ලන්ඩනයේ සිට මුදා හැරෙන ශ්‍රී ලාංකේය කවි සරණිය

රබරෝසියා……

රබරෝසියා……

වෛද්‍ය පද්මලාල් පතිරගේ - නුගේගොඩ
2023-February

වසන්තය උදා වූ සෙයකි ඒ තුරු හිසට
දසන්තය පුරා මල් විකසිතව
එක ලෙසට
දිගන්තය සරා එන බමර
කැළ ඒ රසට
විලස සිත පෙම් බඳියි
රබරෝසියා ගසට.

පැතුම් මල් රැසක් සේ
ජීවිතයෙ තනි රැකට
දරාගත නොහැකි නම්
මේ කැකුළු මේ ගසට
පිපී මොහොතක් නොරැඳ
වැටී මේ හිස් බිමට
පිපෙන්නේ ඇයි පැතුම්
ජීවිතයෙ මේ ලෙසට.

මිහි මවගෙ සෙනෙහසින්
නුබ කුසය සිඹින්නේ
හරිත පත් විහිදුවා
නෙතට සුව සදන්නේ
තුරු හිසේ සොඳුරු වූ
රුසිරු මල් දරන්නේ
සැනින් ඒ සුවඳ මල්
බිමට ඇද හෙලන්නේ.

ජීවිතය වගෙයි අපෙ
ගසකි රබරෝසියා
පැතුම් මල් පිපි විගස
මිහි මතට ගෙන ගියා
දෙරණතින් ගත් සුවඳ
ඔබම ගන්නට කියා
අනිති ජීවිතය සිහි
නඟයි රබරෝසියා.