ලන්ඩනයේ සිට මුදා හැරෙන ශ්‍රී ලාංකේය කවි සරණිය

මොකටද ඔය වැලන්ටයින් !

මොකටද ඔය වැලන්ටයින් !

මාවැලි කුමාරී කුලතුංග - මහනුවර
2022-February

දිවුරා බහ දිදී වෙන අය සොයා ගිහින්
සමරණු දැකිය හැක ලොකුවට වැලන්ටයින්
උතුරා හැලෙන සෙනෙහස සිත පුරා දරන්
හැමදා ළඟින් හිටියොත් පරදාවි සුරන්

පූජාසනයක්‍ ය සෙනෙහස පිරුණු සිත
දවසින් දවස ලියලා පල දරණු ඇත
පළඳිමු කිරුළ සැමදා ආදරෙන් මිත
එක්දින සැමරුමක් පමණක් ඇවැසි නැත

සසරේ පුරුදු ලෙස දැනෙනා සුවඳ අරන්
හදකට තුරුළුවූ කල පෙම් පහස දරන්
මල් පල ගැනෙන්නේ ගත සිත නිවන ගමන්
පිවිතුරු පෙමට බැඳි සීමා කොහිද කියන්

සාලිය කුමරු මාලාවන් වෙත බැතියේ
පුදදුන් ආදරය අදටත් ඇත සිහියේ
එනිසයි ඉසුරුමුණි සෙල් රූ පණ ලදුයේ
වැලන්ටයින් ගැන උන් නැත දැන සිටියේ

නැත වැට කඩොළු සීමා පිවිතුරු පෙමට
එයටද නිගා දෙන්නන් අද ඇත එමට
සැමදෙය මිල මුදලටම යටවුණු කලට
රැකගමු ආදරය සැමදා එක ලෙසට

24.01.2022