්කෝලයක් හම්බවුණා
එක හිස රදයක් ඉවරයි "

මගේ සුබ පැතුම් - කියැවුණා මට ඉබේටම
අපි සමරමු ජයග්‍රහණය අද හෙටම

"මන් නම් හිටියේ දෙගිඩියාවෙන්
ළමයා මුලින් හිටියේ - ලිස්ට් එකේ නමවැනියාට
ඒ ඉඳල අන්තිමේ ඉන්ටවීව් යනකොට
ලිස්ට් එකේ විසිහතරවැනියා "

එහෙම තමයි මේක ලංකාවනේ
හරි පුදුමයි - ඉතින් කොහොමද හදා ගත්තෙ

"විදුහල්පති ඉස්සරහපිටදිම
පළාත් සභා ඇමතිතුමාට ටෙලිෆෝන් කරල
කිව්ව මන් විස්තරේ
ඒක අහල එයා කිව්ව
දෙන්න කියල ටෙලිෆෝන් එක
විදුහල්පතිට
මන් දුන්න ටෙලිෆෝන් එක විදුහල්පතිට
එච්චරයි."

මාරයිනෙ.
මගේ විස්මය ගලායයි දුරකතනය දිගේ
උතුරා යන ප්‍රීතියෙන් මිතුරා
මගේ විස්මය සංසිඳෙව්වා උද්දාමයෙන් :
"මේ විදුහල්පති මේ ඉස්කෝලෙට ආවෙ
දඬුවම් මාරුවකට
පගාව අරන් අහුවෙලා"

28/08/2021

කවිය බලන්න
යොවුන් සිතුම්

යොවුන් සිතුම්

රේණුකා බණ්ඩාරනායක පර්ත් - බරහිර ඔස්ට්‍රේලියාව

දුටුවා ඔබ සරසවි බිම
කිහිප දිනක් නැගණියේ
එරටක සිට මෙරට පැමිණි
අහංකාර යුවතියේ

සිනාසුනා සුහද සිතින්
ඔබ ඉවතයි බලන්නේ
සුබ දිනයක් කී වදනට
පිළිතුරු නෑ කියන්නේ

මගේ හිතේ තරහක් නැහැ
පොඩි දුකකුයි තියෙන්නේ
හෙට උදයේ ඔබ හිනැහෙයි
පැතුම් සිතේ පිරෙන්නේ

කවිය බලන්න
පෙරුම් පුරණ අම්මා

පෙරුම් පුරණ අම්මා

බඹර තුඩු සිප ගත්ත
හැම රෑක පිපුණු මම...
කන්නගී නොවේ මැයි
පඬි රටම ගිනි තිබ්බ...
මගේ ලේ කැටියක්ම
කුස අතුළෙ හිර වෙච්ච...
දින ඉදන් දැරුවෙ මං
පදවියකි ගරු උතුම්...

මිණි මෙව්ලෙ මිණි කැටත්
හඩන තුරු බඹරින්දු...
මත් වුණේ හොර රහසෙ
මගේ රුව ලග රුසිරු...
උන් බැලුවේ රස උනත්
පිරුනු ඒ රණ තිසරු...
පුතේ නුඹ නිසාමයි
වැගිරුවේ කිරි බින්දු...

පිරිමි බොටුවෙන් ඇදල
ලේ උරාගෙන බීපු...
මෝහිනිය උනත් රෑ
සොහොන් පල්ලෙන් ආපු...
ගොරහැඩිම හිත් උනත්
මර බියෙන් තෙත් කරපු...
ඇයත් අසරණ මවක්
නැත දරුවා අත් හැරපු...

ඇඟ වික්කෙ කුසගින්න
පුරවන්න විතරමයි...
නැත කිසිම වස්තුවක්
ලොවේ නුඹ විතරමයි...
ජීවිතේ මම වින්දෙ
පුතේ නුඹ නිසාමයි...
දිනෙක මතු බුදු වෙයන්
මං අම්මා වෙනවමයි....

කවිය බලන්න
ගමන

ගමන

සුදත් දේවප්‍රිය කැලණිය

යා යුතුද මුදුනට
ගිර තරණය කර
සුව නොවෙද මේ බිම්කඩ
ගිමන් නිවනට

තරගයකි දිවිය
බෝ කදු නගින
නෙක මග යන නමුදු
එකම එක ඉමක
නවතින්නට වන

ලකුණු කර මායිම
දිනන නැතහොත් පරදින
අවර හිරු ගිලෙන්න පෙර
අන්තිම හුස්මත් ගෙන
ඉතින් නොනැවත දුවන..

දුව පැන නගින
හති වැටී හඬන
වෑල්ඩින් හදවතට
බර වැඩි නොවෙද මේ ගිරග

තරග කර කුමට
නවතා ගමන
සෙමෙන් ඇවිද යමි
තුරු පතෙක ,දිය මලෙක.
සුවබරයි නොවෙද
මේ ඇබිති බිම්කඩ ..

කවිය බලන්න
පණ පෙවීම හෙවත් තුරු පොරේ අයැදුම - කලාපුර 2021

පණ පෙවීම හෙවත් තුරු පොරේ අයැදුම - කලාපුර 2021

නිශ්ශංක දිද්දෙණිය

සිරිනා පරසිදු සිරිලංකාවේ ගල්කිස්සේ පෙදෙසක සොබනා
ඇසෙනා තුඩ තුඩ රැව්දෙන මුළු සිරි ලක පතළා කිතු ගොස නගනා
එ මෙනා අරුතින් අරුතට සිත කය ඇතුළට විදුලිය සේ දුවනා වටිනා
ගම්බිර කලා පවුල් වැසි නිවාස භූමිය වූ සොඳිනා

කාව්‍ය, නාටක, සාහිත, මී යැසි, නර්තන සිනමා නෙක ලෙසිනා
එ මතු ද නොව සෙවු මැජික් කලාවත් එක් වී කෙත් සුසැදී තිබෙනා
තමුන්ගෙ සැප දුක තුලා බරට ගෙන සිතා බලා සම සේ මෙරමා
කලාපුරය මේ සියලු දෙනා සොඳ එකාවන් ව විසඳුම් සොයනා

බෝ සමිඳුන් වැඩ සිටිනා මේ පුර පින්කෙත වී සරුදම් රකිනා
බණදම් දෙසුමද පුන් පෝ දින අත නෑර ම කරවති සියලු දෙනා
පොදු යහපත සලකා සැම පේ වී අගනා කටයුතු මෙහි කෙරෙනා
වෙසෙනා මෙහි සජ්ජන එක ලෙස නො මනා කටයුතු පිටු දකිනා

වටිනා නොයෙකුත් යහපත් කටයුතු සිදුවන මුත් මේ කලාපුරේ
නො මනා එක් සිදුවීමක විපාක සැම හද කලඹාලන අයුරේ
පැනෙනා අසරණ වී බලවතුනට ගැටළුව යොමුකොට යන අතරේ
විස්මිත වාදෙක පැටලුණි පණ ලැබ “බෝරුක්, සියඹල තුරේ පොරේ

සියඹලා සගයා :
පිය දුමිඳුනි බැතිමත් ජන ගණ නිතොර!
නෙක පුද ලැබුම් විඳ පිබිදෙන කලාපුර
උරෙ’නුර ගැටී ඔබ හා දිවි ගෙවන’ යුර
අපමණ වටී පෙර මා කළ පිනෙහි බර

බෝ සමිඳු :
කලණ සබඳ මා අස හිඳ දිවි ගෙවන!
රුවින ගුණෙන ලකුණින් නොම දෙවෙනි වන
එමෙන මෙපුර උපතින් සකි දෙටු බැවින
පුදන මාගෙ බුහුමන් පිළිගනු බැතින

සියඹලා :
දුමිඳුගේ උපත කිතුගොසට ද මුසුව
සැමගේ දැනුම ගැන සැක ඇත එහි අඩුව
මෙ මගේ සිහිය මතුවේ නො මැකෙන තරව
එ වගේ සදා අකුරකි සලමත කෙටුව

දුමිඳු:
මේ බිම පින් බිමකි මා දන්නා තරම
සුල මුල උපත ගැන බිඳුවකි මගෙ දැනුම
සුරැකුම කිතුගොස ද අබිමන් ලද උරුම
පෙළපත ඇසතු කුල වීම ම නොවෙ ද එම

සියඹලා:
ළා දළු විටප දෙක තුන ලූ බාල වියේ
පැදකුණු කර වැඳ ඔබ වට හිමිදිරි යේ
ගාථා මතුළ මැටි පහනක් දැල් වූ යේ
වියතෙකි මෙ පුර මා දුටු ජන සංගතියේ

දුමිඳු :
මතකය අවදි වනමුත් සියඹලා සකී
නො ම වැටහුණේ හරබර වියතාගෙ එකී
අපවත් කරනටත් සැලසුම් ලූ බව කී
දිවි ගැලවුණු මා එතුමා සතු පින කී

සියඹලා :
නිමල ව කලාපුර ජන්මය ලද සැටිය
පරසිදු රහස සඟවනු කිම පල නැතිය
කසු කුසු නෙ තැන තුඩ තුඩ කන් වැකි වැකිය
“අරිටු සියොත් කැල පින් ලැබ ගත යුතුය”

දුමිඳු:
පිටදුන් එදා සිදුහත් බුදු බව ම පතා
සුල මුල මෙ අප ගැන වෙන තව කුමට කතා
තුමුලා දියර බොර කරලෑවට කලතා
අසනා සිහිය මතුවෙයි මැඩ කියන කතා

සියඹලා:
හරිතය සිසිල දෙන රූ සර නාද ඇතී
විහිදුණු විටප තෙද බල පතුරුවන රුතී
පවුලක ඇසතු උරුමය හිමි වනස්පතී
එ නමුදු උස මහත තරමට ඵලය නැතී

දුමිඳු:
පිළිවෙත් ඵලය මිස ලොව්තුරු සුවය පතා
තිර නැති සිරුරු ඵල නො තැකුවෙ එ බෝස තා
නුනුවණ සිත් කලල පිස එන දිළිඳු කතා
නො මැනවි ඔ වැනි ළෙන්ගතු සගයෙකුට ඉතා

සියඹලා:
සමිඳුට වැඳුම් පිදුමට එන පිරිසට දුට
මගෙ ඉරිසියාවේ වග පල දැනේ මට
සමිඳුගෙ අසල නො වැඩී අන් තැනෙක සිට
සැලකුම් ලැබේවි ද පලබර නො වී මිස

දුමිඳු:
නුඹෙ ඵල රැගෙන වෙළෙඳාමේ ගිය ගොවියා
මිල කේවෙල් වී ඔහුහට වූ හදියා
සියඹල කතාවෙන් අසරණ විය ගොවියා
මා අස කලාපුර නුඹෙ තැන එම සැටියා

සියඹලා:
පුරා ඉතිරි පිරි ඔබ නැණ සල පතළ
හොරා සිතැඟි සඟවා කුමකට ද පල
කලාපුර ඉඩමටත් පල දී ඇති අපල
මළා නේද තැන ගැන සිතුවොත් විපුල

දුමිඳු:
කුල ගණ කොතෙක් ඇතුව ද මේ බොල් පොළොවේ
තල්, පොල්, සියඹලා, බෝ ඈ නොහිම් ලොවේ
ඔබ අප ශාක, මනුසත් පැවතුම හමුවේ
උනටත් පණ පොවන තුරුලිය සකි පොදුවේ

සියඹලා:
ඉසි වදනි’සුරු දුමිඳුනි ඔබ පිළිවදන!
පිළිගමි සැක දුරැර අවිවාද ව බැතින
මේ පුර නිවැසි දන පැන විසඳුම් සොයන
ගැටළුව නිදන්ගත වී ඇත්තේ කොතැන

දුමිඳු:
තම හට තම සිතම වේ නම් පස මිතුරූ
පරහට හැකිවේ ද ඉන් ගැලවීම බොරූ
ඒ බැව් දැන තමු තමුනට වී සොඳුරූ
අපි මග සොයමු මෙහි පැන විසඳන අයුරූ

සියඹලා:
සබවස රැකිය යුතුම ය පරහිත කාමී
මානව ගුණය වොරැඳෙ යි කෙනෙකුගෙ දැහැමී
මේ පුර නිවසනා පොදු පබු දනට හිමී
බිම් වපසරිය කර ඇත උනට ම අහිමී

දුමිඳු:
වැටටත්, නියරටත් හිමි නිල වගකීම
කා හට කුමට ඒ ගැන වටහා දීම
ඔය දෙක තලු මර මර කෑවොත් ගොයම
කුඹුරට කලක් යාවි යි අදහනු කොහොම?

සියඹලා:
වරද්දා ගතොත් යුතු දේ ඉවත හලා
“එය යළි ඉබේ විසඳෙයි” හිඳ නොවී මුලා
පරද්දා ලනු පිණිස උන්ගේ සිතැඟි බලා
අපිවත් දිරිය දෙමු කටයුතු නො පිරිහෙ ලා

දුමිඳු:
පාලන දෙ අසුනේ හිඳ කළ අවුළනය
මතකයි රටේ එක් දෙදහස් පාලනය
අවුළේ තරම වැද තටු ලද භාෂණය
පියඹා ආපු වරද ය මෙහි කාරණය

සියඹලා:
එකුන් සිය වසක් බදු ගිවිසුමක ඔබා
ලැබුණත් ඉඩමෙ ඔප්පුව සිටියැකි ද නො බා
බෝ මැදුරේ කැඳ වූ මෙහි සමිති සබා
අවසන් වුණේ තිරසර විසඳුමක තබා

දුමිඳු:
පදනම කළ අයැදුම ගැඹුරට ම සිතා
මේ පුර කලාකාමී සැනසිල්ල පතා
ඇවැසි අයගෙ මනදොළ සපිරෙනු ව ඉතා
සින්නෙට ඔප්පු ලියැවුණි ජය ටැඹක ඔතා

සියඹලා:
මෙත්, කරුණා, සිව් බඹ විහරණ කිරණ
හද තුළ පිබිද ඉටුකළ මෙහෙවර වටින
ජනපති මැතිණියනි ඔබගේ කෙළෙහි ගුණ!
සිහිකර ගයති නිති තියු ගී මෙපුර දන

දුමිඳු:
මේ ගැටළුවට විසඳුම දුන් සැනසිල්ල
එය ම වුණු බවකි හරහට වැලපිල්ල
කළ හොඳ පසු පසින් එළවුණු කැරකිල්ල
තේරුම් නො ගෙන ඇත සකි මේ පැටලිල්ල

සියඹලා:
අනුනට දිගු කරන විට එක ඇඟිල්ලක්
සිය පපුවට ම විවරය ඇඟිලි ම හතරක්
නිදොස් කළ යුතුව ඇත මෙහි වූ වරදක්
මට නම් නො පෙනේ ය අන් විසඳුමක මඟක්

දුමිඳු:
සරල ව ඇත ගැටළුවෙ අං කොං
සෑම මුල් සැලසුමේ තිබු මෙහි ඉරහඳ සේම
‘රංගන මැදිය’ යෝජිත අහිමි ව යාම
එයමය අසහනේ මුල දන සැමගේම

සියඹලා:
බලධර-නිලධර ලිපි ගොනු අත්මාරූ
තීරණ නඩු, උපදෙස් විය හුවමාරූ
හිර වී ඇත එක තැන විසඳුමේ හිරූ
මග පෙන්වමු අපි එය මුදවන අයුරූ

දුමිඳු:
නෑඳුම සේ ම බඩ, කට වුව නැති බැවින
සියඹලා: අප ගැන ඔබ සැම විස්වස් රඳනු මැන
ඉදිරියටත් අපි එමු පෙරමුණ ම ගෙන
නො මැති නිසා අප තුළ ඉසි කෝ මාන

දුමිඳු: උණුවන හදින අනුකම්පා ගුණ හිතැ’ති
සියඹලා:ගැටළුව ගැන සිතා මේ පොදු ඉඩමෙ ඇතී
ජනපති මැතිණියගෙ යළි හද වඩන රුතී
ඔබ වෙත ගලා එයි කරුණා සිලිල ගතී

දුමිඳු: ගරු අගමැතිඳු මිහිඳුට මෙ බව සැලකර
සියඹලා: අති ගරු ජනපතිඳුගෙන් ලැබ ඉඩ හසර
දැනුවත් කර සියලු වැසි දන කලාපුර
විසඳුම පතා උපදෙස් දෙමු සැක දුරැර

දුමිඳු: වස්තු ක්ලේශ කම් සැප ලොබ දුරුවේවා
සියඹලා: රෝ දුක් පහව සැමහට සුව සැලසේවා
පැතුම “රංගන මැදිය” බාධා මැඩ ඉදිවේවා
තෙරුවන් බෙලෙන් මෙ “කලාපුර” වැජඹේවා!!!

කවිය බලන්න
රැවටුනාද ඔබත්...?

රැවටුනාද ඔබත්...?

දක්ෂිණී සාවිත්‍රි ප්‍රනාන්දු ද සිල්වා දෙහිවල

දුකක් දනවන දසුන් දුටුවම
සැබෑවට දුක දැනෙනවා...
යමක් සිදුවී, තරුණි තරුණය
අපහසුවකින් ගෙනෙනවා...
හදක් උණුවන කලදි ඕනැම
දෙයක් කරනට හිතෙනවා...
බරක් මුත් ඒ වගක් නැතුවම
එයට අප කරගසන⁣වා...

කනිං ඇසුවත් යමක් පිලිගනු
එපා එකවිට, කියනවා...
වෙනිං කෙනෙකුට 'කපුට' 'කපුටෝ
හතක්' ලෙසටම හැඟෙනවා...
ඇසිං දුටුවත් එයද හරිදේ,
කියා දැන් මට හිතෙනවා...
මෙයිං දැක්වෙන දෙයිං මොනවට
අපට එය පහදවනවා...

හොඳිං ඇස් ඇර බැලුව කලදී
තරුණයයි ඔසවන කෙනා...
දමං ඉන්නා පාවහන් දෙස
දෑස හැර බලනුව මැනා...
ඇඳුං වලිනුත් ඇඳන් සිටිනා
අපව හොඳහැටි රැවටෙනා...
ඉතිං කොහොමද දිවිගෙවන්නේ
බොරුව හැමතැන රජවෙනා...

කවිය බලන්න
පසක් වේවිද නුඹට ?

පසක් වේවිද නුඹට ?

තිළිණි නිසංසලා දිසානායක

සුපිපුන මලක, මල් පෙත්තක..
සිනිදු සුසිනිදු බව...
සොදුරු සමණළ තටුවක
මුදු, සුමුදු, සුමට බව..
පියාසරණ විහගෙකුගෙ
පිහාටුවක සැහැල්ලුව...
දැනේවිද නුඹෙ සිතට..!

හිමිදිරි උදෑසනක දිදුලන
පිණි බිදුවක නැවුම් බව...
ගත සිත සනහා හමන
පවන් රොදක සිසිලස...
දැහැන්ගත හුදකලාවක
සංගීතයේ මිහිර...
වැටහේද නුඹෙ හිතට....!

මල් පිපුණු වසන්තය
පතුරුවන සුගන්ධය..
නිල් ගුවන සිත්තම් කරන
දේදුන්නෙ සොදුරු බව..
ඝණ අදුර මැද සැලෙන
වැහි බිඳක සුන්දරත්වය...
හදුනයිද නුඹේ හිත.....!

නුඹ ගැනම සිත සිතා
ගෙවෙන හැම මොහොතකම...
සෙනේහෙන් මුසපත් ම'සිත
හද ගැහෙන රිද්මයට...
මගේ දිවි මන්සලට
නුඹෙ පෙම අවැසි බව...
පසක් වේවිද නුඹට...!

කවිය බලන්න
මාතෘකාවක් නැත ……….

මාතෘකාවක් නැත ……….

රංජිත් ද සිල්වා නවසීලන්තය

පෙර දිනක මෑත අතීතේ
පුටු පෙරලියක් සිදුව ඇත්තේ
ඇමති මණ්ඩලේ ඇතුල් පැත්තේ

ඇමතිකම් අහිමිවී - විසිවුණා සමහරුන්
වාසනාව පෑදී - මතුවුණා පසුපෙළ සිටියවුන්

පහන තියා බුදුන් වැඳ - සුදුවතින් ඇඳ පැළඳ
නැකතට පිටත්වී - සතුටින් මත්වී
සිහිනය සැබෑ වී - දිවුරුම් දෙන්න යාවී

දිවුරුම් දෙමින් කී දේ - අත්සන තබා සහතිකකර
ඇමතිවරයකු වී - පළමු ගමන යෙදෙන්නේ - මහ සඟුන් නමදින්න
අටපිරිකර තබා හිස මත - පිදුවේ සඟුන් වෙත දන ගසා
ඇමති ධුරයේ - අමාත්‍යංශයේ - වැඩ සියල්ල හොඳින් සිදුවෙන්න
දෙසූ සෙත් පිරිත් - අසා බැතියෙන්
දික්කල දකුනු'තේ - බැන්දේ පිරිත් නූලක්
අලුත් ධීවර ඇමති මැතිඳුන්ගේ….

23අගෝස්තු 2021

කවිය බලන්න
ඇත් රජුනේ!

ඇත් රජුනේ!

යදම් බැඳ රුදු පහර විඳ විඳ කලක් සිට දුකෙ ගිලෙමිනේ
පෙරහැරට නුඹ පුරුදු වෙන්නැති පේවිලා ඇත් රජිඳුනේ
සාදු හඬ සහ නැටුම් බෙර පද අතරෙ ඝෝෂා විඳිමිනේ
ඇත්තටම නුඹ තුටින්දැයි මට කියන් පිංවත් ගජිඳුනේ ..

දිලිසෙනා රන් රුවැති සළුවෙන් රැගෙන කරඬුව තේජසින්
තාලයට එන විටදි හෙමිහිට පේළියට පා ඔසවමින්
මොහොතකට පය පැටලුනොත් හෙම විඩාපත් අලුයම මැදින්
තාම ඒ දුක විඳිනවද නුඹ නපුරු තියුණුම හෙණ්ඩුවෙන්..

තිලෝගුරු බුදු හිමිගෙ ධාතුන් වඩම්මන් හරි සීරුවෙන්
එද්දි කඳුළුක් උණනවාමය ගජිඳ නුඹගේ නාමයෙන්
වරක් නොව දිගු කලක් බුදුහිමි නමින් කල ඒ සේවයෙන්
නිවීයන් ඇත් රජුනි නිසැකව මතු දිනෙක සංසාරයෙන්

කවිය බලන්න
මාගම්පුරය

මාගම්පුරය

අරුණ ශ්‍රී එදිරිසිංහ පන්නිපිටිය

පෙර රජවරුන් ඔද තෙද රැඳි ගම්වරය
ඉතිහාසයේ ලියවුණු මාගම්පුරය
කෙත්වතුවලින් සරු සාරය පලබරය
ඉපදුන එකත් මට එහි ආඩම්බරය

වලවේ කිරිඳි ගංගාවල දිය දහරා
මහ වැව් අමුණුවල නිති රඳවා නොහැරා
සයුරට ඇදී යයි දිය උල්පත් තවරා
ගොවි දන හදවතට ඇත සතුටක් පවරා

යල මහ දෙකන්නය සරුසාරව වැපිරේ
නල මුදු සුවඳ නිල් ගොයමට තුරුලු කෙරේ
හමුවන දෙනෙත ගත සිත මිහිරක් පැතිරේ
රන්වන් කරල් සිරි ලකටම කිරි ඉතිරේ

සඟ මොක් සුව සැදුව මහ රහතන් පවර
සුන්දර අරණ චිත්තල පබ්බත වෙහෙර
තිස්මහ සෑය සැම බැතිමතුනට නොහැර
තවමත් බෙදයි පෙර මෙන් බුදු රැස් දහර

නටඹුන් දකින විට සැඟවුණු වන වදුලේ
සුපසන් පරපුරක ඔද තෙද ජනිත කළේ
අවසන් නොවන්නට අප දිනු විකුම් බලේ
ඉවසන් සිටිය ඇති යමු පෙරටම තුමුළේ

කවිය බලන්න
චපල සඳ

චපල සඳ

දීප්ත ප්‍රනාන්දු ඉතාලිය

ක්ෂිතිජ ඉමේ සැඟවීගෙන හිරුට යන්න දීලා
අඳුර වැටුන පසුව ඇවිත් කපටි සිනා පාලා
හිරුගෙ කිරණ ණයට අරන් ආඩම්බර වීලා
අන්න බලන් ලැජ්ජා නැතුව හඳ පායන ලීලා

දැවී දවාලේ වෙහෙසී ලොවම එළිය කරලා
එලිය දෙද්දි සඳට රැයේ හදේ ගින්න දවලා
මාසයකට එක දවසක් ලොකුවට පායාලා
හිරු පරදා සිත් ඩැහැගෙන සොමි කිරණ එවාලා

හිරුගෙන් ලොව මුවා කරයි විටෙක මැදට පැනලා
කෝප වෙන්නෙ ඒක නිසයි බල්ලොත් උඩු බුරලා
වළාවන්ට මුවා වෙද්දි ඉඳ හිට ඉඟි පාලා
කවි කිවිඳියො මුලාවෙ යයි සඳ සොමි ගුණ වනලා

දුරස් වෙලා බැබලුනාට රන් තැටියක් වීලා
හිරු නැතිනම් කළු ගුලියකි අහසේ පාවීලා
එළිය දිදී බබලවද්දි ඔහු සෙනෙහෙ පුදාලා
තනි තරුවට පෙම් බඳිනව චපල ගති විදාලා

අහිංසකයි කියන්න සා රුවක් පච්ච කොටලා
එක පැත්තක් පෙන්වාගෙන වැරදි පැත්ත වහලා
සැබෑ පෙමට පිටුපාලා සිටිනා හිනැහීලා
පෙම්වතියක් වගෙයි සඳත් පෙමට නිගාදීලා

කවිය බලන්න
කෝවිඩ්

කෝවිඩ්

ආචාර්ය පාලිත ගනේවත්ත ඔස්ට්‍රේලියාව

පුන්සඳ නැගී නැත ගගනත වේ අඳුරූ
සංහිඳ පහන්සිළු වියැකී යන අයුරූ
පන්හිඳ රසික ගිලිහී මුව වී වියරූ
දුක්කඳ නැගේ හදවත සපුරා මිතුරූ

පෙනේ නිබඳ බිහිසිණු සිතුවම් නෙතට
දැනේ හදට සංකාවක් පෙර නොවට
කනේ වැටෙන තතු නොම ගෙන ඒ සතුට
අනේ කුමක් වීදෝ අද මේ ලොවට

තැන තැන මිනිස් දිවි වැනසෙන තොරතුරුය
යන එන දනන් පවසන තතු බියකරුය
දන මන සතුට ගිලිහී සොව නිරතුරුය
හැම දන දියත දිවි මාවත අනතුරුය

දෙසින් දෙසට රෝ බිය පැතිරෙන අයුරූ
ඇසින් දකින දේ අදහනු බැරි මිතුරූ
මසින් ලෙයින් පිරි දිවි ගිලිහෙන අයුරූ
පසක් කළේ ජීවිතයේ බව නිසරූ

තියුණු නැණින් වෙසරද වෙදැදුරු දියත
දැවුණු දනන් රෝ සුවපත් කළ පුවත
ඇසුණු සැණෙන් මඳ සුව ගෙන දේ මසිත
සොයනු හැකිද කිසිදින තිරසර බෙහෙත

18/08 /21

කවිය බලන්න
අනවරත මගියෙක්

අනවරත මගියෙක්

ඩී. අමරසිරි ගුණවර්දන නවසීලන්තය

සර්පිලකාර වී නැගෙන රුක් වදුලකිය
පොළව මත ගලන ගං ජලය දෙයි තෙතමනය
නෙක වදුළු ගස් කොළන් සරු පසක් තනන්නෙය
සත් වගද මිනිසුන්ද මැරි මැරී පස් යටය

විටින් විට ගිණි ගන්න රුක් වදුල නොමැරේය
ගිණි ගනිද්දී ලොවම බියෙන් වෙව්ලා යාය
සර්පිලාකාර රුක ගිණි ගත්ත විලාශය
සිතුවමට නගන්නේ මැරෙන ඒ මිනිසාය

අනවරත ගිණි සිළුව පැන නැගෙන තිත කොතැන
සොයා යන්නෙක් වේද ඒ මෙලොව මිනිසාය
කා විසින් වැඩෙන ගස පුළුස්සා ලන්නේද
ගිණි සිලෙන් මැරි මැරී සොයන්නේ මිනිසාය

කවිය බලන්න
ඉස්සී බලමි

ඉස්සී බලමි

චන්ද්‍රවංශ ඥානසේකර කැළණිය

බඩ ගිනි වෙලා ආවේ නෑ නුඹේ ගෙට
බඩගිනි නුඹේ නිවනා සිත වුණා මට
සිඟිතිය නුඹේ සුරතල් කරන්නට
එපා කියයි මට එන්න ට නුඹේ ගෙට

ඉස්සී බලමි වැට මායිමේ සිට
සිඟිති ය පෙනේදැයි ඈතින් වුනත් මට
සතුටක් ඇතොත් මා ඈතින් සිටින විට
මගෙ හිත කෙසේ හෝ වෑවිය හැකි ය මට

ඇනෙනව යවුල් මෙන් මේ හැම දේ ම මට
වැඩිහිටි වුනත් නුඹ මගෙ සිඟිතිතියයි මට
සිතුවම් මැවෙයි නැලවුන හැටි දෙවුර මත
ඒ බර බරක් නොවුණා කිසි දිනෙක මට

නුඹෙ පෙර ගමන නුඹ අද යා යුතු ව ඇත
ලෝ දම් වලින් නුඹ කැළඹෙනු සුදුසු නැත
එන එන දේට හිතුවොත් විසඳුමක් ඇත
මා මඟ දමා වුව නුඹ යා යුතු ව ඇත

2018

දියණිය නොමනාප වූ දා මගේ මිනිබිරිය
දැකීමට කළ තැත අතීතය හා වර්තමානය අතර දෝලනය වෙයි

කවිය බලන්න
සිහිනයක්ම වේද.....

සිහිනයක්ම වේද.....

මහාචාර්ය මනෝරි ගමගේ හැව්ලොක් ටවුන්

පෙරඟින් නැගුණු ලා හිරු රැස් කිරණ දිගේ
සුවඳින් පිරුණු මල් කෙමි පිපි සොඳුරු මගේ
සුදු කොක් රෑන් ඉගිළී යන දිනක් අගේ
තවමත් හීනයකි නෙතඟට කඳුළු නැගේ

සිනහා කවටකම් පිරි විදුහල් බිමම
මැරිලා වගෙයි පිටකර අවසන් සුසුම
හැලිලා අඬන පර මල් පෙති ගස් යටම
මවලා සෙහොන් පිටියක් ලෙස දස අතම

කියනට අයනු ආයනු හඬ නගා දිනක්
ලියනට අකුරු අමුණා වැකි මතදි පොතක්
ගයනට රාව නංවා පද බැඳුනු කවක්
තැබුමට පාද තාලෙට බෙර පදක හඬක්

පතනා සිහිනයක දිවියම සිර කරලා
ගෙවිලා දිනෙන් දින කාලය පිය මැනලා
විමසා බලද්දී හෙට ආපසු හැරිලා
පියඹා ගිහින් සොඳුරුම විය තටු සලලා

05.08.2021

කවිය බලන්න
මූදු හතක්‍ ඈත සිටින තවම නොදුටු මුණුපුරා ට... -

මූදු හතක්‍ ඈත සිටින තවම නොදුටු මුණුපුරා ට... -

ලේඛක, පරිවර්තක චන්දන ගුණසේකර ලන්ඩනය

කිරි දත් සිනා පානා
දෙනෙතින් විදුලි මවනා
සුරතල් පුතුනි සොඳනා
දැකුමින් අපව නිවුණා

මොළ කැටි නුඹගේ පහසේ
කිමිඳෙනු රිසිය පුතුනේ
යොදුන් දස දහසේ
දුරටත් කිරි සුවඳ දැනුණේ

නුඹගේ මුවින් මගෙ පුතු මම දකිමි පුතේ
නුඹගේ පියා නැලැවූ හැටි සිතමි පුතේ
කුළුඳුල් මුණුපුරා නුඹ මගෙ හදෙහි පුතේ
සීයයි මමයි තිරිහං වන රහස පුතේ

මීට අත්තම්මා

චන්දන ගුණසේකර ගේ කුළුඳුල් කාව්‍ය සංග්‍රහය 'මකුළුවෝ මේ සීත කාලයයි'
එය දොරට වැඩීමේ වැඩසටහන මෙම ලින්කයෙන් https://fb.watch/6QQQOK-EaX/

කවිය බලන්න
සසර ගණුදෙනු....!

සසර ගණුදෙනු....!

ලලනී ගීකියනගේ රත්නපුර

සුමුදු සුදු මුදු වලා පිසලන
සිහිල් පවනයි ඇදෙන්නේ....
විහඟ ගී සර මිහිර කළතන
අමා සුවයකි ගෙනෙන්නේ....!

රිදී පොටකට රැඳුන හිරු රැස්
වළලු මිහිතල සිඹින්නේ....
උදාගිර හිරු මඩල විනිවිද
සොබා අසිරිය මැවෙන්නේ....!

විදා අත්තටු කුරුළු වෙස් ගෙන
සොයා මතකය දිවෙන්නේ.... !
ගලා හැලෙනා දියපහර නැගි
පෙණ පිඩුව සේ බිඳෙන්නේ ....!
සසර ගණුදෙනු නිමාවන තුරු
කඳුලු බිඳු පිසලමින්නේ...!
හිතක් මෙතරම් පහන් වන වග
දැනී දැනී හිත නිවෙන්නේ....!

පැතූ පෙම්ලොව සුනු විසුනු විය
රිදුනු හදවත හඬන්නේ ...!
එදා පිදු සෙනෙහසම වියරුව මෙදා හිත පාරවන්නේ...!
දෙපා මුල වැඳ වැටී ඉකිලන සමාවයි හද යදින්නේ....!
විඩාපත් ගත තැවී හිත ලඟ
සදා සුවයකි ලබන්නේ ...!

කවිය බලන්න
වතුසුදු මලක් උඩ

වතුසුදු මලක් උඩ

රත්නපාල ගමගේ ස්විස්ටර්ලන්තය

වතුසුදු මලක් උඩ
රැදුණු අකීකරු
පිනිබිදුවක්
බිමට හඩා එන හිමිදිරියේ

දඩබ්බර වූ සිත
ඉගිලයන්නට
ප්‍රථම ප්‍රේමය වෙත
වෙරදරන
වේරරම්භ වාතය සේ

ඇඟ හිරිගඩු පිපෙනා
සීතලේ
ගුලි වී සිටි
මම ඇහැරී බැලුවෙමි
රෑ බොඳ වූ
සිහිනයකි එය
කිම මෙලෙස
දෑස් අග කඳුළු
රඳවන්නට
සිහින වියැකෙන්නේ

කවිය බලන්න
සිරියාවතීව නිදහස් කරන්න

සිරියාවතීව නිදහස් කරන්න

ලාල් හෑගොඩ  

(විත්තිය වෙනුවෙන් ගමේ නව තරුණ කැළ පෙනී සිටිති)

නඩුකාර හාමුදුරුවනේ
තරගයක් නොවේ මේ
කණා මුට්ටියට පොල්ලෙන් ගැසීමේ

ගලවන්න ඔය
දෑස බැඳි පුස් පාන්කඩය
බලන්න විත්තිකාරිය යැයි කියනා
මෑ දෙස හැබැහින්

හැට්ටය ගලවා
පෙන්විය හැකිද වේදනාව
කිරි හිර වූ පියයුරුවල කැක්කුම
මැගේ එකම සාක්කිය

පොලිසියෙන්
කර තියාගෙන ගෙනා මෙතැනට
කොස් කැපුව ලොකු පිහිය
උන්ගෙ මසුරන් සාක්කිය
පිළිගන්න පුළුවන් ද හාමුදුරුවනේ

තිසා වැවෙන් නාගෙන
නෙලුම් මල් සතකුත් කඩාගෙන
පිරුවට හැඳ පේවීගෙන
එතැන ඉඳන් පයින්ම ගොස්
යට මළුවේ ලොවක් සුවඳ කරන
සුවඳ දල්වා
උඩ මළුවේ තිස් තුන් කෝටියක්
පහන් දල්වා
පැතූ පැතුම හාමුදුරුවනේ
කුළුඳුලේ පිළිසිඳුණු දරුවා

පැක්ටේරියේ වතුර ඇරියා ඇළට
හැම වතුර බින්දක්ම විස වුනා ගමේ
මීදුමක් ව රැඳී තිබී
වැස්ස එක්ක මාරා වේශය ආවෙත් විසමයි
ඒ විසෙන්
මළ දරුවෙක් ප්‍රසූත කළේ මෑ

කෙටුවේ කොරියන්කාරයාට
හොඳ සිහියෙන්මයි
කුරා කුඹීයෙක්වත් නොමැරූ මෑ
හැඬුවේ එතැනදී
ප්‍රානඝාතයක් කළාටයි
විසි කෙළේ පිහිය
ලේ දකින්න බයෙනුයි

තීන්දුව දෙන්න පෙර
ගමට දවසක් එන්න
ඔබ හැබෑ ඇස් දෙකෙන් එන්න

ගමේ කොලු පැටව් පැටික්කියො ආපහු
පීනනවා ඇල දිගේ උඩහට
හදිස්සියකට දුවන තිත්ත පැටවුන් වගේ
ඉස්සර වගේම
පාන්දර ඉර එළිය කපාගෙන අවුදින්
දිය බුං ගහනවා පිළිහුඩුවෝ

රංචු පිටින් දිය මකුළුවො ඇවිදින්
රුවක් හොයනවා නැතිවුණු
ගල් අතර වතුරේ රූටමින්

එත්
හාමුදුරුවනේ
මොන සිරියාවක් ද
සිරියාවතී නැති ගම

කවිය බලන්න
ඉගිල ආ පසු දශක දෙකකින්

ඉගිල ආ පසු දශක දෙකකින්

අනුර හෑගොඩ

ඉගිල යද්දී තිබුණේ ද මට
ඉගිල එද්දී දැනෙන සෙනෙහස
නෙරළු අරඹේ ගෑවි නොගෑවී
දකින මේ බිම නොවෙද මව් බිම
අහිමි වී ගොස් කාලෙකට පෙර
නැතත් ලියවිලි අයිතියට එහි
විදේශිකයෙකු ලෙසින් ආවත්
කඳුළු නවතනු බැරිය දැන් මට

උතුර දකුණට වෙනසකුත් නැති
නෙල්ලිඅඩි හන්දියේ නැවතුමේ
බැස බලමි හාත්පසෙහි අසිරිය
අහා සිත තුල දැනෙන රිද්මය

වහර වියැකී මියැදෙමින් තිබු
දිව අගට ගෙන මිහිරි මව්බස
වීල් සගයෙක් හා පියෑඹුවෙ
මිහිරි අමිහිරි දිවි අඩවියට

මෙන්න මෙතැනයි මා කිවූ තැන
කෝ මෙතන තිබු පැරණි කෝවිල
දිගැසි කමලනි එබෙන තල්වැට

කෝ එදා පොඩි වැහි බීරමට
දිය ගලා ගිය වහල තල්අතු

කෝ තිබුණු දුම්කොළ ගැසූ වල
අම්මා මා සඟවා තැබූ තැන
ට්‍රක් මරණයේ හඬ ඇසුණු සැණ
හුස්ම ගන්නට බටය දී මුව

කෝ තිබුණ අල්ලපු ගෙදර අද
කෙළිදෙලෙන් රස සිනාකැන් පිරි
පුතුන් දෙදෙනා රැගෙන යද්දී
සිටිය මව සිහිසුන්ව වැතිරිව

කෝ පත්මනාදන් තම්බි
වචනයක්වත් කතා නොකරණ
පන්ති අන්තිම පේළියේ සග
අම්ම අප්පා මියෑදී ගොස්
දුක බෙදූ මිත්තනිය සමඟින්

කෝ අර අම්මලා අක්කලා
ඇඳි වතින් හඬ හඬා දිව ගිය
නොඑන ට්‍රක් රතයෙන් ගැලූ ලේ
කඳුළු බිඳු මග පැටලි පැටලී

ඉගිල එද්දී දැනුණු සෙනෙහස
කඳුළු නවතනු බැරිය දැන් මට

කවිය බලන්න
නෙරුදා නොලියූ කවිය

නෙරුදා නොලියූ කවිය

අශෝක හඳගම

ලොව සුපතල චිලියානු කවියා, පැබ්ලෝ නෙරුඩා, ලංකාවේ චිලියානු තානාපති ලෙස වසර දෙකක් (1929-31) මෙහි ජීවත් වුනා. ඔහු පසු කලෙක ලියූ මතක සටහන් ( Memoirs ) පොතේ දිදුලන හුදකලාව ( Luminous Solitude ) නම් පරිච්චේදයේ මෙහි මතකයන් ගැන විස්තර කෙරෙනවා. එහි සඳහන් කෙරෙන පරිදි, වැල්ලවත්ත ප්‍රදේශයේ ඔහු පදිංචිව සිටි වෙරළබඩ නිවසේ වැසිකිළිය ශුද්ධ පවිත්‍ර කල එවක සක්කිලි යන අපහාසාත්මක නමින් හැඳින්වූ කසල ශෝධක වෘත්තික ප්‍රජාවකට අයත් යුවතියක් සමඟ වරක් ලිංගික ව එක ව තිබෙනවා. ඔහු එහි සඳහන් කරන්නේ, ඇගේ ''අකමැත්තක් නොමැතිව" එය සිදුවූ බවයි. එහෙත් පසු කලෙක මෙම සිදුවීම විශ්ලේෂණය කරන සමාජ ක්‍රියාකාරීන් සහ විචාරකයින් තර්ක කරන්නේ එය පැහැදිලිවම ස්ත්‍රී දූෂණයක් බවයි.
නෙරුදා ඔහුගේ ආදරවන්තියන් ගැන බොහෝ කවි ලියා ඇතත් මේ ගැන කවියක් ලියා නැහැ.
මේ නෙරුදා නොලියූ කවියයි.

ලවන මුසුව හමන සුළඟ
සමඟ රඟන තෝඩු යුගල
නඟන කිකිණි සවන පිනන
බමන හිසට ගෙනෙන මිහිර.

වෙරළ සිඹින වියරු රළට
තෙමුණු සළඹ ලෙහුණු පයට
බැඳුනු නෙතට පෙනුනෙ නැතිද
බිඳුණු සිතක් මදට කිපුණ.

ගිගිරි සලන වළලු බිඳින
රැගත් විගස සුරත මිටින
බිමට වැටුණි එඅත රැඳුන
ඉරටු මිටිය බිම අමදින

තුටින් රැගෙන බඳ තුරුලට
ඔසවා ගමි දිව්‍ය අඟන
මුවින් නොබැණ සිටිමුත් ඇය
දුටිමි පිරුණු කඳුළැල් නෙත.

ලෙහුණි බඳට ඇලුණු සළුව
දපන විටදි මතට සයන
වසර දහස් කල් ඉපැරණි
රුවකි එ’රුව තඹින් නෙළුව

සියක් කතුන් හා නිදිවැද
ඇතත් එතෙක් මෙතෙක් නොමැත
සිතත් ගතත් තෙතක් නොමැති
කතක් සමඟ රති සුව විඳ

ගලක් සදිසි කයක් සමඟ
සසඟ දුකකි සැපක් කොහිද
අපුල බැවින් දෝ මා ගත
ඉවත බලා සිටියේ ඇය

කරපු පවක තරම දැනෙන
විටත් ගොසිනි ඇය ඉවතට
කිළිටි විනිද ඇගෙ සියොළඟ
කසල අදින උදය හවස.

මකනු නොහැක සිදුවූ වරද
විඳව විඳව හිඳිනු මිසක
වෙරළෙ හැපී හැපී කියයි
පරක් තෙරක් නොමැති සයුර

කවිය බලන්න
විරහ වේදනාව

විරහ වේදනාව

සඳ නැති රැයක තරුමල් යුවලක් - අහස ලාවට එලිය කරයි
රළු මහ සයුර එකම කාලගෝට්ටියකි - බිහිසුන් හඬ බියකරුයි
ම‍ගේ තනිකම රකින පැල්පතේ නිහඬ බව - රළ හඬ බිඳ දමයි
වෙරළේ සක්මන් කරන මා - ඔබ සයුර මැද දිවි සටනේ

මිලාන වී ගිය දෑස් පිසදමමින් සයුර දෙසබලා සිටින මට
ඈත සිතිජයේ කණුවක් වැන්නනක් ඒ මේ අත දිස් වෙයි
ඒ ඔබව රැගෙන එන ඔරුවද - මා වෙත ටිකටික ලංවෙන්නේ
නැත හිමියනි ඒ ඔබ නොවේ - ඔබට අනතුරක් වත් වීද

සති මාස ගතුඋනා - තව කෙතෙක් ඉවසම්ද දෙවියනි
වැළඳ ගත්තාද දිය රකුසා මගේ රන් කඳව
දිරාපත්ව වියලී වැහැරී ගිය මගේ ගත
වෙරළට ඇදෙන සැඩ රළ පහර සමග එන්නෙමි - ඔබ වෙතට

කවිය බලන්න
යසෝදරාවතේ සිත්ගත් කවි

යසෝදරාවතේ සිත්ගත් කවි

මහනුවර යුගයේ ජන කවියා

සුදු සක ලෙසට ඇත් පැටියෙක් විත් යහනේ
සුදු සොඳ ටිකෙන් මගෙ බඩ පිරි මදිති අනේ
සුදු යම් දෙයක් සිදුවෙයි මම දුටු සීනේ
සුද සුන් නිරිඳුනේ මොකදැයි ඔය සීනේ

කවිය බලන්න
පෙරහැර ඉවරයි

පෙරහැර ඉවරයි

කෞශල්‍යා ජයලත්

බසින් බසින් පුත ඔය බොරුවෙන්
නොකියන් තවරන් සිහිල් සඳුන්
සර්ව විෂාදිය ගුණයි කෝකටත්
මිදෙන් ගගන සිඹිනා සිහිනෙන්
ගුරුළු වෙසින් නිල් අඹර පියෑඹුම අවසන්
පුරුදු වෙයන් ගල් බොරළු පිරුණු මඟ සක්මන්

පිසින් පිසින් ආලේප වතින්
ගලවන් සුසිනිඳු සේද ඇඳුම්
සඟවා පා සලඹේ මිණි කිංකිණි
ගොළු කරලන් දූ මියුරු ගැයුම්
සිනා උවන නොහොඹී දැං දෝණී
අකැපයි වස්ත්‍රාභරණ රුවන්

මුදන් මුදන් බැමි පියාණෙනී
ගලවන් වෙස් තට්ටුව සිරසින්
පරිස්සමින් සඟවන්න කොහේ හෝ
ඇරඹිය යුතු කඳු නැඟුම හෙටින්

ලබන ඇසල මහටයි නැවතත්
මහණ වෙන්නෙ කොයි ඇහැල ගහත්
අපට උරුම පිපිරූ පතුලුත්
ගල් තැළුමුත් විතරයි කවදත්

කවිය බලන්න
උන් මුං එක උං.

උන් මුං එක උං.

වජිර ජයවර්ධන

හැදෙන්න හැදෙන්න තව හැදෙන්න තව
එන්නකො අපි පෙළපාලි යමූ...
මැරෙන්න මැරෙන්න තව තව වාසියි
රටම වැටෙන හැටි බලන් ඉමූ...

උනුත් එකයි බං මුනුත් එකයි කී
ඔක්කොම එක බව පෙනී යතේ
ආන්ඩු පාන්ඩු සජබේ මෝල්ලු
කොවිඩ් ගඟේ කොඩිවිනේ වෙතේ

ලොකු ලොකු තැන් හමුවන කවුරුත්
රිපොට් එකක් ඇන්ටිජන් ගතේ
මහ උන් සුරැකී පොඩි උන් මැරුණත්
පඩුපුල් ආසන රත් නො වෙතේ.

කොවිඩ් කිය කිය අස්සෙන් පස්සෙන්
‍රිංග රිංග වංගුත් කපතී
ජර මර අස්සේ මල්ල කරේ ගෙන
රෝහල් කපුටෝ කෑ ගසතී...

මරණෙන් ගැලවෙන එන්නත ආවම
ඒකත් වංචා කරන රටේ
දොස්තර සංගම් උනුන් මරාගෙන
තරඟ වදිති නිම නැතිව කටේ

හෙළ වෙදකම ගැන පරහට හිතලා
ඔච්චම් කරනා එවුං ඇතේ
දියවන්නාවේ උම්බෑ හඬවල්
කිසිදා නිහඩක් වෙන්නේ නැතේ

නිස්සෝ වෙනුවට කොස්සෝ මතුවෙති
වැඩ්ඩෝ මරුව ලැබී යතේ
ක්‍රෙඩිට් හොයන කුනු පල් පොලිටික්කෝ
ලෙඩ ඇතුලෙත් පල් ගඳම වෙතේ

ඉටුකම යුතුකම සුනාමි නොවෙනා
සුබ අරමුණු වුවමනා වෙතේ
කොවිඩ් උවදුරෙන් මගෙ රට මිදිලා
හිනා වෙන්න වාසනා ඇතේ

කවිය බලන්න
බිනර ගීතය

බිනර ගීතය

විශාරද එඩ්වඩ් ජයකොඩි

දැනී නො දැනී හඬනු ඇහුනා
සමු අරන් ගිය නිකිණි මාසෙත්

වැටී නො වැටී කඳුළු හැලුණා
රටට හිත ඇති කාගෙ කාගෙත්

පෙනී නොපෙනී මැවෙනු දැනුනා
කොරෝනා නිමවෙනා හීනෙත්

ගැයී නො ගැයී ගොලුව යන්නට
ඔන්න ආවා බිනර ගීතෙත්

 

සිඳී නො සිඳී ගලන්නට හෝ
සිනා ගඟුලක් නොමැති කාලේ

කෙරී නො කෙරී හීන් නූලෙන්
රටම පතුලේ නොවෙද රාළේ

බැඳී නොබැඳී හදේ ගැඹුරින්
රටට පානා රැලක් ආලේ

සොයා නො සොයා ඉන්න තැනෙකින්
ගෙනෙන්නට වෙයි අලුත් තාලේ

කවිය බලන්න
...?....?

...?....?

ජයතිලක කම්මැල්ලවීර

කලක් තිස්සේ පාළුවට ඇරුණු
යුගළ ඇඳෙහි
කොට්ටය මත
සුව නිදි පතන අකුරුවැලෙහි පැටලී
කළු, සිහින් කෙස්ගසක්!

කොතරම් සිනිදුද මේ කෙස්ගස
මුදු සුවඳක් දැනේ නැහැයට

සිහින් රැහැනක්ව එය
අදියි මා දෙතුන් වසරක්
ආ පස්සට

කොතෙක් නම් දොස් නගා ඇත්ද මා
හිස පීරන පනාව
එහි පැටළුණු කෙස්ගස් සමග
තැන තැන තබන
ඇගේ පුරුද්දට

කවිය බලන්න
සතුට

සතුට

නිකෙලෙස් තවුස් උතුමෝ,
හිඳිති කඳු මුදුන, ගල් තලාව මත,
දැඩි සීතල රැයේ,
නිරුවතින්.

එදින පෙරයම,
සොරු පිවිසියේ ගල් කුලට,
සුදුසු අවසරය දැක, තවුසා පිටව ගිය කල කුටියෙන්,
සඟවා ඇතැයි වටිනා යමක්,
එය සොරා ගැනුමට.

‘කෙළෙසින් ද කිසිවෙක්, බොහෝ සම්පත් දැරූ,
සියලු දේ දන් දෙනුයේ,
පැවදි වීම උදෙසා වත් ?’

තවුසා පිවිසියේ කුටියට,
තමන් කිස නිම කොට.
හොරා තවමත් සිටියි,
සොයමින් වස්තුව,
කිසිවක් සොයා ගත නොහැකිව,
හිස් කුටිය තුල.

කලබල වී සොරා,
පැන යා ගත නොහී.

‘තවුසා නමි නිසැකව,
දඞුවම් දෙනු ඇත කළ වරදට.
තවුස් දම් පිරුවද දැන්,
මහ තෙදැතයෙකි ඔහු පෙර’.

තවුසානෝ සිතන්නෝ,

‘මේ දිළිඳු මිනිසා,
මා සොයා පැමිණියේ,
මගෙන් පිහිටක් පතා.
සොරකු වුවද ඔහු,
කෙසේද යන්නට දෙන්නේ,
හිස් අතින්, නොදී කිසිවක් ?’

දෙන්නට කිසිත් නැති තැන,
උනා දන් දුන්නේය ඇඳි සළුව.

සත් පුරුෂයානෝ,
හිඳී ගල් කුල මත නිරුවතින්.
පුරා සඳ මතු වූයේ,
හාත් පස එකළු කරමින්,
පරිසරය නහවමින් සඳ කැළුමින්.

‘කෙතරම් පොහොසත් ද මා,
වස්තුව කිසිත් නැති වුව ?
මහාර්ඝ වස්තුව නම්,
සිතේ සතුටම වන්නේ.

අනේෟ ඒ සොරු හට,
දෙන්නට හැකි වුනා නම් මට,
මා සතු ඒ මහා වස්තුව,

දන් දෙමි මම සතුට,
නිසැකවම මතු දිනයක’.

කවිය බලන්න
මුඛ වාඩම

මුඛ වාඩම

නාලිනී කොඩිකාර මෙල්බන් නුවර

නොනිවී දැල්වෙන,
දොලොස් මහේ පහන වගේ.
මුතු පබළු කැට සේ,
දෑ සමන් පෙති සේ,
දිලෙන නා දළු, පොපියනා රතු දෙතොල්,
මදහස, සෙනෙහස, දෝර ගලා යන,
සොඳුරු සිනා රැලි,
සඳ රාහු මුඛයෙහි ගිලුණා සේ,
වැසී ඇත මුඛ වාඩමෙන්.

බලන් ඒ අසිරිය!

මෑත් වී කළු වලාවෙන්,
බබලනා සදක් මෙන්,
ඇය සිනාසේ,
නෙතු සඟලින්,
මුඛ වාඩමට ඉහලින්.

කවිය බලන්න
පිළිසිඳ ගැනීම

පිළිසිඳ ගැනීම

කපිල කුමාර කාලිංග

තමන් ගැබ්ගෙන ඇතැයි
දැන් වූවාය
ප්ලේටොනික පෙම්වතිය
දුරස්ථ පෙම්වතාට

"මහා පුදුමයකි එය
ලොව සිරිතට පටහැනි
විදු හුරු ද නොවන"

පැවසීය ඔහු.

"එය සැබෑවකි"

ඉඳුරාම පවසයි ඈ

"මා ඔබට ඇති ඉමහත් ප්‍රේමයේ
ඵලයක් ය මේ දරුගැබ"

එවිට පෙම්වත පැවසි
මේ ලෙස

"ඉඳිමු තව දස මසක්
දැක දරු මුහුණු
සැක හැර පියා
පුතෙකු නම්
ප්ලේටෝ යැයි ද
දුවක නම් ප්ලේටොනිකා
යැයි ද තබමු නම්"

සැ .යු:

ඇවැසිය මින්මතු
ප්ලේටොනික ප්‍රේමයට ද
උපත් පාලනයට මගක්
උඩුයටිකුරුව ඇති බැවින්
සියල් ලෝ සිරිත්
වසංගතයෙන් පීඩිතව.

කවිය බලන්න
සසර කතරක අතරමග

සසර කතරක අතරමග

කාංචනා පෙරේරා කපුගේ කොළඹ

සියල්ල අතහැරි ඇසිල්ලකදිත්
සැනින් ආපසු හැරී බැලුවෙමි
නොසැලී හුන් ඔබ මහාමෙර මෙන්
කිමද අද නෙතු දෙරණ රඳවන්....

සැලී නොසැලී වෙලී හුන් අප
එකව ආ ගිය මේ දුර්ඝ දිවි මඟ
කිසිවක් නැත ලොව අහිමි නොවන
නුඹට මාත් මට නුඹවත් ලෙසින් වන...

බැඳී උන්නත් ප්‍රේමයෙන් අප
නිමාවක්නම් කොහිද මෙසසර
තවත් දුර යනු නෑ පලක් හිමිසඳ
අතැර වෙන්වී යමු දෙමංසල.....

කවිය බලන්න
තාත්තෙක් හැමදාම අසරණයි..

තාත්තෙක් හැමදාම අසරණයි..

සෞම්‍ය ලලිත් කළුබෝවිල අනුරාධපුරය

කෑගසන පොර බඳින හිනාවෙන යළි හඬන නුඹලා..
පා දොවන, වැලි දමන,පෙණ නගන, හඬ නගන
සාගරේ රැලි සරැලි වගේමයි...

අතු පතර කහ ගැහුණු පණ ගසන පතකටත්
සිසිල් සුළඟේ සුවත් බියකරුයි..
බෝ රෝග උසුලනා සිත කයින්
මට රිදුම් බොහොමයි..
සිනා පිරිමැදුම් මොහොතක සුවයි

ඔය හැඬුම්.. හිත රිදෙයි පාරවයි..
අතක් එසවුනේ හිතක් නැතිවමයි.
හිතත් මරණාසන්න වී දැවෙයි
තතක් බිඳි වීණාවෙ හඬ ඇසෙයි

තාත්තෙක් සැරවෙන්න ඕනෙමද?
කරුණාව අම්මාගෙ උරුමයද?
අම්මාගෙ දැවටෙනා දියණියේ පුතණුවේ
ඒ සෙනෙහෙ මට දෙන්නෙ කවදාද?

දාරක ආදරේ හද පැස හොවා යහමට
සාටක පොරවාන පියෙකුගෙ හැංගිලා උන්නාම...
ජාත⁣කය වෙසතුරු වුනත් හිතේ කහටක් නැද්ද ..,
සෙනේහය කැඩුවාම දරුවන්ට..?
පෝරකය ලඟ සුවයි උන් සෙනෙහෙ නැතුවාම,
හිතෙන්නේ මට විතරමද පියෙකුට..

මේ පපුව නුඹලා⁣ගෙ සයනයයි......
තෙත වියැළිලා තිබුණාට නෙත
කඳුළු වැටෙනා හඬ ..
කණ තියා පපුතුරේ
අසන්නට නුඹලාට අවසරයි..
තාත්තගෙ ආදරේ සැර තමයි..
ඒ රඟන භූමිකාවේ හැඩයි...
ආදරේ හංගාන උන්නාම
විසිවෙනා..කොන්වෙනා.. අවසනේ..
තාත්තෙක් හැමදාම අසරණයි..

කවිය බලන්න
ආදරය සහ දඬුවම

ආදරය සහ දඬුවම

නිමල් රංජිත් කන්දමුල්ල ඉතාලිය

ආදරය දඬුවමකි
සැබෑවක් නොවූ කල
එයම ඉල්ලා හඬන
කුඩා දරුවෙකු විලස

අතීතයෙ තුරුණු විය
පැතූ ඒ ආදරය
සිහිනයක් වූ කල
රිදුම් දේ සදා හද
ප්‍රේමයේ නටබුන් තුලින්

ජීවිතේ මුහුකුරා ගිය විට
ගතින් වියපත් වුවත්
තුරුණු වී හදෙන් නැග
සොයයි පැතු ඒ පෙම එදා
රිදුම් වේදනා දෙයි
එයම පතමින් තැවෙයි

හැර ගියත් චපලව
වෛර නොකරමි සැබෑ ප්‍රේමෙන්
ආදරය සුරකිමි
සඟවා සුසුම් තුල
ඒ තමයි ඔබ ලබන
ආදරේ දඬුවම ♥️

කවිය බලන්න
අම්මා නොමැති කල (සුධර්මා කුමාරිහාමි ඇතිපොල ඒකනායක)

අම්මා නොමැති කල (සුධර්මා කුමාරිහාමි ඇතිපොල ඒකනායක)

මාවැලි කුමාරී කුලතුංග මහනුවර

විවාපත් විගස ම පියා සමග ගොසින්
වැදිජනයාට සෙත සලසනු පිණිස තොසින්
අත්විඳි සියළු දේ වල් රස කතා ලෙසින්
ඔබ පැවසුවේ එදවස යළි විඳිනු රිසින්

ඇතිපොල ,ඇහැළෙපොල අදිකාරම් දෙන්නා
කළ සුරවීරකම් සැම ඔබ දැන උන්නා
තම මීමුතුන් වූ උන් ගැන සිහි ගන්නා
ඔබ කිවු වදන් තවමත් පිළිරැව් දෙන්නා

හෙළ බස් වහරෙ එන ප්‍රස්ථාපිරුළු වලින්
නිතරම හැඩවුනා පිටවුනු වදන් මුවින්
අවුරුදු හාරසියයක් එපිටකට ගොසින්
පරපුර පැවතඑන එනයුරු පැවසුවා තුටින්

ඔබේ අතින් සෑදූ වැලිතලප රස
තවමත් දැනෙනවා කඳුලින් තෙමා නෙත
නිවසට කවුරු ආවත් සනසවා සිත
රස බත් කටක් දී මිස සමු නොදී ඇත

අප්පච්චීට විය නිරතුරු සෙවනැල්ල
නිවසෙහි කාහටත් ගෙනදුන් සැනසිල්ල
කරුනා ගුණය නිති පෙන්වූ හසරැල්ල
නිවුනා පහන යලි ඒවිද අරුණැල්ල

අම්මේ කියා තුරුලට දුවගෙන එන්න
පෙර කළ වැරදි කිසිදා යලි නොකරන්න
හුරතල් වෙවී ඇකයෙහි තුරුළුව ඉන්න
යළි එක්වරක් ඔබෙ කුස තුල ඉඩදෙන්න

දැනෙනා කල සිටම නින්දට පෙර රෑට
අයියත් සමග දුවගෙන විත් තරඟයට
ගාථා කියා ඔබපාමුල හිඳ එකට
මාපිය දෙපා නැමදූ හැටි එයි හිතට

එදා පටන් අදටත් නොවරදවාම
සිහිකර වඳිමි ගාථාවත් කියලාම
දරු මුනුපුරු ලබා මා සිටියත් බෝම
එම හොඳ පුරුදු අතහැරියේ නෑ තාම

කවදත් ඔබට අප්පච්චී දෙවියෙක්ය
ඒ සැදු දෙවොලතුල අප විඳි මිහිරක්ය
සිහිවන හැමකලම දැනුනේ සතුටක්ය
මතුබවයෙත් එකට ඉමු ! එය පැතුමක්ය

නිරතුරු පෙන්වමින් බුදු දහමේ ගුණය
ආදර්ශයක් විය කාටත් ඔබෙ දිවිය
අම්මේ ඔබට නොපතමි නිවනේ සුවය
ඔබනම් ලැබිය යුතුවන්නේ බුදුබවය..!

08.08.2021

කවිය බලන්න
පෞද්ගලික රෝහල් හිමි සුදනන් පිදුම

පෞද්ගලික රෝහල් හිමි සුදනන් පිදුම

විශේෂඥ වෛද්‍ය උදාර කුලරත්න එක්සත් රාජධානිය

වසංගතේ ආදා සිට නොමැත සිනා
පවන් පොදත් නොමිලේ දෙන කුළුණු ගුනා
ගහෙන් වැටුන මිනිහා ලෙව කෑව ගොනා
දෙතුන් වර නිවන් දැකුමට සදනු මෙනා

ගෙවාගත නොහැකි දන වුව පිළිගන්නේ
දිවා රෑ දෙකෙහි ජන හිත සුව දන්නේ
වවා ගෙන පළා කොල පමණයි කන්නේ
සුවාසූ සහස් දෙවි ඔබ රැක ගන්නේ

දැයේ පිනට වියත් දසුන් ලද අපට
බයේ සිඳු ගැලූවද අඳනය කුමට
ගියේ නම් දිනෙක ලෝ හැර කල පිනට
තියේ තුසිතයේ කාමරයක් ඔබට

කවිය බලන්න
සරසවි  විමානය......

සරසවි විමානය......

තනිකම දැනී සිත දුර ගිය වෙලාවක
සිතුවිලි අවදි කරමින් කවි කලාවක
පදවැල් ලෙහී පොත් තුල යස රටාවක
සරසවි කුමරි හැඩ කර එමි විමානෙක

හදතුල නිතර දඟ කෙරු පෙම් පුරාවත
කවිකර ලියමි රස මුසු තැන් මවානෙත
සෙනෙහස උසට ලියු කවි දම් බැදීඇත
කවිපොත් තුලම එය ඇත සිත් රිදෝනැත

කවිකම රැගෙන ඉහලට යන දිනක නුඹ
පිසිමින් කදුල ඉනුමැන නෙතු ලඟට සිඹ
දිරියක් වෙලා ලඟ සිටියොත් ලොවට සැඟ
කවිලොව රැජින මම වෙමි තුටු කරන සබ

කවිය බලන්න
දළදා පෙරහැර

දළදා පෙරහැර

මහාචාර්ය උදය ප්‍රශාන්ත මැද්දේගම පේරාදෙණිය

පෙරහැර පටන්ගෙනලු
මේ වසරෙත්
කලකට පෙර
ආසා වෙන් බැලූ පෙරහැර
බලන්නට නොසිතෙයි දැන්
යදමින් කැපුණු තුවාල
ඉදිමුණු පා
ඔසවමින් වේදනාවෙන්
හෙණ්ඩුවේ යඋලින් අනිද්දී
පන්දම් සැරට දෑසින් කඳලු ගලද්දී
ඇදෙන අලි ඇතුන් ගෙන්
කෙසේ නම් ලැබියැකි ද සතුටක්
සියගණ න් නැට්ටුවෝ
දින ගණනක් මහරෑ
උඩපනින්නේ
ඉටුකරන්න ද රාජකාරිය
මෙවන් පෙරහැරක්
බුදු පුදක් වන්නේ කෙසේ ද
බුදුන් මෙය අනුමත කරාවිද
පින් ලැබෙන්නේ කෙසේ ද?
සතුන් ට
මිනි සුන්ට වද හිංසා දී
කිසිදා සතෙකු පිට නොගිය
බුදුන්ගේ ධාතු
ඇතු පිටේ වඩීදෝ
සාදු කියන්නේ කෙසේ ද?
මෙය නම් සංස්කෘතිය
මට එපා ඒ සංස්කෘතිය
මෙය නම් ආගම
මට එපා ඒ ආගම

කවිය බලන්න
සමුගැනීම

සමුගැනීම

වෛද්‍ය ශ්‍යාම කුමාර මුණසිංහ කොල්චෙස්ටර්, එංගලන්තය

මම්මලේ මම යන්න යන්නම්
ආයි නම් හමුවෙන්නෙ නැතිවෙයි
උඹත් උතුවන් කන්ද එක්කම
දාල යන්නට වෙලාවත් එයි

කන්ද වාගෙම මහ බරක් මගෙ
පපු කැනැත්තේ දැනෙයි අඩියේ
මතක් වෙන්නෙම මැණිකෙ ගේ ඇස්
ඇඬූ කඳුළින් ඉන්න තනියේ

හැබෑවට මුණ ගැහුණ නම් මට
මැණිකෙ කෙල්ලව හෙලේ මුලදී
හිච්චි ගේ පොඩ්ඩකින් සෑහී
කුඹුරු කරනව හිඟුල ළඟදී

බැරිවෙලාවත් බේරුණොත් උඹ
මගේ හිත ඇගෙ ළඟම කියපන්
උඹෙත් අමනාපයක් නැත්නම්
අනේ ඒකිව හොඳින් බලපන්

කවිය බලන්න
ලෝවැඩ සඟරාවේ සිත්ගත් කවි

ලෝවැඩ සඟරාවේ සිත්ගත් කවි

වීදාගම මෛත්‍රිය නා හිමි

දවසක් පමණ සිල් රැකි කුලඟනක් පෙරා
දහසක් සුරඹ පිරිවරමින් රුවින් සරා
තවසක් දෙවිඳු ළඟ සිරි විඳි නිරන්තරා
විගසක් එ සිල් තොර නොකරව් සිතින් දරා

පූර්වයෙහි එක ම දවසක් සිල් රැක්කා වූ ස්ත්‍රියක්, දෙවඟනන් දහසක්
පිරිවරා ගෙන, රූපශ්‍රීයෙන් ද අග්‍රව, මේ දක්වා ම සක් දෙවිඳු සමීපයෙහි
සම්පත් විඳියි. ඒ හෙයින් ඒ ශීලය ස්වල්පයකුත් නොබිඳ සිත්හි
දරමින් ම රක්ෂා කරව් .

කවිය බලන්න
සුභාෂිතයේ සිත්ගත් කවි

සුභාෂිතයේ සිත්ගත් කවි

අලගියවන්න මුකවෙටි තුමා

අබරණ සමඟ සිටි පිරිවර ද තම වෙත
නොදෙරණ තැන යෙදුවොත් නොමවේ දිමුත
කොපමණ රජ ඉසුරු ලදුවත් මුළු දියත
සිළුමිණ සරණ බඳ හොත් අපහස කරත

ආභරණත්, තමා වෙත සිටින පිරිවර ජනයාත් නුසුදුසු
තැන්වල යොදනු ලැබුව හොත් කිසි බැබලීමක් නැත.
මුළු ලොවේ කොපමණ රජ සැප ලැබූවත් චූඩා මාණික්‍යය
පයෙහි බැඳහොත් ඒ රජු අපහාසයට ලක් වේ.

කවිය බලන්න
මගේ ලංකා

මගේ ලංකා

චමිලා නවගත්තේගම ලන්ඩනය

රන් සළු පරයන දිනිදු උදානය මුළු ලෝකයටම රැව් දෙනවා
කන් කළු රාවය ගීත උදානය මොහොතින් මොහොතම සුව දෙනවා
රන් සළු රාගය ගෙනවිත් ලෝකය මොහොතින් මොහොතම වැනසෙනවා
සුන් වුනු ජාතිය යලි පුපුදින්නට මොහොතින් මොහොතම ලත වෙනවා

මුල අග නොදන්න ජාතිය කුමටද කොච්චර ඌවත් මහත්වරුන්
අතිතයට ගොස් බැලුවෝතින් අද ඉන්නේ නම් රෝබෝවරැන්
සිංහල නුඔ අද ඉංගිරිසි රැල්ලට හසුවුනිදෝ මගේ පුභු පුතුන්
හෙළබස දෙස ගැන හඩක් නගන්නට නැගිටිනවද මගේ වීර පුතුන්.

පිංවත් ලක් මව සුරකින්නට අද එකතුව අත් වැල ගෙන දෙන්නේ
හිතුවොත් ඒ ගැන පැතුවොත් සැමදින සුර විරුවන් මයි බිහි වෙන්නේ
මැරැවත් රට ගැන හිතමින් වෙහෙසෙන මේ ලක් දෙරනේ දරු වන්නේ
වියපත් ලක් මව රැකගෙන ලොවටම දිරිය දියන් ලක් දු පුතුනේ

කවිය බලන්න
දෙගුරුන් වඳිමි අදරින්

දෙගුරුන් වඳිමි අදරින්

මොනිකා නානායක්කාර බණ්ඩාරගම

මව්නට පියතුමට නැමඳුම දී නිතර
ගුරු ඔවදන් ලබමු ලැබගෙන සිප් සතර
ගුණවත් කමින් බබළන දරුවන් අතර
මුල්තැන ලබා ගමු සිරිලක බිම පතර

පෙව් කිරිවලට රන් දා බිඳු ගත සේදූ
දෙමු දරු සෙනේ මෙත් කරුණාවෙන් ඈදූ
ගව්රවයෙන් යුතුව ගුණ කඳ දැක මෝදූ
මව්පිය දෙපල මම නමඳින්නෙමි සාදූ

2021 . 08 . 29

කවිය බලන්න
ඉතින්  මාත් තවමත් එහෙමය

ඉතින් මාත් තවමත් එහෙමය

ඉතින් ඔබ ජීවතුන් අතරය,
මාත් තවමත් එහෙමය ...

ආදාහනාගාර දුම් කවුළු අතරින්
අහසට දිනපතා නික්ම ගිය
ඒ විසල් ගණනට එක් නොවී
බේරීම පිළිබඳ
වරදකාරී හැඟුමින් තැවෙන්නට
තවත් දවසක් උදාවී ඇත

හාත්පස පැතිර යන
අවිනිශ්චිතභාවයේ
කෙඳි වලාකුළු මැදින් හිඳගෙන
තඩි බත්පත් තුනක් බෙදාගෙන කන්නට
තේ කෝප්ප පහක් හිස් කරන්නට
ෆේස්බුක් වේදිකා මස්තකයට නැඟී
නැට්ටුක්කාරියක් විහිළුවට ගන්නට
වෙනකාට හෝ උත්තුංග මානව දයාවෙන්
කොමෙන්ටුවක් දන් දෙන්නට
සිවිලිමේ සිටින හූනෙක්
මදුරුවන් ගිලින හැටි දෙස
අනිමිසලෝචනයෙන් බලාගෙන
තවත් නිදි නැති රැයක් ගෙවන්නට

ඉතින් ඔබ ජීවතුන් අතරය,
මාත් තවමත් එහෙමය ...

පල්ස් ඔක්සිමීටරයක
ඉලෙක්ට්‍රෝන ප්‍රෝටෝන නියුට්‍රෝන අතර
මිනිස් ජීවිතයක ඉරණම තීන්දු වන හැටි බලන්නට
ඔක්සිජන් පරමාණු ඉදිරියේ
මහා ශිෂ්ටාචාරයක් වැඳ වැටෙන හැටි බලා ඉන්නට
ජීවත් වන්නන් කෙරේ ශෝක උපදව උපදවා
මළවුන්ට ඊර්ෂ්‍යා කරන්නට
ඒ ටික පවා කෙළින් කියාගනු බැරිව
කවි පෙළක සඟවා කඳුළැලි හෙළන්නට

ඉතින් ඔබ ජීවතුන් අතරය,
මාත් තවමත් එහෙමය ...

කවිය බලන්න
පෝරකය

පෝරකය

ගයාන් නිශ් තිස්සමහාරාම

කළුවර වැතිර ඇති
අඳුරු කුටියෙහි අග
සක්මන් කලත් සිත

අතීතයේ දින ගැන
පසුතැවී කුමටද බව
ප්‍රශ්න කරයි තනිවම

ඒ අන් කිසිත් නිසා නොව
කල වරදට දඩුවම නියත
බැව් පෝරකය ඔහුට කීමය..

කවිය බලන්න
කතාවක බිංදුවක්

කතාවක බිංදුවක්

මහාචාර්ය ජගත් ප්‍රේමචන්ද්‍ර කොළඹ

ඒ හිඳුනෙ ප්‍රේමයක අන්තිම ම බින්දුවයි
නුඹට ඉතිරිව තිබුණෙ හුස්ම එක බින්දුවයි

“බින්දුවක් ළඟ ඉන්න මට ඕනෙ එච්චරයි”
යැද්දෙ නුඹ බින්දුවක් නාඳුනන මගෙන්මයි

වැහි බිංදු කටු පොළොවෙ ඉරි පැලුම් යා කරයි
හිනා බිඳු වැක්කෙරුනෙ වක්කඩක් කැඩු නිසයි

බිංදුවෙන් අනන්තෙට මගේ උරහිස නුඹෙයි
මං වැටුනෙ අනන්තෙන් බින්දුවට නොදැනිමයි

හීන් හිරි පොදේ නුඹ රැඳුනෙ මගෙ උණුහුමෙයි
ඒ මතක බින්දුවක්වත් නුඹට නැති හැඩයි

ඒත් නුඹ අන්තිමට දුන් බිංදු සුන්දරයි
පන්හිඳේ තුඩ අගින් කවි බිංදු සේ වහියි

කවිය බලන්න
සතුට

සතුට

නිලන්ති පෙරේරා කඩවත

හිනාවෙන්....පුත...දුවේ..
මිණකි ඔබ.. මව් බිමේ....
ඉපිලී..ඉපිලී..හෙලන් මුවගින්..
හදවතේ...ඇති සුවේ..

තනාගන්නට.. දිනන ලොව.. හෙට..
යන්න නැණ ගුණ සොයා..
ලබන්නට ජය.. හිතට ගත යුතු..
ඔබේ හැකියාවම සොයා..

සැමට සෙනෙහස ..හෙලන විට නෙතු..
සතුට එයි...ඔබ කරා.
ජය කෙහෙලි ලන ..මග හොදින් දැන..
තුටින් යනු ..දිවි දිනා...

කවිය බලන්න
ගමනාන්තය

ගමනාන්තය

යන මග කෙළෙවර නොපෙනේදෝ ?
ඉමක් නැති කොනක් නැති මේ ගමනේ
ඇයිද අප මෙතරම් තැවෙන්නේ ?
වෙස් මුහුණක් දා ජීවත් වෙන්නේ

Can you not see where the end is?
On this road with no beginning or end
Why do we fret so much
Leading a life behind a mask.

කවිය බලන්න
සිරකරුවෝ

සිරකරුවෝ

සුනිල් පෙරේරා ලින්කන්ෂයර්, එංගලන්තය

‘සිරකරුවෝ මිනිස්සුන්ය’ කියා ලා
තියෙනවාලු හිරගෙදරක ලියා ලා
‘මිනිසුන්ගේ සිරකරුවෝ’ කියා ලා
අප ගැන නැහැ කවුරුන්වත් හිතා ලා

චෝදනා නැතුව අප හිර කරන් මෙ හේ
තියාගෙන ඉඳී අවුරුදු ගණන් ඔ හේ
අප බලන්න නාවත් අපෙ එවුන් රැ හේ
මිනිස්සුන්ගෙ අඩුවක් නැත කිසිම දො හේ

මුදල් ගෙවා එන උන්ගේ සතුට සදා
කැමති නැතත් ඉන්නට වෙනවා නො නිදා
කෑම බීමවල අඩුවක් වුනත් මෙදා
වැඩ වර්ජන කරන්න බැහැ සමිති හදා

හිටියේ අපිත් සතුටින් එකටයි කැල යේ
ගස්වැල් බෙන ගුහා අහසේ හා ජල යේ
මෙහේ අපට ඉන්නට කූඩුවක් ති යේ
සිර කෙරුවාට මිනිසුන් ඇත අපට බ යේ

තිබුනට හොඳම කල්කිරියාවක් අපගෙ ත්
නිදහස කියන්නේ විහිලුවකිය වැදග ත්
ජනපති තෑගි ලෙස සමහරු නැව් නැග්ග ත්
මේ වගෙ තැනකමලු අන්තිම හුස්ම ගියෙ ත්

මිනිස්සුන්ගෙ ලඟ ඉඳලා උන්ගෙ ග ඳ
කැලයට ගියත් කිසිදා මග ඇරේවි ද
අපේ උන්ට අපව මතක තියේවි ද
මරණය සැපකි මෙතනම කූඩුවේ ඉ ඳ

08/08/2021

කවිය බලන්න
මගෙ ආලෝකෙ

මගෙ ආලෝකෙ

ප්‍රීති පෙරේරා තලවතුගොඩ

සුහද පැතුමන්
විරහ සුසුමන්
නෙක පදවැල් කිමිද
සවන් පිනවමින්
සැනසුනෙද මා..

සිත විඩා දෙන
නිසල යාමයේ
තත්සර හඬවමින්
ස්වර හරඹ පාමින්
සැනසුනෙද මා..

සැඟව ආ ගිනි පුළිඟු
පාරවයි සිත්සතන්
වරින්වර දිනෙන් දින ...
මගෙ ආලෝකෙ නිම වේද
සැනසෙම් කෙසේ

2021 අගෝස්තු

කවිය බලන්න
කිවිපති පුජ්‍ය මීගහවෙල සුමන ශාන්ත ස්වාමීන් වහන්සේ

කිවිපති පුජ්‍ය මීගහවෙල සුමන ශාන්ත ස්වාමීන් වහන්සේ

ශාස්ත්‍රපති කිවිපති නන්දසේන පලිහක්කාර කොළඹ

අගනුවර තරුණ කවි සමාජයේ පැවිදි අනුශාසක වූ කිවිපති පුජ්‍ය මීගහවෙල සුමන ශාන්ත ස්වාමීන් වහන්සේ අගෝස්තු මස 28 වෙන දින අපවත් වූහ . ශ්‍රී ලාංකිකයින් දහස් ගණනක් ගවමස් කෑමෙන් වැලක් වූ , නිහාල් නෙල්සන් ගැයූ, 'කිරි දුන්නේ දරුවන්ටයි සිරුරෙන් ඈගේ ' ගීතය රචනා කල උන්වහන්සේ ගේ අභාවය සිංහල කවියට පිරිමැසිය නොහැකි අඩුවකි. තවද අදටත් ශ්‍රිලංකාවේ ජනප්‍රියතම ගීතයක් වන ලස්සනට පිපුණු වනමල් ගීතය ද උන්වහන්සේ ගේ ය,   උන්වහන්සේට අජරාමර නිවන් සුව ප්‍රර්ථනා කරමු!

කවිය බලන්න
අපත් ඔබ මෙනි -ඔබත් අප මෙනි ..

අපත් ඔබ මෙනි -ඔබත් අප මෙනි ..

වෛද්‍ය පද්මලාල් පතිරගේ නුගේගොඩ

ඈත දුර සිට මෑත වෙරළට
පෙරළි පෙරළී ඇඔරි ඇඹරී
නීල සමුදුර පරදවාලා
නොනැවතී ඔබ ගලා එන්නේ.

ඈත සිතිජය වෙතින් නැඹ හා
එක්ව සතුටින් ගී ගයන්නද
රුදුරු වැලි තල හා සටන් වැද
ඈත දියඹට නැවත යන්නේ.

මැරී ඉපදී යළිත් සැනසී
ඈත දිස්වන රුදුරු දියඹට
ගලා යන මුත් කිසිඳු දිනයක
ඔබට හමුවිය නොහැක ඒ නැඹ.

පැතුම් හදවත් තුල දරා ගෙන
කාලයේ වැලි තලාවක් මත
මැරී ඉපදී යළිත් සැනසී
ජීවිතය ජය ගන්න දිවයන
අපත් ඔබ මෙනි - ඔබත් අප මෙනි.

කවිය බලන්න
නැතිඋන කසාය සීට්ටුව

නැතිඋන කසාය සීට්ටුව

සුනිල් ලීලානන්ද පෙරේරා රත්නපුර

"ඔහෙ ඇති උනක් නෑ"
මැල්ලුම් ලියලියා හිටිය අත,
කිමෝනාවෙන් පිහපිහ,
පිට අල්ල නලලට තියතිය
"උන බැළුව"
අම්මා තවත් නෑ මා ලග.

"කෝකටත් මේ කොත්තමල්ලි ටික
ගුණ වැඩි උණු උණුවෙ
බොන තරමට"
වෙනිවැල් ගැටත් පදමට,
කළු සීනි ඇබිත්තක් අල්ලට.

වකුටුව නිදන මා අසල
අම්මා තවත් නැතිකොට
ආරෝග්‍යයා පරමා ලාභා
දැනෙනවා
බණ පොතේ නැති තරමට.

ඉහනිකටත් පැහුන,
මගෙ බත් පත
කිරා මැන බල සුද වැහුන
දෑසින.
බාරොන් සිල්වාගේ
සිංහල බෙහෙත් බඩු කඩයට,
මටත් රහසේම යන,
බෙලි පස් පංගුව
කිරාගෙන එන,

දර පෙනෙලි කොට එක්කර,
ලිපට පිඹ පිඹ,
මුට්ටි පොඩියක
තනියම කසායත් සිඳ,
අනුපානෙට මී පැනිත් එක්කොට
බෙලෙක් කෝප්පය
මා අත තබා,
බොනකල්ම
මා අසල කල්මරණ,
තාත්තත් නැතිකොට
ආරෝග්‍යයා පරමා ලාභා
දැනෙනවා
බණ පොතේ නැති තරමට.

කවිය බලන්න
මගේ රට ඇසින් නරඹන්ට මට දෙනු වරම!

මගේ රට ඇසින් නරඹන්ට මට දෙනු වරම!

තුරු ලතා නිරුවතින් සිටියෙ මේ පෙර දිනේ
දුරුතු සඳ බැබලුනේ, නව පැතුම් ගෙනෙමිනේ
ඒ පැතුම් තුරුලු කර සිහිනයක පැටලුනේ
මෙ වස අට මසක් කොහෙ ගියෙද සොයමිනේ!

නවම් සඳ පෙනෙන්නේ, පැතුම් පිරි දෙනෙතකින්
අතු රිකිලි හරිත වන පනිවුඩය ගෙන එමින්
මැදින් මස බැබලුනේ හදට සුවයක් දෙ මින්
"පැතුම ඉටුවේය හෙට දිනක" යයි ඇති සිතින්

නැතත් කුසුමන් පිපුනෙ එරබුදු වෙ රත රතට
රෝස මැග්නෝලියා පිපුනි, බක් මස සඳට
කොහා හඬ නොඇසුනත් මේ ශීත බටහිරට
ඇසුනි අවුරුදු කුමරු ගෙනෙන සුබ පුවත මට!

තවම නෑ මගෙ පැතුම සිහිනයෙන් හැර යන්නෙ
වෙසක් සඳ බල බලා පැතුම යලි මතුවෙන්නෙ
මලින් පිරි තුරු ලතා වෙත බමරු මුමුනන්නෙ
ඒ පැතුම සැබෑවෙන බවද ඒ පවසන්නෙ?

අහස නිල්වන් තවම, පොසොන් සඳ මතුවුනා
පල බරවු රුක් සමඟ මගේ හද බරවුනා
ඇසල සඳ පායමින් පැතුම් යලි නව උනා
තවම නිසි කල් එළඹ නැති බවක් වැටහුනා.

නිකිනි මස එළඹෙන්නෙ වැහි කුමරි හඬවමින්
මහනුවර දලද හිමි පෙරහරින් යන සෙමින්
සිත් තිරය මත වැටෙන දසුන යලි නරබමින්
පැතුම මගෙ සැබෑවෙනු ‍නේද? හෙට දින සොඳින්

මෙලොව ඇති සියලු දන, සතුන් ලොකු කුඩාවන
කොවිඩ් හට ගොදුරු වුන කරුණ අවසන් කෙරෙන
දිනය අත ලඟය, සඳ බිනර මස බබලවන
මගේ රට ඇසින් නරඹන්ට මට දෙනු වරම!

කවිය බලන්න
දෙව්ලොව ගිය අත්තම්මා

දෙව්ලොව ගිය අත්තම්මා

නදී රුබසිංහ මාතර - ආදලුව

දත් ටික වැටී ගත රැලි වී වෙව්ලුවට
නුඹේ උණුහුම දැනුනා පෙර ලෙස අපට
කාමරයේ කෙඳිරිලි හඩ ඇසෙන විට
ශක්තිය වුනා නුඹ තවමත් සිටින වග

කවා පොවා නහවා හිස පීරු විට
කිසිවක් කතා නොකරා ඔබ සිටියාට
වෙහෙසුනෙ ඔබට තව ආයුෂ ගෙන දෙන්ට
අහෝ දුකකි ඔබ ගියෙ ඇයි දෙව් ලොවට

ඔබ නැති අඩුව දැන් දැන්ගෙයි පාළුවට
දැනෙයි මහ තනිකමක් ගෙල සිරකරන වග
ගෙමිදුලේ නුඹේ වතුසුදු මල් වැටද
මග නෙත් යොමයි ආයෙත් නුඹ එන්නැතිද

දෙව් විමනේ පරසතු මල් සුවද හමනවද
එය විදගන්න අප තවමත් දුර වැඩිද
ඔබ ගොස් එහි දැන් දොළොස් මසක් ගත වීලා
අපි නැති අඩුව නූඹටත් එහි දැනෙනවාද

දං පිං දී නුඹේ ගුණ කඳ සිහි කරන
නුඹේ වියෝවෙ දුක මෙලෙසින් යටපත් කරන
පතන බෝධියෙන් මොක්සුව ලැබගන්න
පතමි එක් සිතින් මම මෙලෙසින් ඔන්න

මගේ ආදර අත්තම්මා.

කවිය බලන්න
සැලළිහිණි සංදේශයේ සිත්ගත් කවි

සැලළිහිණි සංදේශයේ සිත්ගත් කවි

තොටගමුවේ ශ්‍රී රාහුල හිමි

වඳිමින් සවස නල හැසිරෙන දිගතුවල
සොබමන් සුනිල් මිණි නිල් නුබතුරු විපුල
පතසන් අවර ගිරි නැටියෙන් වැටෙන කල
විලිකුන් සුරත් පල වැනිවේ රිවි මඬල

බබලන ඉන්ද්‍රනීල මාණික්‍යයක් මෙන් නිල් පාට වූ, විශාල අහස නමැති
වෘක්ෂයෙහි දිසා නමැති අතුවල හැසිරෙන්නා වූ, සන්ධ්‍යා සුළඟ
වැදීමෙන් බටහිර දිශාව නමැති නටුවෙන් ගිලිහෙන්නට ලං වූ ඉතාම
ඉඳුණු රතුපාට පළතුරක් වැනිය හිරු මඬල .

කවිය බලන්න
ලෝකෝපකාරයේ සිත්ගත් කවි

ලෝකෝපකාරයේ සිත්ගත් කවි

රණස්ගල්ලේ නාහිමි

සීනෙන් ගැලවෙන්ට
නො පිළිවනි කො තැනක සැඟවුනත්
එ මෙන් නිරිඳුන් හට
වරද කළවුන් වදින තැන් නැත්

කවර ස්ථානයක සැඟ වුනත් සිහිනයෙන් ගැලවෙන්නට නොහැක.
ඒ පරිද්දෙන් රජවරුන්ට විරුද්ධකම් කළ අයට සැඟවෙන්නට
තැනක් නැත.

කවිය බලන්න
ඉතින් ඇති

ඉතින් ඇති

ප්‍රීති රන්දෙණිය

තිස් වසක යුද්ධය ක්
මියගියේ මිනිසුන් ය
මොහොතකින් සුනාමිය
බිලිවුනේ මිනිසුන් ය
පල්ලියේ පාස්කුවෙ
අලු වුනේ මිනිසුන් ය
කොරෝනා නුඹ ත් දැන්
ගෙනියන්නෙ මිනිසුන් ය
නවතින්න මාරයෝ අපි බොහොම අසරණයි
ලක් අම්මා අඩනවලු
ඇකයෙ නැති ලූ ඉඩක්

මැරෙන විට දමන්නට මුවට දිය ඇබින්දක්
හුස්ම පිට කරන විට දකින්න ට නෑ කෙනෙක්
යන විටදී කියන්න ට දයාබර වචනයක්
අනේ ඉඩ දෙන්නෙ නැති මේ පුදුම රෝගයක්

නොමල ගෙයකින් ලබනු කෙලෙසකද අබ ඇටක්
විශාලා මහනුවර ඉදිවේද බිය දැනෙත්
මහපොළොව උසුලාද දෙදරාද හිත ගැහෙත්
ඉතින් ඇති කොරෝනා සමුගන්න ලෝකයෙන් ...

කවිය බලන්න
නොකියාම ගිය පියාණනි

නොකියාම ගිය පියාණනි

ජීවිතේ මංසලක
අපව තනි කර දමා
ආ මගින් හැරී
වෙනතක ගියා

බැඳුණු බැමි ලිහී ගොස්
තනිව පිය නඟන විට
ඔබ නොමැති අඩුව
මට තේරුණා

සෙනෙහසත් අපමණයි
හද ගැබේ රඳවා ගිය
ඔබ විටින් විට
එබී හිනැහුණා

හිතේ දුක තද කරන්
සිනාසී හිටියාට
නෙතේ හැංගුණ කඳුළ
ගිලිහුණා

යළිත් ඔබ නේන බව
දන්න මුත් සැක හැරම
ඔබෙ මතක හද කොනේ
සැඟවුණා

කවිය බලන්න
ආයාචනයක්

ආයාචනයක්

චන්ද්‍රා සේනාධීර නවසිලන්තය

ගොහොරු මඩේ ඉපිද
දියෙන් උඩට ඇදෙන
නිල් රතු නෙලුම් කැකුලු
මුදු සුළඟේ පහස විඳිමින්
මෝදු වෙයි
දවසක විකසිතව
බඹරුන්ට හාදු දෙමින්
විල හැඩකර
බුදු බණ සිහි ගන්වමින්
පරවී පෙති ගිලිහී වැටෙයි
රුදුරු දෑතින්
විල නොනසා
මා මෙහි අතහැර
සිතින් සමිඳුන් පුදන්න
සසරේ අප
රැගෙන යන්නේ
කළ පින් පමණි.

04-08-2021

කවිය බලන්න
අතරමං නොවනු මැන

අතරමං නොවනු මැන

හොඳින් එළි පෙහෙලි කළ
කටු පඳුරු ගල් බොරළු
කිසිත් නැති මාවතේ
හිතේ හැටියට නුඹට
දැන් ඉතිං යා හැකිය
අතර මග සල් පිල් ද
සැණකෙළි ද බොහෝ ඇත
පුච්චානම් දොඩන
වෙළඳුන් ද අඩු නැතිව
සිත් සතන් සතපමින්
බොහෝ දුර ගිය පසු ද
නවාතැන් පොළක් තව
හමු උනේ නැති උනොත්,
ගිය පාර මතක නම්
නැවත ආපසු එන්න
තැළුම් ඉදිමුම් නිවන
හුදෙකලා වෙද මැදුර
තවම ඇත අවදියෙන්

කවිය බලන්න
එපා!!

එපා!!

ලලිත් ද සිල්වා නුගේගොඩ

මල්වඩම් මට එපා!
මල් වැනුම් මට එපා !
දෙණ වසා නොපෙන්වා
සොහොන වෙත යෙහෙම්වා

පුතා....දුව...බිරිඳගේ
පැළුණු ළය නොපාරා
පියන් කවුළුවෙන්වත්
යළිත් මා නොපෙන්වා
සොහොන වෙත යෙහෙම්වා

ජීවිතේ මීවිතෙන්
පෙඟූ අය එක්වෙලා
ගල් ගැසුණු සෝ වළා
ඇස් යටින් යට කළා

කනත්තේ දොර ගාව
යකඩ වැට පන්නලා
නැවත සුපුරුදු ලොවට
ඔවුන් යළි නික්මෙලා

පුතා...දුව...බිරිඳ ඇත
ගසක් යට තනි වෙලා
ජිවිතය නැවතිලා
දැන් හොඳට රෑ වෙලා

කවිය බලන්න
මිහිර කොයිබද?

මිහිර කොයිබද?

හිරු රැස් විහිදමින් බැබලෙන ගුවන මත
නිල්වන් වලා පටලය පා වෙමින් ඇත
උනුසුම් සිහිල් සුලඟේ දැවටෙමින් ගත
මා පිය නැඟිමි සුපුරුදු ලෙස උයන වෙත

පෙරදින පිපුනු පියකරු මල් පරව ගොසින්
හිරු රැස් දිලෙයි නව දළු මල් කැකුළු වෙතින්
නව දිනයකට ආසිරි මල් සලන ලෙසින්
බඹරුන් රඟති පිබිදෙන මල් කැකුළු මතින්

බඹරුනි පිපුනු මල් වෙත කොහි සිට එන්නේ
හමු වූ පසුත් ඇයි ඒ මල් හැර යන්නේ
ඇයි මේ තරම් දුර ගෙවමින් වෙහෙසෙන්නේ
කොයිබද ඔබ සොයන සැනසුම පවතින්නේ

පිපුනු මලත්, මල් කැකුලත් අතර සිට
බඹරුනි, යොමු කලේ මා ලෝ දහමක ට
පැතුමත් පැතූ දේ ලැබුමත් අතර සිට
මිහිරේ ඔබව හඳුනා ගත හැකිය මට

Whither the pleasure? - Sam Samarasinghe - Enfield, Middlesex

Clouds were drifting slowly above
The blooming sun was making the blue sky shine brilliantly
As the swift warm breeze was kissing me
I strode along, towards the garden

Beautiful flowers that blossomed the day before
Have perished by now
In their place, new flowers and buds were blossoming
And shining with twinkling rays
To bless the dawn of a new day,

Bees were dancing over the blooming flowers
“Whither thou cometh dear bee, to find these blossoming flowers?
Having met, why do you leave them, so soon?
Why do you endure so much, to come from so far, far, away?
Whither is the joy, the pleasure that you seek?

Seeing a bee hovering between a flower bud
and a blossomed flower next to it
I discerned a fundamental law of nature
Oh, joy, pleasure or whatever you call yourself,
I find you in the transient stage between
The act of wishing and accomplishment of the wish.

කවිය බලන්න
කතකගෙ නුවන

කතකගෙ නුවන

ගී පද රචිකාවී සමන්මලි සේනානායක එක්සත් රාජධානිය

හැදිමිටෙ දිගයි ගැහැනියගේ නුවන කියා
කීවත් සිතමු තව දුරටත් හොදින් සිතා
හොද්දට හරිම ලුනු ඇඹුලේ පදම තියා
ගන්නා නිසාවත් කීවද මෙහෙම කතා

හැකිනම් දරන්නට බෝසත් පුතුන් කුස
දරනට හැකිත් නම් ඔටුනක් හිසෙහි මත
පැදවිය හැකිත් නම් යානය ගුවන මත
තව මොනවදෝ ගැහැනිය නොකරනා වැඩ

හැකිනම් දෙන්න ශිල්පය මහ වියතුන්ට
ගන්නට හැකිත් නම් ගිහි ගෙයි බර හිසට
ලබනට හැකිත් නම් මහ රහතන් ඵලය
තව මොනවා සිතන්නද ගැහැනිගෙ නුවන

කවිය බලන්න
නොකියූ රහසක්

නොකියූ රහසක්

එස් එල් සෙනෙහෙධීර ලෙච්වර්ත් - එක්සත් රාජධානිය

නොකියූ රහසක්

සිහිගිරි බෙයද ඇය තුනුසපුවෙන් සරසා
හදපිරි පෙමක සැමරුම් සිතුවමෙන් වසා
රසපිරි සමය ගෙවු විඳ ඇගෙ රස පහසා
ඇසපිරි කඳුළු මැද සඟවා ගනු කෙළෙසා

පෙළක් ලඳුන් ඇත උඩුකය වසාගෙන
මලක් රැගෙන ඇය තිසරුන් විදාගෙන
කුමක් වීද නොම දැන යන එනා දන
දහක් දේ කියති සිතුවම් බලාගෙන

මල්කම් අඳින්නට වාසල කුළුණු හිස
කැඳවුම් ලදිමි සුපසන් සිත්තරෙකු ලෙස
ඇමතුම් හඬකි කුටියෙන් එන අග මෙහෙස
ඇරැයුම් ලදිමි ඇයගෙන් නවතිනා ලෙස

සිය සිය ලඳුන් යහනට කැඳවනා රජෙක්
ළය හඳුනාද මිස රන්කුඹු ලෙළෙන ලැමක්
සිය හිමිසඳුගෙ සෙනෙහස නොලබනා ලඳක්
ගිය මුත් වෙනත පවසනු හැකි වේද දොසක්

දිවා කලට මල් නෙලුමට යන විලසින්
මුවා වුනෙමු ලෙන් මල්ගොමු අතර සැණින්
නිවා පහන් රෑ බෝවූ කල නොලසින්
පවා ඇදුනි මා වෙත යෙහෙළිය සමගින්

සරදම් ලෙස රජුට පෙන්වා ගැහැණු කම
සිතුවම් කරන්නැයි ඇගෙ රුව තැනක හැම
අයැදුම් කළෙන් ගළවා සළු වැසුණු ලැම
සිතුවම් නොකර ඉන්නේ කෙළෙසකද මම

රැකගනු නොහැකි දා සිය පියබඳ නෙරිය
සිඳගනු මිසක ගෙළ සියතින් වෙන බැරිය
වැළපුණු නිරිඳු නිම කළමුත් දිවි සැරිය
පැමිණුනු මුගලමෙක් නැහැ වෙත සිහිගිරිය

කවිය බලන්න
ප්‍රේමය මෙයද?

ප්‍රේමය මෙයද?

හරිනි උත්පලවන්නා සුමනසේකර කොළඹ

කෙතරම් අවැසි මුත් මට ඔබ දකින්නට
බොහො දුර ගොසින් ඇත නෑ නෙත ගැටෙන්නට
ගොලුවූ සදලුතලයෙම ඇති හිස් තැනට
මගෙ දුක පුරමි දරමින් එය උතුරන්ට..

පෙරදා ඇසුණු හඩ අද නෑ මට ඇසුනේ
ඔබගේ මුහුණ නෑ අද මට එහි පෙනුනේ
අහසත් කලුව ගිගුරුම් දී වැලපෙන්නේ
වැලපුම් කඳුළු දෝ මහ වැහි වී එන්නේ

පෙරදා ඔබේ සිනහව මට සිහිවන්නේ
ඔබෙ රුව මැවි මැවී ආපසු නැතිවන්නේ
විදුලිය ලෙසින් මා මුලු ගත සසලෙන්නේ
ප්‍රේමය මෙයද නැත මා හට වැටහෙන්නේ......

කවිය බලන්න
හෙමින් සැරේ පියාසලා......

හෙමින් සැරේ පියාසලා......

දීපා ද සිල්වා ලන්ඩනය

අදුරු වලාකුළු අස්සෙන් හෙමිහිට රිංගාන
නොපෙනෙන මං පසුකරමින් නොදැනිම බඩගාන
සීතල පිනි මුතු වැස්සට හොරෙන්ම හිස පාන
අරුණ එක්ක ඉගි කරමින් මවන සොදුරු හීන

එහේ මෙහේ ගතු කියමින් හුරතල්කම් පෙන්නා
දා බිඳු සිසිලස් පහසින් පිරිමැද සෝ නිවනා
කිහිඹුලතා දඟ කරලා අඩ සඳ පිරිමදිනා
හිත පතුලේ පෙම් හැඟුමක් මෝදු කරන් යන්නා

ගුවන් ගැබේ වලා කැරලි වටේට කරකවන
ගම් බිම් කෙත්වතු පූදින මල් වැස්සක් මවන
කොපුල් තලා ගලන කදුළු එක පාරම සිදින
සොදුර නුඹ තමයි සැමදා දුක් සංකා අහන

සී පද රාවයට තාල අල්ලන වී පදුරේ
නව මං පෙත් යා කරන්න සිතනා මල් පොකුරේ
ගලාන යන ගං දිය රැලි පෙන නංවන වතුරේ
සවන් පිනන ගීත නාද ඇසෙනවාද මිතුරේ

නෙක පාටින් බබලන මුදු කඩදහි උඩ අරින
සිනා කිකිණි පුංචි මුවේ මුදු හසරැලි මවන
අලස කමට තුරු හිස් ලඟ එහෙට මෙහෙට වැනෙන
රුදුරු වෙසක් මවා සැවොම බිය වද්දා දුවන

බෝ පත් බන පද කියමින් හෙමිහිට සෙලවෙන්නේ
බැඳි දද පෙළ ඒ තාලෙට බවුන් වඩන් ඉන්නේ
වැලි මළුවේ පින්පාටට පුන් සද හිනැහෙන්නේ
හද නිවනා ඔසුවයි මේ නොදැනිම දැවටෙන්නේ

කවිය බලන්න
දියණියකගේ විලාපය

දියණියකගේ විලාපය

තුසිතා සුරේකා මීගමුව

ඉෂාලිනි අම්මෙ මන් නුඹට මතකද මන්ද
නුඹේ ණය හිලව්වට මාව කෙනෙකුට වික්ක.
මගෙ වැරලි ඇදුම් ටික නුඹම අසුරා දුන්න
මං අරන් යද්දි දුක හිතුනෙ නැද්දෝ මන්ද.

පොඩි මගෙන් නොසෑහෙන වැඩක් උන් අරගත්ත
ඇස් කෙවෙනි රිදෙනකම් නුඹ එතැයි මග බැලුව.
කිසිම දා මට ගමට යන්න බැරි බව දැනුන
ලැයිමෙ පොඩි කාමරේ සුවද නැහැයට දැනුන.

නුඹට මතකද මන්ද සින්න දොරේ ගේ අප්ප
බඩ මහත කොන්ඩෙ අඩු හිනාවෙන්නැති උන්දැ
ඒ වගේ කෙනෙක් මගෙ ලඟට රැයකදි ආව
එදා මහ වැස්සකුත් ගොරව ගොරවා වැස්ස.

ඒ පරලු අත් වලින් මාව මිරිකා ගත්ත
හැම තැනම මගේ ඇග විකල මට වද දුන්න
අත අරින්නට කියල ඉල්ලද්දි කෑ ගහල
උගෙ වියරු වුන කාමෙ මගෙන් සිදවා ගත්ත.

නොතේරෙන ගොඩක් දේ කරන්නට මට වුනා.
කෑ ගහල අඩල මන් යන්න දෙන්නට කිව්ව.
බංගලාවේ නෝන මාව ආයෙත් වික්ක
ගින්නෙ පිච්චෙද්දි ඒ දුක සැපයි මට හිතුන.

සේයලා, විද්‍යාල, උමාදේවිල සැවොම
ඉන්නවා මගේ ලඟ තනිකමට අසලින්ම
නුඹේ ණය ගෙව්ව මම හිතේ කහටක් නැතුව.
අම්මෙ සතුටින් ඉදින් කිසිම පරහක් නැතුව.

කවිය බලන්න
වස්සානය

වස්සානය

සිහිවෙයි මෙහෙණි සාසනයේ බිහිවීම
වස් වසනා වස්සානයෙ මුලදීම
මහියංගනෙන් එන සුළගත් ඇති තාම
පෙන්වන බිනර අසිරියෙ සිරි පෙරසේම

කවිය බලන්න
සදා නොවෙනස්

සදා නොවෙනස්

නුවන් තොටවත්ත

පරණ පොත් හල් අතර
ඉඳ හිටක සරන විට
බොහෝ පොත් මුණ ගැසෙයි
අපරාජිත ප්‍රේමයන් ගැන

මුල් පිටුව කෙලවරක
නිතර දක්නට ලැබෙන
නොමැකෙනා ලෙස ලියූ
අත් අකුරු දෙපෙලක් ය

"මීට සදා නොවෙනස්.."

යටින් ඇති පේලියේ
මකන්නට නොහැකියෙන්
සොයන්නට බැරි ලෙසින්
කුරුටු ගෑ නමක් ඇති

කවිය බලන්න
දික්කසාදය

දික්කසාදය

ශ්‍රියානි උඩගංගොඩ මහනුවර

හිනා වුන නෙත් වලට කදුළු උණුසුමත් දී
කතා කල දේ තිබුනු අතීතෙට තිතක් දී
ලියා අත්සන් කරපු පොරොන්දුව ඉරෙද්දී
යලිත් අත්සන් කලා වන්දියක්‌ යදිද්දී

වසන්තය ඉරිතලා ඉඩෝරය එබෙද්දි
මල් පියලි කිසිත් නැත දර ඉපල් දකිද්දී
වැස්සකට ඉඩක්‌ ඇත අහස් කුස කියද්දී
කුමට නම් හිරි පොදක් අහසෙ හෙණ ගසද්දී

රන් හුයක්මැ'යි සිතූ කහ පාට නුලකින්
ඇගිලි තුඩු එක්කළේ කාගේදෝ නැකතකින්
බැංකුවට සින්න වූ සලකුණත් නැති අතින්
සිතක් නැති කයක් ලෙස පිටවුණා දොරකඩින්

පිරිවරා ගෙන ඇවිත් නෑසියන් හතරතින්
සිලෝ ගී මැද එදා මොණරියක් සේ තුටින්
තැබූ පය සීරුවට එලූ පිරුවට උඩින්
පිටුපසට තැබුවාය ලෝකයට හොර හොරෙන්

කවිය බලන්න
සඟවාගන්න රුව

සඟවාගන්න රුව

වෛද්‍ය කමල් විතාරණ කොල්චේස්ට - එංගලන්තය

රුව ඇති මලක් බමරුන් නෙත ගැටුනාම
රොන් ගන්නට ඇදෙයි මල වෙත ඉඳුරාම
පියඹා ගියොත් උන් කාටත් නොකියාම
රුව කුමකටද නැහැ සුවදක් මල ගාව

රොන් ගන්නට ඇදෙන බමරුන් දුටුවාම
උන් නැගු ගුම් නදට රහසේ ඇලුනාම
සගවා නොගත හොත් රුව ඇගෙ නොපමාව
නොහඬා ඉන්න බැරිවෙයි රොන පිදුවාම

කවිය බලන්න
අස්වනු නෙලන රාත්‍රිය!!!!!

අස්වනු නෙලන රාත්‍රිය!!!!!

ලුම්බිණි විතාන ලන්ඩනය

අදලු ඒ දවස......
අස්වනු නෙලන රාත්‍රිය
ඉතිං අත් පටලගෙන
සැරසෙමු වෙන්වෙන්න

ඒ සුන්දර රාත්‍රියේ.......
තව ටික දවසකින්
මේ හැම තැනක්ම හිස්
හිරැ ආදරයෙන් සිප වැළද ගත්
මේ රන්වන් කරල්
අටු⁣ කොටු වල හිරවෙනු ඇති.
එතෙක් එන්න......
අපි තුරැළුවෙලා
සිප වැළද ගමු
රහස් මුමුනමු
අදලු ඒ අස්වනු නෙලන රාත්‍රිය!!!!!

කවිය බලන්න
අපෙන් ගන්න මල්, අපෙන් ගන්න මල්

අපෙන් ගන්න මල්, අපෙන් ගන්න මල්

ශාස්ත්‍රපති සුඛිත විජයමුණි ලන්ඩනය

කිරිවෙහෙරට හිරු දෙයියොත් ඇවිල්ලා
මල් වට්ටි ටික බලන්න බැහැ පරවෙනවා,
හෙට පුතාගෙ පොත් ලැයිස්තුව ඕන හින්දා,
දරා ඉන්නවා පින්වත් නඩයක් එනතුරා,

වන්දනාවෙ තරුණ ලමයි හුඟක් ඇවිල්ලා,
සුදු පිරුවට ඇඳගෙන ශ්‍රද්ධාවෙන් පිරිලා,
දැක්කා සුකුමල මල් කුමරියෝ දෙස ඇදිලා
මල් පොකුරු ගෙන ඉතුරුත් එපා කිව්වා,

පින් උපාසක මහතෙක් මා ලඟට ඇවිල්ලා,
ගත්තා මල් වට්ටි දෙකක් කේවල් කරලා,
පඩුරකට කියා ඉතිරි රුපියල් දෙකද ඉල්ලා,
වෙහෙර වඳිනට ගියා බුදු සරණයි කියලා.

ඝාන්ටා නාද මැද සද දෙවියොත් ඇවිල්ලා,
දැනෙයි මගේ මල්වල සුවද දසත විහිදීලා,
පුතාට කෝවිලේ පලතුරු වට්ටියක් ඉල්ලා,
යමි ගෙදර මා බැතිමතුන්ට හට පින් දීලා.

කවිය බලන්න
ඇසළ මාංචු සහ සජීවී විකාශනයට පිළිතුරක්....

ඇසළ මාංචු සහ සජීවී විකාශනයට පිළිතුරක්....

අසංක වීරරත්න කොළඹ

මගෙ වටේ හිටියේම
බුද්ධිමත් පිරිසක්
ආනන්ද විතරක්
කල් ගත්තා ඩිංගක්

බඩ ගියා හොඳටම
හුස්ම පොද ඉගිලුනා සදහට
ඉන් පස්සෙ පිච්චුවද
අමු සොහොනෙ දැප්පුවද
දන්නෙ ආනන්දයි
සැරියුතුයි, මුගලනුයි

ඉන් පස්සෙ මිනියක්
උන්ට තව මොකටෙයි

ගලවගෙන රදනකේ
උගුල්ලන් ලලාටේ
හුඹස් වල හංගන්න
අලි පිටේ ගෙනියන්න
දෙසුවෙ නෑ දහමක්

මට ෂුවර් සැරියුත්.....

කවිය බලන්න
රෑ අහසේ සැඟවී සිට

රෑ අහසේ සැඟවී සිට

රාජ්‍ය කලාභුශන, කිවිපති සාසනකීර්ති-දේශාභිමානී ඩබ්ලිව් .කේ .සරත් විමලසිරි

සිරකර ගෙන හයේ හතරෙ පොඩි කාමරයක
පංකා එළි ආලෝකය නැති මැටි පොළොවක
සියපත් කැකුලක් තනිවුණු රෑ මැදියමක
පිච්චුනාද පිච්චුවාද තනිවුණු මොහොතක

ණය ගෙවන්ට බැරිබව දැන තම මාපියනට
අසන ඇනුම් බැනුම් බැරිව ඉවසාලන්නට
පිළිසරණක් වෙන්නට ඒ මහ දුක් ගින්නට
ප¿මිණියාය! ඈ මැදුරක බ¿ලමෙහෙ- වරට

හෝරා දෙක තුනකට පෙර හිරු හිනැහෙන්න
ස¿මදාමත් අවදිව වැඩ පල කරදෙන්න
දෝරෙ ගලන ඩාදියරෙන් ගත සිපගන්න
කළ කරුමය නොවැ! දුප්පත් වී ඉප - දෙන්න

ළමා අයිති පවා ලොවේ අමු අමුවේ නසා
වසන් කළේ කිමැ දෙවියන්ගෙත් දෙනුවන් වසා
කාමාතුරයන් හට සැනසෙන්නට නැති දොසා
කාට කවුරු මේ බල දුන්නෙද තව් තිසා

ළමා වියේ දූ දරුවන් මුදලට විකිණීම
සමා ජයේ වරදකි බැරි නොකියා ඉඳුරාම
නිමා නැතිව අදටත් මෙය නොඅඩුව සිදුවීම
පමා නැතිව දඩුවම් දී කළ යුතු න¿වතීම

සිහි විකල්ව කාමාතුරයන් කුටියට ආවා
මහ පොළොවත් උහුලන් නැති දේ සිදු වූවා
සගවා ගත හැකියයි සිතු බලයෙන් මේවා
රෑ අහසේ ස¿ඟවී සිට සඳ සාක්කි කීවා

සිර කුටියක තලා පෙළා දා මල් කැකුලක්
දවා නිවා ඉපනැල්ලක් සේ තුණු සිරුරක්
ලොවේ කවුරු හෝ මේවට දුන් අනුබලයක්
නිරයට ඇදගෙන යනු නියතයි නෑ සැකයක්

අසරණ දුප්පත් මවුපියො මුදලට බදවා
සොච්චම් මුදලක් දී නව යුවතිය කැඳවා
සුරංගනා ලොවක අසිරිසිරි සිත රදවා
කැන්දන් එන්නෝ නොතබනු සිරගෙට නොයවා

02.08.21

කවිය බලන්න
අම්මා ගැන සිහිවටනයක්

අම්මා ගැන සිහිවටනයක්

මාලිනී වික්‍රමනායක කොළඹ

වෙල්යායක කොනක ඇති එලවලු කොටුවේ
මුත්තා වැඩ කරන බව
අම්මා දුටුවේ
හනිකට ඇවිත් උණු උණු
ආප්පත් හැදුවේ
ඒ ටික අරන් යන්නට
මට අණ කෙරුවේ

නියරේ දෙපැත්තම
වී කරලින් වැහිලා
පින්නට මගේ ගවුමත්
හොඳටම තෙමිලා
මුත්තට දුන් ආප්ප ද
පසෙකින් තියලා
දුන්නා පලා එලවලු
මිටියක් බැඳලා

වැටි වැටි නොවැටි නියරෙන් වේගෙන් ඇවිදින්
අම්මට දුන්නු එලවලු ගත්තේ සතුටින්
අසමින් මුත්තගේ වගතුග පිය සෙනෙහෙන්
රසකර අපට උයලා දුන්නා මොහොතින්

කවිය බලන්න
හොඳ පැත්ත

හොඳ පැත්ත

හෙළමිණි ටිකිරි කුමාරි විජේකෝන් මහනුවර

පන්සල පල්ලියද කෝවිල හරි නිහඬයි
අප හැම දෙනා අද සිරි මැදුරක ගානයි
මල්පල බරව ගස්වැල් සතුටින් උතුරයි
සොබා දහම නම් හරියට පින් පාටයි

යොදවා සියලු කාලය නිසි පොත පතට
ඉගෙනුම කරයි හොඳ දරුවන් හරි ජයට
වැඩිහිටි සිත් යොමුවී ඇත දන පිනට
පෙරළුණ පැත්ත හොඳ බව දැන් සිතෙයි මට

වසංගතය සතුරෙකු ලෙස සිතනු එපා
දුක්බර සිතින් කාලය ගත කරනු එපා
සුවයට වඩා වැලකුම රෝගයට සැපා
මිනිසත් කමින් ජීවත් වෙමු සිනහ පපා

30.08.2021

කවිය බලන්න
එතකං නංගී අවදිව අයියන්ඩියේ

එතකං නංගී අවදිව අයියන්ඩියේ

නිරෝෂිනී අනුරුද්ධිකා පැරිස් නුවර

තබවා ඉණි හරි හරියට , සදවා නිසි ලෙස ඉණිවැට
ජීවිතයට පාර කියූ පුංචි සන්දියේ
පුබුදා පැතුමන් පිට පිට , ජීවන ගමනම එළිකොට
සැදූ පහන් තරුව ඔබයි මගේ සුදු අයියන්ඩී

හිත රිදිලා හරි හරියට, ඇදිලා ගිය මහ රැල්ලට
සුනාමියේ දුක රිංගූ පාළු වංගියේ
නොසැලී මහමෙර විලසට, සනසා සිත මා දැඩිකොට
දුන්නු දිරිය තාමත් ඇත මතක මන්ඩියේ

යොදුන යොදුන පියමං කොට, ඉගිල ගියත් දුරු රටකට
සීතල පිණිකැට සුසුමන් දැනෙන වංගියේ
ඈත අහස් කුස පසුකොට, රැහැන් කුළුණු නැග හනිකට
එන ඇමතුම නුබෙ උණුහුම පුරවයි අයියන්ඩියේ

කවිය බලන්න
කවි සක්විති ජී.එම්.අජිත්

කවි සක්විති ජී.එම්.අජිත්

රාජ්‍ය කලාභුශන, කිවිපති සාසනකීර්ති-දේශාභිමානී ඩබ්ලිව් .කේ .සරත් විමලසිරි

කවි සක්විති ජී.එම්.අජිත් සමුගෙන
අගොස්තු 11දිනට වසරක් සපිරුණි.
මේ කවිපෙළ ඒ නිමිත්තෙනි

කලාභුශන කිවිපති
සාසනකීර්ති- දේශාභිමානී
ඩබ්ලිව් කේ සරත් විමලසිරි
(අතකස මාධ්‍ය ලේකම් )

හෙළ මහ කවි සමුලු බැබළුව මිණි පහනයි
සාහිත කලා කෙත දිදුලුව කවි සිළුවයි
අතොරක් නැතිව ගැලු හිටිවන කවි ගඟුලයි
ජී.එම්.අජිත් කවි මිණ මියගොස් වසරයි

අප හා සමග අත්වැල් බැඳ ගෙවුණු යුගේ
රැකගෙන සඳැස් කවි ලොව ජීවිතය වගේ
තරු මැද දිදුල කවි 'ඹර පෑ තරිඳු අගේ
තව වෙති බොහෝ අය ඔබ ගිය සොඳුරු මඟේ

එගොඩහ යන්න ඔරුවට අත දුන් හබලක්
වාගෙයි කිවිද ඔබ වුණෙ කවියට සරණක්
ඔබ හා පැමිණි කවි කිවිඳියො දස දහසක්
නව මං සොයා පිහිනති තුළ කවි නදියක්

ඇසි දිසි ම¿දුරු තුළ කවි හඬ නගන්නට
ඔබ ගත් වෙහෙස මෙතෙකැයි බෑ කියන්නට
කවියට කවියනට නිසි තැන පුදන්නට
ඔබ කළ මෙහෙය බැහැ නොව මිල කරන්නට

සිවු මහ ගඟුල් ගැලුවා මෙන් දෙරණ වෙළා
හිටිවෙන කවි කිවූ හදවත් දෙගොඩ තලා
හරවත් රසැති පැදි විරිතට අනුව ගලා
පිනටයි ගිලිහුණේ උරුමය උරුම වෙලා

සැරසුනු නිබඳ සුදු පැහැ ජාතික ඇඳුමෙන්
නිරතුරු සඳැස් කවි මඟ රකිමින් පණමෙන්
ධන බල නොතකමින් අ තදුන් සිටි පෙරමෙන්
කවියෙක් දැක නැතේ මා නම් තව ඔබමෙන්

දෙවුලොව සුදම් සබයේ සුරලියො විසිරී
පින් මහිමයට විඳිමින් නොමියෙන අසිරී
තරු මැද සඳක් සේ සඳ දිය ඇති විසිරී
අදටත් අජිත් කවි කියනව ඇති මිහිරී

කවිය බලන්න
ජොගින් පාත් වේ

ජොගින් පාත් වේ

වෛද්‍ය චතුර එම්. විමලරත්න වැල්ලවාය

දෙකේ ඇලේ මායිමේ
බුසල් පහක් කඹුරලා
පෝර නැති නිසා බැතමිටි
බාගයක් ම අඩුවෙලා

වසංගතේ රට පුරාම
නෑදෑයෝ තනිවෙලා
අත්තමකට අල්ලගන්ඩ
ගොයියෙක් දුර්ලභ වෙලා

පන්තිය ඔන්ලයින් නිසා
පෝන් එකක් ඉල්ලලා
හිච්චි එකී පලු ගහ උඩ
පුල් සිග්නල් හොයා හොයා

උදේ ඉදන් රෑ වෙනකල්
මං තනියෙන් කොටනවා
පැරකුම්බා පිළිමය ළඟ
කදුළු වැටී වියළිලා

කන්ඩ නැතත් රටක් තියේ
ගැම්ම තමයි හිතෙනවා
ගල් විහාර සිමාවේ
සුදු බුදුරැස් පේනවා

අමතක කර ලෞකික සැප
තද බොටමක් පිට් කරං
වරෙන් සුමනො ජොගිං යන්ඩ
වැවු බැම්මට සෙට් වෙලා...

කවිය බලන්න
ගුත්තිල කාව්‍යයේ සිත්ගත් කවි

ගුත්තිල කාව්‍යයේ සිත්ගත් කවි

පිපි සමන් කුසුමන් පටින් තන රන් හසුන් මන් මෙන් බැඳේ
ලඹ සවන් දිගු රන් පසින් දන නෙත් මුවන් බඳිමින් තදේ
මද පවන් වැද ලෙළ පහන් සිළු මෙන් රැඟුම් දෙන රන් බඳේ
දිලි ඔවුන් රූ සිරි නුවන් වන් බඹ වුවත් දැහැනින් මිදේ

ප්‍රබෝධිත සමන්පිච්ච මල් මෙන් පයෝදර නම් වූ හංසයන්
සිත් වූ පරිදි බැඳගෙන, එල්ලෙන කන් නමැති දික් ස්වර්ණි
පාශයෙන් ජනයාගේ නෙත් නමැති මුවන් තදින් බඳිමින්, මඳ
සුළඟ වැදී සෙලවෙන පහන් සිළු මෙන් නර්තනය කරන
රන්වන් සිරුරින් බබලන ඔවුන් ගේ රූපශ්‍රීය ඇසට විෂය
වුවහොත් මහා බ්‍රහ්මයා පවා ධ්‍යානයෙන් අත් මිදෙයි.

කවිය බලන්න
BLUE MOON

BLUE MOON

පියුමි ජයකලණි වික්‍රම ආරච්චි ලන්ඩනය

සිල් ගත් කුසුම් පොකුරකි රන් තරු රෑන
ඕජාතයෙන් බබලයි උළිඳුන් පහන
උල්කා කදෝකිමි කර පොළොවට ගේන
මේ රෑ පෙනෙන ඇස් වේ මට හමුනොවුන

නිසසල පැයකි නෑ අවුරුදු ගණනකිය
අපමණ දිගය තත්පරයත් සිහිනෙකිය
නිසසල මනස ඉවසිය යුතු අහසකිය
කල්පය වුවද විශ්මිත එක වදනකිය

පිනි බිඳු සිඹියි නිරුවත් මුදු පා යුගල
මුව රද සැලී සිත් මල කරවයි සසල
වරකට රැඳෙන්නට හැකි නම් මා අසල
හෙට රෑ යමෙත් නරඹමි ඔය නෙතු සඟළ

කවිය බලන්න
දිගු විරිතක්.....

දිගු විරිතක්.....

කලාපති ජනාර්ද ආසිරි විජේසේකර කේම්බ්‍රිජ්

නෙතු පිය නොසෙලා බලා සිටින්නට සොඳුරියෙ හැක මට දින ගණනක්
ඔබ හා දොඩමළු වන්නට ආසයි මිහිරියෙ නොබිඳුණු වරු ගණනක්
බවුන් වඩන්නෙමි ඔබව ලබන්නට නිවන් දකින තුරු හැම භවයක්
මා හද තුල පිපි ප්‍රේමය සෙනෙහස ඔබ ලියු කවි වල දිගු විරිතක්

කවිය බලන්න
ප්‍රසුතාගාරයෙන්  ළදරු ඒකකයට ගිය  පැන්චිට

ප්‍රසුතාගාරයෙන් ළදරු ඒකකයට ගිය පැන්චිට

වෛද්‍ය ඇනස්ටා නිරෝෂිනී විජේසිංහ බැසිල්ඩන් එංගලන්තය

ටිකක් හයියෙන් හුස්ම ඇද්දොත්
ඒ ළඟම මම නවතිමි
ටිකක් වැඩිපුර බලා හිටියොත්
කඳුළු බැමි බිඳ ඇදහැලී
ටිකක් ළඟ ඉඳ හිස මදින්නම්
ජීවිතේ හරි කෙටි වැඩියි
ටිකක් ළඟකදි ආව දෝතට
ඒ සතුට මට දුක වැඩියි

පුංචි පැන්චන් අල්ලකට පොඩ්
ඇතුලේ වීදුරු කාමරේ
පුංචි පපුවට තෙරුනාදෝ
කඳුලකිය බර සාගරේ
පුංචි අත් පොඩි අතර ගුලිවු
සිතේ සනිහිඳ ආදරේ
පුංචි පැන්චියේ සටන් වැදියන්
වැළඳ ගන්නට ජිවිතේ

අම්මා

AnA 2021/08

කවිය බලන්න
🗙