ලන්ඩනයේ සිට මුදා හැරෙන ශ්‍රී ලාංකේය කවි සරණිය

තෛයිලෝක විජයපත්‍ර දසාව

තෛයිලෝක විජයපත්‍ර දසාව

ගාමිණී හේරත්
2023-January

නමස්කාරය කියන්න
දෙවියන්ට වැඳගන්න
ඇස් පියාගන්න
තිරෙන් එහා බලන්න එපා

ඕං ග්‍රීං ග්‍රීං ඕං ග්‍රීං
කට්ට වෙට්ට පිත්තල
කට්ටු කරලා වෙට්ටු දාලා
සක්වල ගල පෙරලාගෙන
සක්විති රජ නැමඳීගෙන
රාවණාගේ අමුඩ ලේන්සුව පල්ලා
හතරමහා නිධානේ පල්ලා
හතරමහා දේවාලේ පල්ලා
ඕං එනවා විශ්ණු
ඕං එනවා කතරගම
ඔන්න එනවා නාථ බූත

ඕං ග්‍රීං ඕං ග්‍රීං
නැට්ටටම ගහලා
කට්ටටම වැඳිලා
නහුතයක් දෙවියන් දැකලා
රෙද්ද උස්සාගෙන
ඕං එනවා ඕං එනවා
මෝහිනී
පත්තිනි
කාලි මෑණි
භද්‍ර කාලි
කුවේණි
එකී නොකී හැම අම්මණ්ඩිම එනවා

ඕං ග්‍රීං ඕං ග්‍රීං
දැන් ඉතින්
හොඳින් උරපං, හොඳින් උරපං
නහුතෙටම
කට්ට පැනලා
තට්ටෙ පෑදිලා
රෙද්ද ගැලවෙන්නෙ
තෛයිලෝක විජයපත්‍ර ආනුභාවයෙන්
යකුණේ දෙවියනේ
මෙන්න මේ
වඳ ගෑණිට ළමයෙක් දෙන්නේ
මේකිගේ මිනිහා
මැරිලා ගොඩක් කල්
ඒ වුණාට කමක් නෑ
දියං ළමයෙක්
මේ ගෑණිට
ඕං ග්‍රීං ඕං ග්‍රීං

Seychelles
December 2022