ලන්ඩනයේ සිට මුදා හැරෙන ශ්‍රී ලාංකේය කවි සරණිය

දෙවඟන ස්වර්ණමාලී

දෙවඟන ස්වර්ණමාලී

අනුජමාලී විමලවීර - කොළඹ
2023-January

මනු සතුන්ගේ අඳෝනාව
ඉවසා ගත නොහැකි දරා
විමනින් බැස ගොස් බැලුමට
එක්වර සිත් දුනි මෙමටා

මගේ රෝගය නැති කරන්න
දරුවෙක් මට ලබා දෙන්න
දරුවා සමත් කරවා දෙන්න
මුදල් හදල් ලබා දෙන්න

හතර අතේ වැඳ වැටෙමින්
පෙරළි පෙරළි මලුව පුරා
වෙන්නේ මේ කිමද කියා
බැලුමට සිත් දුනි මෙමටා

හට්ටි ගණන් මුට්ටි ගණන්
කිරිබත් ඇත මලුව පුරා
හිරු බැස යන්නටත් ලඟයි
පිලුනූ ගඳත් දැනෙ මෙමටා

නෙළුම් ඇතේ මලුව පුරා
සුවඳ දිදී සෑම අතේ
යලිත් පිපුණි මල් කඩවල
එම නෙළුම්ම නිර්මල බව විදහා

අටපිරිකර දස පිරිකර
කප්රුක් පුජා එමටා
යලිත් ඒවා ඇත කඩයෙහි
කිසිවක් නොවුනේ ලෙසටා

කොපමණ පහදා දුන්නත්
නිරිඳු ගැමුණු එකල කියා
මගේ විමන නැති කර ගන්නට
සිත් නොදුන්නේ ඇයි මෙමටා

නම් කරනෙමි නුඹේ නමින්
මනු ලොව ඇති මහා සෑය
බැස පලයන් අනේ දැන්වත්
රූබර දෙව් ස්වර්ණමාලී

නිරිඳු වැඩියා තුසිතය වෙත
මෙත් බෝසත් සමඟින් නිවන් යන්ට
මා ඇත චාතුර්මහාරාජිකයේ
බොහොම දුරයි තුසිතය වෙත

විමනට ආසක්ත නොවී
සිටියා නම් එකල මමත්
සිටුමට තිබිණෙමිනි මමත්
තුසිතයෙ නිරිඳුන් සමඟින්

2022.12.08