ලන්ඩනයේ සිට මුදා හැරෙන ශ්‍රී ලාංකේය කවි සරණිය

“ඔබ කියන්නේ මටද”

“ඔබ කියන්නේ මටද”

ඊ.ඩබ්.හිරුණි භාග්‍යා - විශාකා විද්‍යාලය
2023-March

සුවිසල් උද්‍යානයේ මනරම් පවුරින් එපිට
රිදීවන් අහසින් නැඟෙන ග්‍රීෂ්මයේ හිරු
අසීමිත අහසේ ආකාශ්මික සංක්‍රමණික කුරුල්ලන්
මේ හැමටම වඩා දීප්තිමත් කහ මල් පාත්තිය
දිග පළලින් කෙසේ වුවත් හොඳහැටි එළියෙන් නෑවෙන
බර වීදුරු කවුළු
ආහ්! අමතක නොකළ හැකි පොත්වල සුවඳ
තවත් මේ තරුණ ඇස්…
“ඔබ කියන්නෙ මටද”
තරුණ මෙනවියකට කෙලින් අහන්න පුලුවන්ද ඔහොම
ඇරත් මං හිතනවා මේ සොඳුරු බව ගැන
උද්‍යානයට එපිට ලැහැබේ දේවදාර ගස්
ගැඹුරු පෙනුමක් ඇතත් අහිංසක ඇතුළතක්
“ඔබ කියන්නෙ මටද”
ආයෙත් එහෙම ඇහුවට මොකද
ඇත්තටමයි මං කිව්වෙ ග්‍රීෂ්මය ගැන
කහ පාට ලොකු පෙති ඇති පියෝනි මල්
රත් නොවුණු විටෙක සොමි ගුණැති කොපුල් වගේ
“ඔබ කියන්නෙ මටද”
තේරුමක් නැති තරුණ මෙනවිය
බැලුවොතින් පේනව නොවෙද මේ රතු විල්ලුද බුමුතුරුණු
ඒ මොලොක් බවට යටින් තවමත්
පරණ ලී පොළොව , ග්ලේස් නොකරන ලද
“ඔව් ඔබ කියන්නෙ මට”
එහෙනම් මෙවර ඔබ හරි
දැන් කියන්න මුලු ග්‍රීෂ්මයේම මේ හැර තවත්
මනහර දේ මොනවද
“මුලින් කියූ තරුණ ඇස් පරණ ලී මෙන් අදහස් ඇතැයි
නොසිතනව නම් ඔබ,
සත්තකින්ම පියෝනි පෙත්තකටත් එහා
සිනිඳු මුත් යථාවාදී එහෙත් නැවුම් සිතුවිලි ඇතැයි
දන්නවා නම් ඔබ,
ඔව් එවිට කිසිත් නෑ ග්‍රීෂ්මයේ මේ තරම් ලස්සන”