ලන්ඩනයේ සිට මුදා හැරෙන ශ්‍රී ලාංකේය කවි සරණිය

දියණිය පාලමෙන් ගඟට දැමූ අම්මාගේ ගීතය

දියණිය පාලමෙන් ගඟට දැමූ අම්මාගේ ගීතය

ආචාර්ය පාලිත ගනේවත්ත - ඔස්ට්‍රේලියාව
2022-July

ගෙදරකට වැඩකාර කමටවත් දෙන්නටයි
උඹ උපන් දින මගේ හිත ඇතුලේ දැවටුනේ
උඹ මගේ බඩට ආ හැටියවත් දන්නේ නෑ
දිළිඳුකම නිසාමයි මං හිතන්නේ දුවේ

කුලී වැඩ ලැබෙන්නෑ මේ දවස්වල දුවේ
හිඟා කන්නට තමයි වෙන්නෙ අද හෙට වගේ
බඩගින්නෙ නිදන උඹ කෙඳිරි ගානා සද්දෙ
ඇහෙනවිට මගේ හිත වාවන්න බෑ දුවේ

දිනෙන් දින දිරා යන උඹේ ඇඟ දිහා මට
බලා ඉන්නට බැරිම තැනයි මම දුව ගියේ
වේලකින්වත් උඹේ බඩ ගින්න නිවන්නට
බැරිම බැරි තැනයි මට පිස්සු වැටුනේ දුවේ

බුදුන් ගුණ හිත හිතා අවසිහියකින් වගේ
පාලමේ කෙළවරට මම ඔහේ ගියෙ දුවේ
ලබන ආත්මේදි වත් හොදින් ඉන්නට පතා
දෙන්නාම එකපාර මැරෙන්ටයි මගේ දුවේ

ඊට පස්සේ දුවේ මක් උනාදැයි කියා
හරිහමන් කල්පනාවක් තවම නෑ දුවේ
උඹේ අර හිනාවෙන් මුළු මුණ පුරෝගෙන
මගෙ ලඟට වරෙන් මගෙ රත්තරන් පොඩි දුවේ