ලන්ඩනයේ සිට මුදා හැරෙන ශ්‍රී ලාංකේය කවි සරණිය

බින්න කසාදයකට ඉඩ ඇත ගෙදර

බින්න කසාදයකට ඉඩ ඇත ගෙදර

සිසිල් මාන්නප්පෙරුම - Brampton - කැනඩාව
2023-January

පාසැල් සමය නිමවී ටික කලක් ගියා
ඉන් අනතුරුව මා රැකියාවකට ගියා
සමහර යෙහෙළියන් හදිසියෙ දීග ගියා
කවුරුත් කියයි මා දැන් යුවතියකි කියා

අම්මා අප්පච්චි මාවත් මැදින් තියා
හුරතල් කරනවා තවමත් දුවේ කියා
විද්දේ නොමැත තවමත් මට අනංගයා
නොදනිමි කොහේ ඇතිදැයි මගෙ කුමාරයා

අම්මා අප්පච්චි දෙදෙනා තනිකරලා
දීගෙක යන්න සිදුවෙයි දවසක අඬලා
කොහේ ගියත් මම තනියම වෙරදමලා
ආපසු ගෙදර එනවා අම්මා සොයලා

මට මගෙ කාමරය දෙව් විමනකි ගෙදර
අම්මා කවනවා මට තවමත් නිතර
යන්නට සිතක් නැත මට කොහොමත් එතෙර
බින්න කසාදයකට ඉඩ ඇත ගෙදර