ලන්ඩනයේ සිට මුදා හැරෙන ශ්‍රී ලාංකේය කවි සරණිය

හොරුන් හැදු එක රටකවත් ලොවේ තියෙනවද?

හොරුන් හැදු එක රටකවත් ලොවේ තියෙනවද?

නිශාන්ත ප්‍රීති සෙනරත් - ලන්ඩනය
2022-November

පල්හොරුන් රජ විය
නිවටුන් නිහඬ විය
රැවටෙන්න කැමති නැති
හඬ නගන පුරවැසියො
හොය හොයා වද දෙන්න
තරු හිගමනේ යන
මස් කටුව ලෙවකන
යුනිෆෝම්කාරයන්
මිනිසුන්ගේ ලේ සුවද
ඉව අල්ලමින් යති……

රටේ සම්පත් ටික
විකුණලා, ඩොලර් ගෙන
දුන්න පැට්‍රල් ටිකට
“දැන් ඉතින් රට යලිත්
හොද අතට හැරෙනවා”
කියා හිත හදාගත්
අමන මිනිසුන් රැලක්
යලිත් රැවටෙමින් ඇත…

පල් හොරුන් රට හදන
තෙක් බලාගෙන ඉන්න
මිනිස්සුනි හිතාපන්
“හොරුන් හැදු
එක රටක්වත්
ලොවේ තියෙනවද?”

නිවටයන් ලෙස තවත්
ඉවසගෙන හිටියොතින්
උඹලගේ දරු පැටව්
හට හෙටක් තියේවිද?
හොරුන් එලවන්න යන
මිනිස්සුන් හා එකට
එකතු වී රට හදන
ජනගඟෙන් එකෙක් වී
මව්බිමට උඹේ ණය
ගෙවාපන් මිනිස්සුනි..
අනාගත පරපුරට
හුස්ම ගන්නට රටක්
හදාපන් මිනිස්සුනි