ලන්ඩනයේ සිට මුදා හැරෙන ශ්‍රී ලාංකේය කවි සරණිය

හෝඩි පොතට නව පිටුවක්

හෝඩි පොතට නව පිටුවක්

එස් එල් සෙනෙහෙධීර - ලෙච්වර්ත් - එක්සත් රාජධානිය
2022-July

බහින්නම් අදත් මම

මට පුරුදු හන්දියේ

කියන්නට දහක් දේ

ඇතත් සිත් මන්ඩියේ

ගියත් බස්රියේ හිඳ

එකට හැම වංගියේ

ගොළු-බිහිරි මම කොහොම

දොඩන්නද නංගියේ

කුමට පිට සක්වලක

සොයා නව මිතුරුදම්

එකම අසුනක හිඳින

නුඹට මා දුරයි නම්

හෝඩිපොත පිටු අගට

‘අත්බස’ත් තිබුණිනම්

මටත් නුඹ පවසාවි

සිතේ සිරකළ හැඟුම්

කුමට දෙසවන් දෑල

නුඹේ වදන් අසනු බැරි

ලබා දෙඅදර කුමට

වදන් තෙපලන්න බැරි

දෑත ලෙළවා දොඩන

මගේ බස නුඹට බැරි

උගෙන ඒනම් නුඹත්

මගෙ සතුට කියනු බැරි