ලන්ඩනයේ සිට මුදා හැරෙන ශ්‍රී ලාංකේය කවි සරණිය

කේතුමතී නුවරට නව වසර උදාවෙයි.

කේතුමතී නුවරට නව වසර උදාවෙයි.

ආරියරත්න ජයසිංහ - මහරගම
2023-January

ගෙවී යයි අවුරුද්දක්
උදාවෙයි නව වසරක්
රතිඤඤා හඬ ගිගුම් දෙයි ලොව පුරා
එකම ගිනි කෙළියකි මුළු ලොවම

සුබ පතනු ඇසෙයි දස දෙස
උදාවූ නව වසරට
පිරී යයි ෆේස් බුක් වට්ස්ඇප්
තිස් එක රෑ
සමුදෙමු පරණ වසරට.

පුරා තරු පහේ අවන්හල්
හිස්ව යන මධු බඳුන්
පිරී යයි යළි යළිත් .
රඟදෙති තරුණ කැල
බමන මතින්
රැය පහන් වන තුරා.

අපි ගයමූ අපි වයමූ අපි රඟමූ
උනුනුන් බදාගෙන
රැය පහන් වන තුරා
තිස් එක රෑ.

ඒත් හෙට අළුයමත්
පරණ ඉර හඳ
පුරුදු විලසම

උදාවී බැස යාවි නිසැකින්.

යදියන් යදිනු ඇත මාවතේ
හෙට අළුයමත්
සාදුකින් පීඩිතව
දුගියන් හිඳිනු ඇත හාමතේ
හෙට අළුයමත්

යුද බිමේ අවි ගැටේ ලොව පුරා
විරාමයකින් තොරව.
අහිමි වී නෑසියන් ගේදොරද
ගාල්වී කඳවුරු තුල
හිඳිනු ඇත අසරණුන්
හෙට අළුයමත්.

වර්ණ භේද වර්ග භේද
සමය භේදයෙන්  භින්නව
හිඳිනු ඇත මිනිස් කැල
හෙට අළුයමත්.

ඉසි කෝ මාන මදයෙන්
දන ලොබින් බල ලොබින්
නැගිටගමු අපි
හෙට අළුයමත්.

පරණ ඉර හඳ
පුරුදු විලසම
උදාවනු ඇත පෙර’ඹරේ හෙට

මේ කේතුමති නුවරට.