ලන්ඩනයේ සිට මුදා හැරෙන ශ්‍රී ලාංකේය කවි සරණිය

ගල් කුලේ විළාපය

ගල් කුලේ විළාපය

චන්දන ගුණසේකර - වොට්ෆඩ් - එංගලන්තය
2021-April

වෙස්ස ගිරිය පාමුල ඇති වන අරණේ
එක පවුලක් විලසින් සිටියා පොරණේ
නර පතිඳුගෙ අණකට නතු වී දෙරණේ
අම්මා ගෙන ගියා නැති වුනි තිබු සරණේ

කපා කොටා ඔප දමලා මවගෙ වත
මණරම් පෙම් වතුන් යුවලක් අඹල ඇත
නොදුටුව නමුඳු කඳුළින් පිරි ඇයගෙ නෙත
දුටු හැම දනෝ තම සිතු පහදවා ගත

පියා හිරවුනේ මුර ගල් රුවට වැසී
සොයුරා වැතිර ගති සඳකඩපහණෙ පිසී
නැඟෙණිගෙ විලාපය ඇය ගෙන යද්දි ඇසී
හෙලුවා කඳුළු මිස වෙන මා කරනු කිසී

නුඹගේ විස්කමින් හැම දන තුටුවූවා
පිවිතුරු කලා නිමැවුම් යැයි පැසැසූවා
එකටම සිටිය අප පවුලෙන් වෙන්වූවා
අප නැඟු දුක් සුසුම් ගල් තුල සිරවූවා