ලන්ඩනයේ සිට මුදා හැරෙන ශ්‍රී ලාංකේය කවි සරණිය

අනේ පුතේ මමත් හරිම ආසයි ………

අනේ පුතේ මමත් හරිම ආසයි ………

රංජිත් ද සිල්වා - නවසීලන්තය
2021-November

අම්මේ ලොකු හාමුදුරුවෝ කිව්වා
තාත්තගේ තුන්මාසේ දානෙට
අටපිරිකර දෙකක්ම ලෑස්ති කරන්න කියලා
නායක හාමුදුරුවරු දෙනමක්ම වඩින හින්දා

සිරිපාල එහෙම කියාගෙනම
ගෙට ගොඩවෙලා
අම්ම හොයාගෙන කුස්සියට ගියා

අනේ කොච්චර දෙයක්ද පුතේ
අම්මගේ මුහුණේ ඉහවහා ගිය සතුටක් මැවුනා

අටපිරිකර දෙකම
පන්සලෙන්ම ගන්න පුළුවන් කියලත් කිව්වා
කඩේට වැඩිය අඩුවෙන් දෙන්නම් කියලත්
ලොකු හාමුදුරුවෝ කිව්වා

කරඬුවත් වඩම්මනවා නේද පුතේ
හේවිසි එහෙමත් ඕනෑවේවි

අනේ පුතේ මමත් හරිම ආසයි
පන්සලේ ඉඳන්
ධාතු කරඬුව – මගේ ඔලුවේ තියන්
වඩම්මගෙන එන්න
අම්ම හරිම සර්ධාවෙන් කිව්වේ
ලොකු හාමුදුරුවන්ගෙන් අහල බලහන් සිරිපලයෝ

සිරිපාලට එකපාරටම මතක් වුනේ
වෙසක් කාඩ්වල තියෙන පින්තුරයක්
ඒ එක්කම සින්දු කෑල්ලකුත් මතක්වුනා

උදේනි රජ දූ – මාලි කුමරියන් –
කෙස් කළඹේ සඟවා… හිසින් ගෙන
උත්තම මුනි දළදා වඩම්මන ………

24 ඔක්තෝබර් 2021