ලන්ඩනයේ සිට මුදා හැරෙන ශ්‍රී ලාංකේය කවි සරණිය

පොත් කිරිල්ලී ඉගිල්ලී ගියා සසරේ

පොත් කිරිල්ලී ඉගිල්ලී ගියා සසරේ

කෞශල්‍යා ජයලත්
2023-November

ළදරු කුරුලු පැටි තුඩ තුඩ වනන්තරේ
මහරු සිප් අමා බිඳ බිඳ නිරන්තරේ
තැවරු “සතුටු දුම්රිය” ගැන කතන්දරේ
සඳරු විපුලි කිරිලිය ගැයූ මන්තරේ

පියපත් පළන්ඳා “පොත් කුරුලු” යුග උරේ
සියපත් පිපෙන මල් ඇට විසුල ගං තෙරේ
යහපත් මැතිනි,කුසුමන් පිපෙන හැම වරේ
මිහිකත් නිසැක හිනැහෙයි ඔබට පින් පිරේ

අයුක්තිය අසල නොනැමෙන වදන් සතූ
විමුක්තිය සකල ලොව වෙත මෙතින් පැතූ
හිතැත්තිය ගැහැනු පවුරක නැතක් මුතූ
නොමැත්තිය තනිව බුදු වන සිතක් සතූ

ලොවෙන් බිඳක් නොපතා ආපිටට මතූ
තුටින් පිරූ යුතුකම් ලොව නමින් යුතූ
හදින් විසල් පෙම් කවියක් ලියූ මිතූ
“සකුන්තලා” නොපැළඳි බොරු සිනා නෙතූ

“නික්මනක නිමිත්තක්” ලියා සසරේ
ඉක්මනක ගමනක් ගියත් ඔබ මිතුරේ
සක්මනක සහස් පියවර අතරේ
දැක්ම ඔබෙ නිසැක ඉහලින් ම පැතිරේ

රුදුරු අකුණු ලොව කලඹන දුක අඹරේ
සොඳුරු මිතුරු “රූ” එළි දැල් වූ නිතරේ
මියුරු මිතුරි, “සැන්දැග” සැනසුම් සුතුරේ
රුසිරු කවි ම ලියැවේවා දිවි සසරේ

* පසුගිය දා හදිසියේ අප අතරින් වියෝ වූ
ප්‍රවීණ සාහිත්‍යවේදිනි විපුලී නිරෝෂිනී හෙට්ටිආරච්චි මැතිනියගේ අමිල මෙහෙවරට බැතිබරිනි.