ලන්ඩනයේ සිට මුදා හැරෙන ශ්‍රී ලාංකේය කවි සරණිය

කාමේසු මිච්ඡාචාරා වේරමණී සික්‌ඛාපදං සමාදියාමි

කාමේසු මිච්ඡාචාරා වේරමණී සික්‌ඛාපදං සමාදියාමි

පියුමි ජයකලණි වික්‍රම ආරච්චි. එක්සත් රාජධානිය
2021-October

පැටවුන්ගෙ ලේ උරා බොන්නට
මදුරුවෙකු ඉව අල්ලනා කල
මළ සිරුර ශේෂයක් නැති ලෙස
වැරෙන් පහරක් එල්ල කරමින්
නොහිත දෙවරක් තලා දැමුවෙමි

සාප්පුවකට යමිය පවසා
දොර වසාගෙන මහ මගට බැස
ඉතා දුෂ්කර පැය ගණන් කර
රිටි පන්නයෙන් කකුල් එල්ලන්
බැංකුවේ පෝලිමේ හිටගෙන
පොතට මුදලක් සඟව ආවෙමි

මාස් පඩි දින ඔහුගෙ කලිසම
සාක්කුව වාටිය ද සෝදිසි
කරන් සන්සුන් වෙලා හිඳමින්
ඔහුගෙ උස් හඬ ඇසෙන කල දී
කලිසමේ හිල් හැමතැනම ඇත
පිළිසකර කර මසා දෙන්නට
පොරොන්දුව, ඇඳ පහල කැටයට
හොරෙන් මුදලක් බහා තැබුවෙමි

සීතලම ප්‍රිය සාද වලදී
බීර වීදුරුවකින් මත්වී
රතු වයින් බිඳකින් ද සැනසී
හිතවතුන් හා සතුටෙ ගිලෙමින්
ගී ගයා රංගනයෙ යෙදෙමි

ආගමත් ආදරය වූ කල
නිරාගමිකව හැරී බලමි
දර්ශනයෙ සළු පැළඳ ගනිමි
නමුදු ,
තවමත් පණ ලෙසින් රැකි
තෙවන ශික්ෂා පදය
රකිමී…