ලන්ඩනයේ සිට මුදා හැරෙන ශ්‍රී ලාංකේය කවි සරණිය

ඔහුගේ පැරණි ආදරියට

ඔහුගේ පැරණි ආදරියට

වත්මා කුමාරසිංහ
2023-May

එදා වාගෙම අදත් කොටු පවුර දිලෙනවා
නුඹ එක්ක ඔහු ඇවිද ගිය මතකයන් තියෙනවා
නොකියාම ඔහු මෙමට රහසේම විඳිනවා
කොටු බැම්මේ හැපී ආ හුලඟ මට කියනවා

හිතුමතේ හමුවෙච්ච මතක පොදි තව ඇතී
එලිමහන් බංකුවෙදි නුඹව සිප ගන්නැතී
අනාගතේ ගැන සිහින සෙමින් මුමුනන්නැතී
වෙන් උනේ ඇයිද නුඹ ඔහු තවම දන්නැතී

නුඹ එක්ක ඇවිද ගිය මාවත් දිගේ ඇවිදින්න
සතුටින්ම ඔහු ඉදපු කාලේ ආයෙම දෙන්න
සොම්නසින් දිලිසෙනා කොපුල් ඇස් දැක ගන්න
ආස හිතෙනව මටත් නුඹෙ මතක විද ගන්න

තාම ඒ හිත් කොනක නුඹෙ මතක තියෙනවා
හංගාන ඔහු අඬන විට මමත් අඬනවා
උදුරන්නේ කෝම මම ඔහු තවම විඳිනවා
සනසන්නේ කෝම මම තවම මම හිතනවා

උපදිනා මතු භවෙක ඔහුව හමු උනෝතින්
නුඹට කලියෙන් අවුත් අයිති කර ගනිමි මං
අදත් මට එන්න බැරි නුඹේ තැන මම අරං
දෙනවාද හිනැහෙන්න මට සමාවී ඉතිං