ලන්ඩනයේ සිට මුදා හැරෙන ශ්‍රී ලාංකේය කවි සරණිය

වෙන මොනව කරන්නද

වෙන මොනව කරන්නද

මහාචාර්ය මනෝරි ගමගේ - හැව්ලොක් ටවුන්
2022-March

ඉදුනාට බත් හැළිය ළිපේ රස්නය වැදී
හිත තාම ගිනි අරන් දවස ගානෙම රිදී
දැනුනාම වෙනස් කම් කඳුල හා ආ බැඳී
ඉවසාන ඉනු කෙලෙස තව තවත් මෙහි රැඳී

කෙස් පොදක් එක දිනක කිවු කතාවක් දිගේ
තත්පරෙන් තත්පරය සැකය වැඩි කළ අගේ
හිත් වලින් දුරක් ගිය පසු හැරෙනු බැරි මගේ
දැන් ඉතින් මගෙ හිතත් තදයි කලුගල වගේ

එකම වහළක් යටදි ඉඳන් දෙතැනක ලෝක
අපිම රවටාගන්නෙ ඇයිද සිත් වී සෝක
දුවට අහිමිව ගියත් රැකවරණ රැඳි රෑක
බිඳුණු සිත හැදෙන්නෑ කතා කිව්වට නේක

ලිහාගෙන යද්දි බැමි නීති පොත කිවු ලෙසට
පතාගෙන ආ ලොවම සමතලා වුනි බිමට
බදාගෙන වෙන්වෙන්න දුර වැඩිනේ මගෙ ගතට
වඩාගෙන සමුදෙන්න මට නොවේ අපෙ දුවට